උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව ඉදිකෙරෙන නිවෙසේ වැඩ කඩාකප්පල් වෙනවා

ජූලි 21, 2021

 

මෙම ලිපිය පසුගිය කලාපය හා සබැඳියි.

 

අපේ සංවාදයට යොමු වුණේ ඉදිකිරීම අරඹා අතරමග වැඩ නතරවී වල්වැදෙන නිවාස පිළිබඳවයි. මෙම තත්ත්වය රට පුරාම දකින්නට ලැබෙනවා. ඒ විතරක්ද...? වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කරලා තිබුණත් පදිංචි නොවී පාළුවට යන නිවාසත් ඒ අතර තිබෙනවා.

මෙහෙම වෙනකොට කාට වුණත්, "පුදුම කරුමයක් තමයි..." කියල නොහිතුණොත් තමයි පුදුමෙ. මෙන්න මේවා ගැන තමයි අපි කතා බහ කරමින් හිටියෙ.

 

*  පසුගිය සතියේ අවසානයට මම ඔබතුමාගෙන් ඇහැව්වේ "...නැකැත් අකුරටම ඉටු කළා. කිසිම වාස්තු දෝෂයක් නැතිව අත්තිවාරමත් දැම්මා. බිත්ති ටිකකුත් බැන්දා.... ඒත් වැඩ අතරමඟ ඇන හිටලා...." කියන්නකො අපිට ඇයි මෙහෙම වෙන්නෙ කියලා.

"එතැනදි ග්‍රහචාරයේ තිබෙන ගැටලු විශේෂයෙන්ම බලපානවා. උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම් වගේම තත්කාල කේන්දරයේ පවතින ග්‍රහ පිහිටීම් කියන දෙකම මෙතනදි සියුම්ව විමසා බලන්නට අවශ්‍යයි.

* මොකක්ද මේ තත්කාල කේන්දරය කියන්නෙ?

"මෙහෙමනෙ... ජන්මියා උපදින අවස්ථාවේදී ඒ ඒ ග්‍රහයන්, භාවයන් දොළහ තුළ සඳහන් වෙලා තියෙනවනෙ ජන්ම පත්‍රයේ. ඒක තමයි උත්පත්ති කේන්දරය කියන්නෙ.

නමුත් මේ ග්‍රහයන් නිරන්තරයෙන් ඉලිප්සාකාර මඟක ගමන් කරනවා. ඒ අනුව සෑම ග්‍රහයෙක්ම කාලයත් සමඟ භාවයෙන් භාවයට යමින් තාවකාලිකව ස්ථානගත වෙනවා. මෙය ජන්මියා ජීවත්ව සිටින කාලය පුරාම සිදුවන්නක්. ඒ අනුව තමයි එක්, එක් ග්‍රහයා ගේ මහ දශා සමයන් වගේම, අන්තර් දශා සමයන් එළැඹෙන්නේ.... දැන් ඔබට පැහැදිලි වුණාද?"

* ඔව්, ස්තුතියි ඒ විවරණයට....

"එහෙම නම් ආයෙත් නැවැත්වූ තැනට යමු. නැකැත් හදන වෙලාවට විශේෂයෙන් අවධානය යොමු කළ යුතු, විමසා බැලිය යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි කේන්දරයේ හතරවැනි භාවයේ අසුබ ග්‍රහයන් කිසිවෙක් නොසිටිය යුතුයි. එසේ විය යුත්තේ උත්පත්ති කේන්දරයේ නෙවෙයි, තත්කාල කේන්දරයේයි. අදාළ දිනයට එහෙම වෙන්න ඕනෙ. නැත්නම් ඒ ඉදිකිරීම සාර්ථක වෙන්නේ නැහැ. බාධා ඇති වෙනවා."

* ඒ අසුබ ග්‍රහයන් කවුද කියා සඳහන් කරන්න බැරිද?

"නැකැත් යොදන දිනයට තත්කාල කේන්දරයේ හතරවැනි කොටුවේ කේතු ග්‍රහයා ස්ථානගතවී නොසිටිය යුතුයි. ඒ වගේම සෙනසුරු ග්‍රහයා රැඳී නොසිටීමත් ඉතාම වැදගත්.

ඔවුන් දෙදෙනාම ඒ සුබ කටයුත්තට බාධක ග්‍රහයන් ලෙස ක්‍රියා කරනවා. ඒ පිළිබඳ අනිවාර්යයෙන් ම සැලකිලිමත් විය යුතුමයි."

* ඔය කතා කළේ තත්කාල කේන්දරය ගැනනෙ. උත්පත්ති කේන්දරයේ සඳහන් වෙන අසුබ ග්‍රහයන් කවුද නිවෙසක් ඉදි කිරීමට බාධා කරන?

"ඔව්, ඒකත් තීරණාත්මක සාධකයක් තමයි මෙතැනදි. උත්පත්ති කේන්දරයේ පිහිටන එවන් ග්‍රහ පිහිටීමක් තමයි; චන්ද්‍රයා මිය ගිය ග්‍රහයෙක් විදිහට නම වැන්නේ හිඳීම.

