2022 වසරේ ඔබට වාසනාව උදාවන්නේ මෙහෙමයි

දෙසැම්බර් 27, 2021

 

පසුගිය 2020 - 2021 දෙවසර තුළ ඔබට මට රටට ලෝකයට වූ උවදුරු පිළිබඳ අමුතුවෙන් කිවයුතු නොවේ. මේ මහ පොළොව මත ජීවත්වන මිනිසා සතා සිව්පාවා ඇතුළු ජීවී අජීවී සැමටම එය අත්විඳීමට හැකිවිය.

විටෙක ජල ගැලීම්, විටෙක ගිනි ගැනීම්, තවත් විටෙක වාහන අනතුරු, අපරාධ මෙන්ම කාන්තා හිංසන - ළමා අපචාර, වැඩ වර්ජන, කෝවිඩ් වසංගතය වැනි ව්‍යසන මෙතෙකැයි කීමට බැරි තරම් විය. තාක්ෂණයෙන් විද්‍යාඥානයෙන් ඉහළටම ගිය ලෝකයක මෙසේ සිදුවිය හැකිද? එය කාටත් ගැටලුවකි. සොබාදහම පරයා ඉදිකෙරෙන කොන්ක්‍රීට් වනාන්තරවල වෙසෙන මානව දයාව කරුණාව ගිළිහුණු මිනිස් සිත් සතන්වලට මෙය මහත් අභියෝගයකි. ජ්‍යොතිෂය - බුදු දහම සිතුවිලිවලින් ඈත්වූ විට මිනිසා හැසිරෙන තත්ත්වය අයාලයේ යන පිරිසක් බඳු විය හැකියි. මිනිසා වෙනස් වුවද සොබාදහම වෙනස් වන්නේ මිනිස් ක්‍රියාකාරකම් වලට අනුගතවය. එහෙත් හිරු සඳු එදාමෙන් අද ද පායයි. සුළඟ, පින්න, වැස්ස එදාමෙන් අද ද හමා එයි. එය සොබා දහමේ රීතියයි.

ග්‍රහ වස්තූන්ගෙන් සමන්විත මේ අහස් වියන යට දිවිගෙවන අපට සඳ, හිරු, තරු වල ආකර්ෂණය නැතුවා නොවේ. සැබැවින්ම විටෙක ගුරු නීචවූ කල, රවි නීචවූ සතුරුවූ කල - තවත් විටෙක බුධ සිකුරු වැනි ග්‍රහ වස්තූන් පෘථිවියට කරන බලපෑම් අකාරුණිකවූ විට එය අපට හොඳින් බලපායි.

රාහු, කේතු, සෙනසුරු වැනි දිගුකලෙකින් රාශි මාරුකරන ග්‍රහයින් පිළිබඳ අප විමසිල්ලෙන් සිටින්නේ අන්න ඒ නිසාය. පසුගිය වසරේ ද ඉහත කී සුබ ග්‍රහයන් අසුබ ලෙස පෘථිවියට කළ බලපෑම් නිසා එසේ අතවරයට පත්වීමට අපට සිදුවුවත් 2022 නව වසරේවත් රටට ලෝකයට අපට සුබවේදැයි ඇස් දල්වා බලා සිටින්නේ අන්න ඒ නිසාය.

පසුගිය කාලයේ ගුරු නීචවූ විට ලෙඩරෝග බහුල විය. ඒවායින් අත් මිදුණේ ආගමානුකූලව, චාරිත්‍රානුකුලව, සෞඛ්‍යාරක්ෂිතව දිවි ගෙවූ පිරිස පමණි. ගුරුගේ බලය සෘජුවම බලපාන ආගමික නායකයින් ශාස්තෘවරුන් පවා අකර්මණ්‍යව සිටියේ ඒ නිසා වන්නට පුළුවන. රාජ්‍ය තන්ත්‍රයට සිය පාලනය සිතූ ලෙස කරගෙන යාමට නොහැකිව මහජනතාවගේ විවිධ බාධා කිරීම් පවා එළඹුණා නම් ඒ රාජ්‍ය කාරක රවිගේ අසාමාන්‍ය බලපෑම නිසා වන්නට පුළුවන. කලාව - කාන්තාව - ළමා පරපුර දූෂ්‍ය වූවේ සිකුරු - බුද වැනි ග්‍රහයන්ගේ සෘජු අනිසි බලපැම් නිසා වන්නට පුළුවන. අනෙකුත් සුබ අසුබ ග්‍රහයන්ගේ හැසිරීම් රටාවද එසේම විය.

