පා මුල්ලුවක් තියෙනවා නම් පස් බුරුල් කරන්න පහසුයි

ඔක්තෝබර් 31, 2022

 

අලංකාරයෙන් අනූන ගෙවත්තක් ඔබේ හැකියාව ප්‍රදර්ශනය කරයි. මල්, පලතුරු, එළවළු පිරුණු ගෙවත්තක ඇත්තේ ඔබේ ඒ හැකියාවේ තරමය. ගහට කොළට ආදරේ කරමින් ගහ කොළ නිවැරැදිව සිටුවා ගැනීම ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා විවිධ උපකරණ අවශ්‍ය වේ. ඒ උපකරණ මොනවාදැයි ඔබ හඳුනාගත යුතුයි. එමෙන්ම ඒවා ක්‍රියා කරන ආකාරය ද දැන සිටිය යුතුයි. මේ පැහැදිලි කිරීම ඒ වෙනුවෙනි. අප උපකරණ කිහිපයක් දැනට හඳුනාගෙන ඇති අතර අද තවත් උපකරණ කිහිපයක් හඳුනාගනිමු.

 

උදලු මුල්ලුව (Fork Hoe)

ගෙවත්තේ සකසාගත් පාත්තියක පස කුඩු කිරීමට, පස අවුස්සා ගල් කැබලිති ඉවත් කිරීමට හා පස බුරුල්කර ගැනීමට මෙන්ම කොම්පොස්ට් කලවම් කර ගැනීමට උපකාරී කරගත හැකියි. උස මිලිමීටර 190 ක් හා පළල මිලිමීටර 115 තුඩු තුනක් සහිතව වාත්තු කර වානේවලින් අත් උදලු මුල්ලු නිපදවනු ලැබේ. මේවා සඳහා මිලිමීටර 225-240 ක ප්‍රමාණයේ දිගින් යුතු දැව හෝ ප්ලාස්ටික් මිටක් සවිකර තිබේ. ගොවිතැනේ දී පොදුවේ භාවිතයට ගන්නා විශාල ප්‍රමාණයේ තුඩු තුනක උදලු මුල්ලුවක උස මිලිමීටර 300 ක් හා පළල මිලිමීටර 200 ක් වන අතර එවැන්නක් සඳහා සවිවන දැව මිටක දිග ප්‍රමාණය මිලිමීටර 1100 -1200 අතර වේ.

 

පා මුල්ලු (Digging Fork)

එකිනෙක අතර පටු හා සමාන වූ පරතරයක් පිහිටන පරිදි තුඩු තුනක් හෝ හතරකින් යුතුව වානේවලින් තලය වාත්තුකර දැවමය මිටක් හෝ වානේ මිටක් සවිකරගත හැකි ලෙසින් මේවා නිෂ්පාදනය කෙරේ. පස මතුපිටට වැරෙන් ඇන මුල්ලුවේ කරමත පාදයක් තබා වැර යොදා පස තුළට එම තුඩු කිදා බස්සවා අනතුරුව හැඬලය පහත්කර පස බුරුල් කර ගැනීමට භාවිත කළ හැකියි. එමෙන්ම තෘණ හා පිදුරු ගොඩවල් අවුස්සා ගැනීමට, කොළ රොඬු හා පොහොර ගොඩවල් ලිහිල්කර ගැනීමට හා කලවම් කර ගැනීමට ද මේ උපකරණය උපයෝගී කරගත හැකියි.

 

මිට දිග කප්පාදු කතුර (Lopper)

කුඩා කැපුම් තල යුගලයක් සඳහා අඟල් 18 හා 32 වශයෙන් දිගු යුගල මිටක් සවිකර තනන ලද උපකරණයකි. සාමාන්‍ය කප්පාදු කතුරකින් කපාගත නොහැකි ඉහළින් පිහිටි හෝ විශාලව වැඩුණු ගසක විශ්කම්භය සෙන්ටි මීටර් 1.5 - 2.5 දක්වා වන මැරුණ දඬු සහ අනවශ්‍ය අතු පහසුවෙන් කපා වෙන්කර ගැනීමට හෝ කප්පාදු කිරීමට මෙය උපයෝගී කරගත හැකියි. ආයාසය අඩුකර ගැනීම සඳහා කැපුම් තල දෙක ගියර දැති මඟින් ක්‍රියාත්මක වන ලෙස නිපද වූ කප්පාදු කතුරු ද වෙළෙඳපොළේ දැකිය හැකියි.

