අතීතය, වර්තමානය අනාගතය විමසා බැලිය හැකි අපූර්ව ශාස්ත්‍රය

අප්‍රේල් 28, 2021

 

ජ්‍යොතිෂය

 

“පුරාණ වෛදික තාරකා විද්‍යාඥයාගේ දැනුම පුදුම සහගතය. මහ වලසා තාරකා පද්ධතියේ(Ursa maior) ඇති යුගල තාරකා පිළිබඳව වත්මන් විද්‍යාඥයන් දැන ගත්තේ 19 වැනි සියවසේ දී ය. මෙම යුගල තාරකා (Major - වගිෂ්ට) සහ (Alcor - අරුන්දතී) යනුවෙන් හැදින්වේ.

ආලෝක වර්ෂ අසූවකට (80) එපිටින් පිහිටි මේ තාරකා දෙක වෛදික තාරකා විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබුණේ ක්‍රිස්තු පූර්ව 1800 ටත් පෙරය. වශිෂ්ට සහ අරුන්දතී යනුවෙන් වෛදික නක්ෂත්‍රයේ මේ යුගල තාරකා හැඳින්වේ. එසේම පෘථිවිය ගෝලාකාර වස්තුවක් බව ද ඔවුහු දැන සිටියහ. ඒ අනුව චන්ද්‍ර මාස ක්‍රමය මත පදනම් වූ කැලැන්ඩරයක් ද ඔවුහු භාවිත කළහ. වෛදික තාරකා විද්‍යාව මත පදනම් කරගත් ජ්‍යෙතිෂ ශාස්ත්‍රයද ඔවුන්ගේ බුද්ධියේ තරම විදහා පායි. විශ්වයේ උපත, පැවැත්ම සහ විනාශය පිළිබඳව ද වේද මූලාශ්‍රවල එන කරුණු වත්මන් විද්‍යාඥයන් ගේ සැලකිල්ලට පාත්‍ර වී තිබේ.

(වේදයෙන් ආලෝකය - 01, මහාචාර්ය මාර්කෝ ෆෙර්රිනිගේ විවරණ සහ තවත් ලිපි - පිටුව 48. පරිවර්තනය - ආචාර්ය කරුණාරත්න ඇල්විටිගල)

මෙම සටහන ඡ්‍යොතිෂයේ නිරවද්‍යතාව පිළිබඳ තර්ක කරන්නවුන් හට කදිම පිළිතුරකි. අදින් වසර හාර දහසකට ආසන්න සමයකදි තාරකා ශාස්ත්‍රඥයන් විශ්වය ගවේෂණය කළේ කෙසේද? ඒ අන් කිසිවක් නොව ටෙලිපති ක්‍රමයයි. එය වර්තමාන තාරකා විද්‍යාඥයන්ට තවමත් සිහිනයක් පමණි. අතීතය, වර්තමානය මෙන්ම අනාගතය යන කාලත්‍රය ම විමසා බැලිය හැකි අපූර්ව ශාස්ත්‍රයක් ලෙස ඡ්‍යොතිෂය හඳුන්වා දීමට පුළුවන. පාරම්පරික ඡ්‍යොතිර්වේදී, දේශමාන්‍ය, ආචාර්ය ජානක රත්නායකයන් සමඟ අප විමසා බලන්නේ එම අපූර්වත්වයයි.

 

* ඡ්‍යොතිර් ශාස්ත්‍රයේ ආධාරයෙන් විවිධ අනාවැකි පළ කෙරනවා. පුද්ගලයන් සම්බන්ධයෙන් වගේම වෙනත් කරුණු සම්බන්ධවත්. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නකො...

“ඡ්‍යොතිර් විද්‍යාව අතිශය පුළුල් විෂයක්. ඒක විශ්ව ගවේෂණයක් කියල මුලදිම කිව්වනෙ. මූලිකවම ගත්තොත් ඡ්‍යොතිෂය ප්‍රධාන කොටස් පහකට බෙදෙනවා. ඒ තමයි,

* ජන්ම කේන්ද්‍ර

* වෛද්‍ය

* නක්ෂත්‍ර

* ලෝකායතන

* තත්කාල

කියන අංග පහ. ඒවා මත තමයි සමස්තය විවරණය කෙරෙන්නේ.”

 

* ඒවා ගැන වෙන් වශයෙන් පැහැදිලි කිරීමක් කළොත් හොඳයි නේද? “අනිවාර්යයෙන්ම.... මුලින්ම ගම්මුකො ජන්ම කේන්ද්‍රය එහෙමත් නැත්නම් වේලාපත්කඩය ඇසුරින් කෙරෙන්නේ මොනවාද කියලා. මේ අංගය තමයි ජනතාවට සමීපතම දෙය. මෙමඟින් සිදුවන්නේ උත්පත්ති ග්‍රහචාරය අනුව සකස් කළ ජන්ම පත්‍රය ඇසුරින් අදාළ ජන්මියා සම්බන්ධයෙන් කෙරන ඡ්‍යොතිෂමය විග්‍රහයයි.