නමුත් එළඹෙන නව වසරේ ඒ සෑම අතවරයක්ම සෑම ව්‍යසනයක්ම අමතකකර සුබවාදී කාල පරිච්ඡේදයකට ප්‍රවිෂ්ඨ විය හැකි නම් එය කොතරම් වාසනාවක්ද.

එළඹෙන නව වසරේ විශ්වයේ ග්‍රහ හැසිරීම් රටාව විසිතුරු වන්නේය. රවි සිකුරු ධනුවේය. සඳු කුජ කේතු වෘෂ්චිකයේය. බුධ - සෙනසුරු මකරයේය. ගුරු - කුම්භයේය.

මෙබඳු යහපත් රාශි චාරයකින් සමන්විතව නව වසර ඇරැඹෙන විට එය සුබවාදී ආරම්භයක් වනු නොඅනුමානය. කලක් හිංසනයට පත්වූ කාන්තාව ඉන් නිදහස්වීම, අපචාරයට ලක්වූ ළමා පරපුර ඉන් මිදීම හා ඒවාට නව නීති අණපනත් ක්‍රියාත්මක වීම ව්‍යාපාරිකයන්ට ගොවි මහතුන්ට වූ ආපදා අවමවීමට, ඉගෙනුම අහිමි වූ පාසල් දූ පුතුන්ට යළි පාසල් විවෘත වීම, දුරුකර ගැනීමට තබා වැළකීමටවත් බැරි යයි සිතා සිටි කොරෝනා ව්‍යසනය අවසන්වීමට, රාජ්‍ය යාන්ත්‍රණය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවීම ඒ තුළින් මහජනතාව ධනයෙන් බලයෙන් ස්වයං පෝෂිතවීමට හා පාරේ තොටේ සිදුවන හදිසි අනතුරු, පාරිසරික උවදුරු කෙමෙන් පහවීයාම

 

ආදි මෙකී නොකි බොහොයක් උවදුරු වියැකී යාමට එළඹෙන 2022 වසර හේතුවනවාට කිසිදු සැකයක් නොමැත. කලා ලොව වැජඹෙන කලාකරුවන්ට ව්‍යාපාරික ලොව වැජඹෙන ව්‍යාපාරිකයන්ට සිතුසේ තම කටයුත්ත කරගෙනයාමට මෙය කදිම අවස්ථාවකි. කාන්තාවගේ පැත්තෙන් ගත්තත්, රුපලාවණ්‍ය කටයුතු, සුබ මංගල කටයුතු, රංගන කුසලතා පිළිබඳ නව මුහුණුවරකින් කටයුතු කරීමට මෙවර සිකුරුගේ බුධගේ ගුරුගේ යහපත් බලපෑම ආශිර්වාදයක්ම වනු ඇත. ඒ අනුව පුද්ගලිකව ඔබගේ ලග්නයට අනුව නව වසර කෙබඳුදැයි බලමු.

 

මේෂ ලග්නය

නොසිතූ මාර්ගයකින් ආදායම්

මේෂ ලග්නයට අනුව ඔබට තම ආදායම් තත්ත්වය උසස්කර ගැනීමට හැකිවෙයි. රැකියා අංශයේ උස්සවීම්, නව ව්‍යාපාර ආරම්භය මෙන්ම ඒ සඳහා ප්‍රභූ පිරිසගේ ඇප උපකාර හිමි වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායක වන අතර නොසිතූ මාර්ගවලින් තම ආර්ථිකයට නව ක්‍රමෝපායයන් සැලසෙන බව කිව යුතුය. අධ්‍යාපනය හදාරන අයගේ සිතුම් පැතුම් ඉටුව නව ජයග්‍රාහී තත්ත්වයනට මුහුණ දෙනු ඇත. ශරීර සෞඛ්‍ය අතින් තුනටියේ ආපදා, උගුරේ අපදාවලට මුහුණදීමට සිදුවන බව පෙනේ.