 

කප්පාදු කියත (Pruning Saw)

කියතක ආකාරයට මේවායේ කැපුම් තලය නිපදවා තිබේ. පොතු ගැලවීයාම හෝ පැළීම සිදුනොවන ආකාරයෙන් ගස්වල අතු-ඉති කැපීම සඳහා කප්පාදු කියත උපයෝගී කර ගත හැකියි. දිග ප්‍රමාණය අඟල් 4 සිට 24 දක්වා වූ කැපුම් තල කොටස හකුලා මිට තුළට යොමු කිරීමට හැකි සහ හැකිළිය නොහැකි ආකාරයේ කප්පාදු කියත් නිෂ්පාදන මෝස්තර දෙවර්ගයක් දැකිය හැකිය. ගසක සෛලවලට අවම හානියක් වන පරිදි විශ්කම්භය අඟල් 4 සිට 9 දක්වා වන අනවශ්‍ය අතු කපා දැමීමට මේවා භාවිත කළ හැකි වේ. එසේම ගසක දිරාපත් වූ ශාඛාවන් මෙන්ම දිලීර හෝ වයිරස් ආසාදන සහිත කොටස් කපා ඉවත් කර ගැනීමට වුවද භාවිත කළ හැකියි. සීරුමාරු කළ හැකි දිගු මිටවල් සහිත කප්පාදු කියත් උසට වැඩුණු ගසක අවදානම් හා අනවශ්‍යය අතු බිම සිට කපා දැමීමට ද භාවිත කළ හැකි වේ.

 

දෑ කැත්ත (Sickle)

දෑකැත්තේ ප්‍රමාණය සහ හැඩය පළාතෙන් පළාතට වෙනස් වේ. එහෙත් එය සාපේක්ෂ සුළු වෙනස්කම්ය. තලයේ දිග මිලිමීටර 405 ක් හා පළල මිලිමීටර 20 ප්‍රමාණයේ දැති සහිත Serrated edge හා තලයේ දිග මිලිමීටර 305 ක් හා පළල මිලිමීටර 20 ප්‍රමාණයේ සුමට කැපුම් දාර Smooth/plain edge සහිත නිපදවන දෑ කැති දෙවර්ගයක් භාවිතයේ පවතී. මේ දෙවර්ගය සඳහා සවිකරන දැවමය මිට මිලිමීටර 150 ක දිගකින් යුක්ත වන අතර දෑකැත්තක තලයේ බර ග්‍රෑම් 200 -250 අතර වේ. වී හා තිරිඟු වැනි ධාන්‍ය වර්ග සහ තෘණ කැපීමට මේවා පහසුවෙන් භාවිත කළ හැකි වේ.

 

ගල් කටුව (Pickaxe (Pick-mattock))

නව දැළි යායක කපා හෙළු ගස්වල මුල් මුල් ගැලවීමට සහ ක්ෂේත්‍රයේ වූ බාධාකාරී ගල් වටා පස ඉවත්කර එය බුරුල්කර උගුලා ගැනීමට මේ ආයුධය උපයෝගී කරගත හැකි වේ. ඕවලාකාර පාය මැදිකර එක් පසක් පටු තලයක් ලෙසින් ද විරුද්ධ පැත්ත උලක් ලෙසින් ද වාත්තුකර තනන මෙහි තල කොටසේ දිග අඟල් 19 , 24 හා 26 ප්‍රමාණයෙන් ද තලයේ බර කිලෝග්‍රෑම් 1.4 , 3.2 හා 3.6 වන පරිදි නිෂ්පාදන ප්‍රමාණ තුනකින් මිලට ගත හැකියි.