පළපුරුදු ඡ්‍යොතිර්වේදියෙකුට ජන්මියාගේ උපතේ සිට මරණය දක්වා ම ජීවිතය ගෙවෙන්නට නියමිත ආකාරය පිළිබඳ නිවැරැදි පුරෝකතනයක් කරන්නට හැකියාව තිබෙනවා. කාලයෙන් කාලයට එළැඹෙන මහදශා, අතුරු දශා සමඟ උත්පත්ති ග්‍රහ පිහිටීම් ගළපමින් මෙය සිදුකෙරෙනවා.

ඊළඟට වෛද්‍ය ඡ්‍යොතිෂය.... මෙය හරිම අපුර්ව අංගයක්. අපේ ශරීරයේ ඒ ඒ අවයව වෙත සිදුවෙන ග්‍රහ බලපෑම් හේතුවෙන් ඇතිවන රෝගාබාධ මෙමඟින් නිවැරැදි ලෙස හඳුනාගන්නට පුළුවන්. එය වර්තමානයට වගේම අනාගතයටත් අදාළයි. ඉදිරියේදී ඇතිවන රෝගයක්, ශල්‍ය කර්මයක් වගේ් දේවල් ආදිය පිළිබඳ කියන්නේ් මේ ආශ්‍රයෙන් තමයි.

ඉස්සර කාලෙ ගමේ වෙද මහහත්තයා ජ්‍යෙතීර් ශාස්ත්‍රය ප්‍රගුණ කළේ මෙන්න මේ සුවිශේෂත්වය නිසයි. කොතෙක් ප්‍රතිකාර කළත් සමහර රෝග සුව නොවන්නේ අදාළ ග්‍රහ බලපෑම නිසයි. එය මඟහරවන්නේ නැතිව කොතෙක් ප්‍රතිකාර කළත් පලක් නැහැ.

අසාධ්‍ය රෝගියෙක් තමන් වෙතට ආවාම ඒකාලෙ වෙදමහත්තයා මුලින්ම කළේ වේලාපත්කඩය පරීක්ෂා කිරීමයි.

තුන්වැනිව එන්නේ නක්ෂත්‍ර ඡ්‍යොතිෂ විද්‍යාව. මෙය එදිනෙදා ජීවිතයේ කුදුමහත් කටයුතුවලට අත්‍යවශ්‍ය අංගයක්. රාහු කාලය, මරු සිටින දිශාව, සුබ මෙන්ම අසුබ මුහුර්ත, ඒ ඒ කටයුතු සඳහා සුබ නැකැත් පිළියෙල කිරීම ආදිය මෙයට අයත් වෙනවා. මෙයින් ලබාගත හැකි විපුල ප්‍රයෝජන පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබුණු නිසයි ගොවිතැන් කටයුතුවලදී පවා සුබ නැකැත් යොදා ගන්නේ.

හතරවැනි අංගය තමයි ලෝකායතන ඡ්‍යොතිෂයය. මෙයත් හරිම සුවිශේෂීයි. සොබාවික විපත් යටතට එන,

* ගංවතුර

* නායයාම්

* ගිනි කඳු විදාරණ

* භූමි කම්පා

ආදිය වගේම දේශපාලන බලපෙරළි ඇතුළු වෙනත් පොදුවේ බලපාන වෙනස්වීම් සම්බන්ධයෙන් අනාවැකි පළ කෙරෙන්නේ ලෝකායතන ඡ්‍යොතිර් විද්‍යාව යටතේයි. මෙවැනි දෑ ප්‍රකාශ කිරීම සඳහා ශාස්ත්‍රය පිළිබඳ ගැඹුරු හැදෑරීමකට යා යුතු වෙනවා.

දැන් බලමු තත්කාල ජ්‍යෙතිෂය කියන්නේ මොකටද කියලා.... මෙයින් අදහස් වෙන්නේ මේ මොහොතේ පවතින ග්‍රහචාරය අනුව යමෙකුගේ ගැටලු සම්බන්ධයෙන් විමසා බැලීමයි. දිනපතා ඵලාපල විවරණය කෙරෙන්නේ තත්තාල ඡ්‍යොතිෂය ඇසුරු කරගෙනයි.

දැන් ඔබට වැටහෙනවා ඇති ඡ්‍යොතිර් විද්‍යාව කොතරම් සංකීර්ණ විෂයයක්ද කියන කාරණය. මතු පිටින් අත ගෑ සමහර උදවිය නිසා තමයි අද හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ.”