වෘෂභ ලග්නය

රැකියා උසස්වීම්

වෘෂභ ලග්නයට අනුව ඔබට ඉතා සුබ කාලයකි. විශේෂයෙන් අවිවාහක අයට මංගල යෝගද තරුණ තරුණියන්ගේ අදහස් සපලවන ආදරය ආලය මෝරායන කාලයකි. වෘත්තීමය මට්ටමේ ජයග්‍රහණද හිමිවන අතර රැකියා උස්සවීම්, මෙන්ම ආගමික කටයුතුවල වඩ වඩාත් නිරතවීම ඒ නිසාම පෙර පිං මහිමය මතුවීම මෙන්ම ගෘහ ජීවිතයේ මෙතෙක් පැවැති බාධක හිරිහැර අකාමකා දැමීමට අවස්ථාව උදාවෙයි. හදිසි ධනය ලොතරැයි ජය මෙන්ම තමා නව විෂයයක් පිළිබඳ ඉගෙන ගැනීමට යොමුවන වසරක්ද වෙයි. ශරීර සෞඛ්‍යය අතින් බැලුවොත් හිසේ අමාරු, සිත් දූෂ්‍යවීම් නිසා අධික රුධිර පීඩනය පවා එළැඹිය හැකිය.

මිථුන ලග්නය

රාජ්‍යතාන්ත්‍රික ඇප උපකාර

මිථුන ලග්නයට අනුව ඔබ ඉතා උද්යෝගයෙන් කටයුතු කෙරෙන වසරක් වෙයි. තම අඹුසැමි සබඳතාව දැඩිවන අතර නව ව්‍යාපාර ඇරැඹීම ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික ඇප උපකාර ලැබීම, කාගේ වුව ප්‍රසාදයට ඇගයීමට ලක්වනු ඇත. පිටරටක යාමට බලාපොරොත්තුව සිටි අයට පිටරට ගමන් බිමන් පවා එළඹෙනු පෙනේ. වෙනදාට වඩා පිනට දහමට නැඹුරුවන ඔබට කිසියම් විපතට පත් වු පිරිසකට පිහිටවීමට ද අවස්ථාව උදාවෙයි. ශරීර සෞඛ්‍ය අතින් යටි බඩේ ආපදා, වකුගඩු, මුත්‍රාස්ථානය ආදි අසනීප වැළඳීමේ අවදානමක් පවතී.

කටක ලග්නයට

නව කර්මාන්ත ඇරැඹෙයි

කටක ලග්නයට අනුව මෙම වසර ඔබට තම අභිලාෂයන් නිවැරැදි මඟකට ගෙන ඒමට හැකිවෙයි. ඒ අනුව නව ව්‍යාපාරයකට අතගැසීම නවතාදමා තිබූ ආදායම් ඉපයූ කර්මාන්තයන් යළි ක්‍රියාවට නැංවීම ඒ සඳහා විදේශයක සිට පැමිණි අයකුගේ උපකාර ලැබීම ඇතුළු සුබවාදී අවස්ථා රැසකි. නව විෂයයන් පිළිබද අධ්‍යාපන කටයුතු සිදුකරමින් එය ජයග්‍රහණ හිමිකර ගැනීමටද හැකිවෙයි. ගෘහ ජීවිතය සතුටුදායක වන අතර සුබසාධක සේවා රැසක් ආරම්භ කරමින් පොදු ජනතාවට යහපත සැලසීමටද දේශපාලනයට ප්‍රවිෂ්ඨවීමටද ඔබට හැකිවෙයි. කුස ආශ්‍රිත දැඩි උෂ්ණතාව තම ශරීර සෞඛ්‍යයට තර්ජනයක් වනු ඇත.

සිංහ ලග්නය

මංගල සීනු හැඬවේ

සිංහ ලග්නයට අනුව මෙම වසර ඔබගේ බලාපොරොත්තු අතර අවිවාහකනම් මංගලසීනු හැඬවෙන වසරකි.

 

විවාහවී ගැටලු රැසකට මුහුණදී සිටි ඔබට නව වසර උදාවත් සමඟ සහනය සමාදානය උදාවෙයි.