එය ප්‍රධානතම බාධකයක් වෙනවා. ඒ වගේම දහවැන්නේ සහ එකොළොස්වැන්නේ ස්ථාන ගතවී හිඳීමත් හානිකර තත්ත්වයක් විදිහට පෙන්වා දෙන්නට පුළුවන්.

තමන්ගේ උත්පත්ති කේන්දරයේ මෙවැනි ග්‍රහ පිහිටීම් තිබෙන අය නිවෙසක් ඉදිකිරීමට පටන් ගත්තාම කිසිම හේතුවක් නැතිව වැඩට අතරමග නතර වෙලා කඩාකප්පල් වෙනවා.

කිසිම හේතුවක් නැතිව අතේ තියෙන මුදල වියදම් වීම හෝ වෙනත් මගහැරිය නොහැකි කරුණු යෙදෙනවා. ඔබ හැඳින්වීමේ සඳහන් කරපු ඉස්කෝලේ මහත්තයාට වෙලා තියෙන්නේ ඔය අවසානයට සඳහන් කරපු දෙය."

* මේවා මගහරවන්න පුළුවන් ක්‍රමයක් තිබෙනව ද?

"අනිවාර්යෙන්ම පුළුවන්. ඒ සඳහා අනුගමනය කළ යුතු සුවිශේෂී ක්‍රමවේද වගේම වත්පිළිවෙත් තියෙනවා. එවිට බාධාවකින් තොරව වැඩ කරගෙන යාමට හැකියාව ලැබෙනවා."

* යම් තීරණාත්මක ග්‍රහ පිහිටීම් තියෙනවාද මොනම විදිහකටවත් පිළියමක් කරන්න බැරි විදිහෙ?

"මෙහෙමයි.... බරපතළ අනතුරු, මාරක වගෙ දේවල් නුදුරේ ඇතිවීමට නියමිත නම් එවැනි අයට නැකැතක් දෙන්නේ නැහැ.

එහෙම වුණාම නැකැත දුන්නු ‍ෙජ්‍යා්තිෂවේදියාට තමයි දොස් අහන්න වෙන්නෙ. ඒ වගේම අදාළ අපලයටත් පිළියම් යොදනවා ප්‍රමාණවත් කාලයක් තියෙනවානම්."

* ප්‍රමාණවත් කාලයක් කිව්වෙ ?

"නැකැත ඉල්ලාගෙන එන්නේ අර කියන අපලය යෙදෙන්න සති තුන හතරක් තිබියදී නම් හරිම අසීරුයි එය මඟහරවන්න.

අවස්ථාව තියෙනවා නම් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් වුණත් මඟ හැරවිය හැකි ක්‍රමවේද තියෙනවා."

* ගෘහ මූලිකයාට තිබෙන බාධක මගහරවන එකද, පවුලේ ප්‍රබල නිවාස ලාබ තිබෙන වෙනත් සාමාජිකයකු ගේ නමින් නැකැත් පිළියෙල කිරීමද වඩාත් සුදුසු?

"අනිවාර්යෙන්ම ගෘහ මූලිකයාගේ බාධක මඟහරවා නැකැත් සෑදීම තමයි කළ යුතු වන්නේ. එහෙම නැතිනම් අසාර්ථකයි. ගෘහ මූලිකයාට අපල තිබියදී වෙන අයෙකුට නැකැත් හැදුවයි කියලා අර තිබෙන අපල දුරු වෙන්නෙ නැහැ නෙ.

කොහොම නමුත් මෙවැනි නැකැතක් සෑදීමේදී පවුලේ සියලු සාමාජිකයන්ගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමක් සිදුකළ යුතුයි. මොකද ඒ හැමෝම ඉදිකරන නිවෙසේ වාසය කිරීමට නියමිතයිනෙ.

පවුලේ සාමූහික බැඳීම, ආදරය වර්ධනය වෙන නිවෙසක් තමයි ඉදිවිය යුතු වන්නේ.

ජීවිත කාලයක්, සාමාන්‍යයෙන් අපේ රටේ නම් පරම්පරා දෙක තුනක් එකම නිවෙසේ ජීවත් වෙනවා. ඒ නිසා හැම දෙයක් කෙරෙහිම අතිශයින් සැලකිලිමත් විය යුතුමයි."

* අපි හිතමු ගෘහ මූලිකයාගේ පෙර පින් කියන තැන නිවාස ලාභයක් ඇත්තේම නැහැ කියල හිතමු.... එතකොට මොකද වෙන්නෙ?

"එහෙම දෙයක් තමයි අර ඉස්කෝලෙ මහත්තයාට සිද්ධ වෙලා තියෙන්නෙ. පසු කාලීනව ලොකු මහත් වුණු දරුවො නිවාස හදනවා බොහොම අවස්ථාවල. හැබැයි ඉතින් ෙජ්‍යා්තිෂයේ බොහෝ ගැටලුවලට විසඳුම් තියෙනවා.

 

 

උපදෙස් -

ෙජ්‍යා්තිෂ කීර්ති, දේශමාන්‍ය ආචාර්ය, මාවනැල්ලේ

ජානක රත්නායක