ආර්ථික අර්බුද හමුවේ නිවෙසක් තනන සිහිනය සැබෑකර ගන්න නම්...

මැයි 23, 2022

 

 

නිවෙසක් තැනීම කලාවකි. එය අපට වඩාත් සමීපවන්නේ ගෘහ නිර්මාණ කලාව හා බැඳි ජ්‍යොතිෂය සමඟිනි. එසේම ගෘහනිර්මාණ තාක්ෂණය ද එක්වූ කළ නිවී සැනසිල්ලේ ජීවත්විය හැකි නිවහනක් තනාගත හැකි වෙයි.

එහෙත් නිවෙසක් තැනීම වර්තමානයේ අභියෝගයකි. රට තුළ පවතින ආර්ථික ගැටලු හමුවේ සියලු ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇත්තේ නොසිතන ලෙසිනි.

නිවෙසක් තැනීමට අවශ්‍ය වැලි, සිමෙන්ති, යකඩ, ලී, ගල් යන අනෙකුත් සියලුම අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යෑම නිසා සමස්ත ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයම අඩපන වී ඇත්තේ ගැටලු රාශියක් නිර්මාණය වීම හේතුවෙනි.

මේ ගැටලු හමුවේ නිවෙසක් තැනීම සිහිනයක් වේවිද? මෙය බොහෝ දෙනකු තුළ පවතින කුතුහලයකි. තමුන්ගේ අතේ ඇති මුදලින් හෝ බැංකුවකින් ණයට ගත් මුදලින් ගෙයක් තැනීමට නොහැකිව බොහෝ පිරිසක් අතරමංව සිටිති. විශේෂයෙන් නිවෙසක් තැනීම ආරම්භ කළ පිරිස ද අභියෝග මැද තාවකාලිකව ඉදිකිරීම් කටයුතු නවතා ඇත්තේ තව මාස කිහිපයකින් හෝ මේ සඳහා විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙනි.

මේ අභියෝග සියල්ලටම විසඳුම් සොයා ගැනීම තරමක අසීරුය. එහෙත් ඔබේ සිහිනය බොඳවී යෑමට ඉඩදිය නොහැකිය. අනාගතය ගැන අපේක්ෂා දල්වාගෙන ඔබ නිවෙසක් තැනීම ආරම්භ කළ යුතු කාලය උදාවී තිබේ. උද්ධමනය නිසා වැඩිවන මිල, අඩුවන නිශ්චිත කාලයක් ගැන අපට සඳහන් කළ නොහැකිය. ඒ නිසා පවතින තත්ත්වයට අනුව තමුන් ආරම්භ කළ කටයුත්ත කල් දැමිය යුතු නැත. කෙසේ හෝ තමුන්ගේ ඉලක්කය කරා ළඟාවීමේ අපේක්ෂාවෙන් ඔබේ මුල් පියවර තබන්න. කෙතරම් අසීරුකම් තිබුණත් මේ හොඳම කාලය යැයි සිතා ඒ කටයුත්තට මුල පුරන්න. නමුත් පවතින ආර්ථික මට්ටම අනුව එය ආරම්භ කරන්න සිතට ගන්න.

 

ජ්‍යොතිෂයට අනුව

සුබ කාලය

අප නිවෙසක් තැනීමේ කටයුත්ත ආරම්භ කරන්නේ සුබ නැකැතකටය. එය අපගේ සාම්ප්‍රදායික විශ්වාසයකි. සෑම වසරකම නිවෙසක් තැනීම සඳහා සුදුසු නැකැත් නැති මාස කිහිපයක් පවතී. අප ‍ෙම්වා හඳුන්වන්නේ කෝණ මාස ලෙසයි. නිවෙසක් තැනීම සඳහා සුබ වන්නේ මේ කෝණ මාසවලට හසු නොවන කාලයයි. ඒ අනුව මේ වසරේ පළමු කෝණ මාසය උදා වූයේ මාර්තු 14 වැනි දිනයි. ග්‍රහ කාරකාවන්ගේ අධිපතිවන රවි ග්‍රහයා තම මිත්‍ර රාශියක් වන ගුරුහිමි මීන රාශියට පිවිසීම අප්‍රේල් 14 දින සිදුවිය.

මෙම ග්‍රහ පිහිටීමට අනුව ජ්‍යොතිෂානුකූලව මේ රවි මාරුව ප්‍රබල ග්‍රහ මාරුවකි. එසේම රවි ග්‍රහයා මීන රාශිගතවීම කෝණ මාසයක ආරම්භයයි. කෝණ මාසය තුළ නිවාස හා මංගල කටයුතු සඳහා නැකැත් නොයෙදෙයි. එලෙසින් මේ වසරේ ඉදිරියට කෝණ මාස යෙදෙන්නේ

* ජුනි 14දා සිට ජූලි 14 දක්වා.

* සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 17 දක්වා.

* දෙසැම්බර් 16 සිට 2003 ජනවාරි 15 දක්වාය.

බොහෝ විට මේ කාලය පසුකර නිවෙසක් තැනීම සඳහා සුබ හෝරාවක් වෙන්කරදීම ජ්‍යොතිෂාස්ත්‍රඥයෝ සිදු කරති.

ඔබට කොයිතරම් ආර්ථික ගැටලු පැවැතියත් නිවෙසක් තැනීමේ කටයුත්ත සුබ නැකැතින් ආරම්භ කරන්න. එය තවත් කල් දැමීම අනුවන ක්‍රියාවකි. ඉන්පසුව නිවෙස තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගන්න. ඒ සඳහා ද ඔබට යම් කාලයක් ගතවෙනු ඇත. ඇතැම්විට මාස කිහිපයක් ගතවෙන විට මේ මිල ගණන් වෙනස් වී රට යහපත් තත්ත්වයට පත්වීමට ඉඩ තිබේ. එවිට ඔබේ නිවෙසේ ඉදිකිරීමේ කටයුතු ඉතාම හොඳින් කරගැනීමට හැකිවනු ඇත.

 

 

උපදෙස් -

ජ්‍යොතිශාස්ත්‍රඥ ආයුර්වේද

වෛද්‍යාචාර්ය චන්දන

සතරසිංහ සහ කැදැල්ල

හෝම්ස් හි අධ්‍යක්ෂ