කලා කටයුතුවල නිරතව ඒවා අත්හැරදමා තිබුවේ නම් විලාසිතා පිළිබඳව කරගෙන ආ ව්‍යාපාර නවතා දැමුවේ නම් ඒවා සාර්ථකව යළි ඇරැඹීමට හැකිවෙයි.

සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වන ඔබට අතමිට සරුවන ආකාරයේ කටයුතුවලට මඟ සැලසේ. ශරීර සෞඛ්‍ය අතින් දණහිස ආශ්‍රිත ආපදා උවදුරු පෙන්වන නිසා වාහනවලින් ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.

කන්‍යා ලග්නය

නව නිවාස හිමිකම්

කන්‍යා ලග්නයට අනුව ඔබට වාසනාවන්ත වසරකි.

නව නිවාස ලාභ වාහන ලාභ හා රැකියා සපලතාව උදාවේ. කලක් ඉල්ලුම්පත් දමමින්ම කල්ගෙවූ නමුත් රැකියාව අහිමිතාවයෙන් පෙළුණු ඔබට නව වසරේ ජීවිතයේ අරුණලු උදාවනු පෙනේ.

තමා විවාහකව පීඩනයට පත්වී සිටි කාලයක් නම් එය අවසන්ව නිවසේ සාමය සමගිය අභිවෘද්ධිය උදාවනු ඇත. තමාට තිබු නීතිමය ගැටලු අවසන් වන අතර අහිමිවී තිබූ දේපළ යළි ඔබ අතට පත්වෙයි.

ශරීර සෞඛ්‍යය අතින් උරහිසට අසුබ කාලයක් වන අතර උගුරේ ආසාදන වැඩිපුර එළඹිමට ඉඩ ඇත.

තුලා ලග්නය

වාසනාවන්ත දරු සම්පත්

තුලා ලග්නයට අනුව නව වසර ඔබට තුලනාත්මකව ජීවිකාවක් ගෙනයාමට හැකිවෙයි. කලක් පාඩුවට පවත්වාගෙන ගිය ව්‍යාපාර ලාභ උපයන ව්‍යාපාර බවට පත් කර ගැනීමට ඔබට හැකිවෙයි.

ඒ සඳහා පෙර පිං මහිමය ඔබට බලපාන අතර නිවසේ පුන්‍යකටයුතු ද බහුල වනු ඇත.

කලක් බලාපොරොත්තුව සිටි දරුසම්පත් සිහිනය සැබෑවන අතර තමාගේ දරුවකුගේ ජයග්‍රහණයක් නිසා සිතට සහනය උදා කෙරෙන වසරකි.

අන් අයගේ ඇප උපකාර හා ගෞරව සම්මාන පවා ඔබට හිමිවනු ඇත.

තුනටියේ සිදුවිය හැකි ආපදාවක් නිසා සති ගණනක් එක්තැන් වී සිටීමට ඉඩ ඇති නිසා ප්‍රවේශම් වන්න.

වෘෂ්චික ලග්නය

ලොතරැයි ජය

වෘෂ්චික ලග්නයට අනුව මෙම වසර ඔබට හදිසි ධන ලාභ ලොතරැයි ජය ආදිය හිමිවනු ඇත.

නිතර අතේ මිටේ මුදල් ගැවසීම නිසා විනෝදය නිදහස කෙරේ වැඩි නැඹුරුවක් ඇති කෙරෙන වසරකි. එහෙත් සකසුරුවම ආරක්ෂාකර ගතහොත් වසර සුබවාදී වෙයි. තම නිවසේ අලංකාරය සඳහා නිතර කැපවන අතර දුර බැහැර ගමන් බිමන්ද යෙදෙනු ඇත. තමා අපේක්ෂා කළ සුඛෝපභෝගි වාහනයක් මිලට ගැනීමට ඔබට වාසනාව ගෙනදෙයි. හිසේ වේදනා, මුත්‍ර අමාරු නිසා නිතර පීඩා ගෙන දෙනු ඇත.

ධනු ලග්නය

රාජ්‍යතන්ත්‍රයේ ඇප උපකාර

ධනු ලග්නයට අනුව රවි, සිකුරු ලග්න ගතව ඇරැඹෙන නව වසර බොහෝ සමීපතමයින්ගෙන් යහපත් ඇප උපකාර ලැබෙනු ඇත. රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ නිලධාරින් තමා වෙනුවෙන් පෙනී සිටින වසරකි. සමාජසේවා කටයුතුවලින් සෙසු අයගේ ප්‍රසාදයද හිමිවෙයි. හදිසි දේපළ ලැබීමකට හේතුවන අතර කලක් පවත්වාගෙන ආ නීති ගැටලුවකින් අත්මිදීමට අවස්ථාව උදාවේ.

පිටරට යෝග, ව්‍යාපාරවල උදාවන අතර නව විෂයයක් පිළිබඳ අධ්‍යයනය කොට එය තම දැනුම් සම්භාරයට එකතුකර ගැනීමට අවස්ථාව උදාවේ. පාදයේ වළළුකරට අගුණයි.

මකර ලග්නය

අන් අයගේ අණසකින් මිදේ

මකර ලග්නයට අනුව මෙම වසර ඔබට තම රුචි අරුචිකම් අනුව කටයුතු කිරීමට හැකිවේ. කලක් අන් අයගේ අණසකට යටවි සිමාවී තිබූ දිවිය නිදහසට පත්වේ.

නව විෂයයන් පිළිබඳ ඉගෙනුමට උනන්දු වන වසරකි. ගෘහ ජිවිතය සතුටුදායක වෙයි.

නව ආදායම් මාර්ග පෑදේ. ගිය ගිය තැන ඇගයීම් ප්‍රමුඛතාව ලැබීමට ඔබට හැකිවෙයි.

තම දූ දරුවන් වෙතොත් ඒ අය වෙනුවෙන්ම කාලය ධනය කැප කිරීමට සිදුවනු ඇත. යටි බඩේ පවතින අසාත්මිකතාවක් නිසා පීඩා විඳීට සිදුවන අතර වකුගඩු වැනි කල් පැවතුණ අසනීප ඇති අය ප්‍රවේශම් විය යුතු වසරකි.

කුම්භ ලග්නය

ආදර සබඳතා පුළුල් වේ

කුම්භ ලග්නයට අනුව ඔබට මෙම වසර ඉතා සැනසිලිදායක වසරකි.

සිතේ සතුට උතුරායන කරුණු කීපයක් හේතුවේ. අවිවාහක අයෙක් නම් විවාහ යෝජනාද තරුණ අයකු නම් ආදර සබඳතාද මතු කෙරේ.

පිටරට ගමන් අපේක්ෂා කළ අයට එබඳු ගමන්ද නව ව්‍යාපාර ආරම්භයටද එ තුළින් සතුටුදායක ආදායම් ද සහිතවෙයි. තමා විසින් කෙනෙකුට දී තිබු ණය මුදලක් යළි තමාට හිමි වනු ඇත.

සමාජ සේවා කටයුතු ආගමික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට සිදුවේ. පපුවේ නහරගත ආපදා ලේ දෝෂ පෙන්වනු ඇත.

මීන ලග්නය

වාහන ලාභ

මීන ලග්නයට අනුව මෙම නව වසර ඔබට තම වෘත්තීමය මට්ටම උසස් වනු ඇත.

තමා සකසා තිබූ ආර්ථක වැඩසටහනක් ප්‍රධානීන්ගේ අගැයුමට ලක්ව එය ක්‍රියාවට නැංවෙන වසරකි.

තම ආදායමටද නව ක්‍රියාමාර්ග එක්වනු ඇත. වාහන ලාභ නිවාස ලාභ මෙන්ම විදේශයෝග ද හිමිකම් තිබේ.

තමා අපේක්ෂා කළ දේපළක් පිළිබඳ තිබූ ගැටලු විසඳෙන වසරකි.

එසේම පූජ්‍ය පක්ෂය වෙතින් ඔබට සහාය හිමිවන අතර නිවසේ ආගමික මුහුණුවරකින් යුතු උත්සව කීපයකට හේතුවේ.

වෛද්‍ය අංශය කෙරේ යොමුවී සිටින අයට සුබයි. වශේෂයෙන් ඔබට දණහිස් ආපදා බහුල වන වසරකි.

උපදෙස්

සුබසෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි