ඔබගේ දෛව අංකයට අනුව වාසනාව සොයන රහස මෙන්න

අගෝස්තු 14, 2023

 

උපදෙස් - ප්‍රවීණ අංක විද්‍යාවේදිණි

ලක්ෂි පුෂ්පලතා පෙරේරා

ආදි මානවයාගේ සිට නූතන මානවයා දක්වා ඉර,හඳ සහ තරු රටා පිළිබඳ විවිධ වූ නිර්ණායකයන් ඔස්සේ අතීතය, වර්තමානය, අනාගතය පිළිබඳ අනාවැකි ඉදිරිපත් කරනු ලබයි.

තම තමන්ගේ කේන්ද්‍ර පත්‍රයට අනුව සුබ වේලාවන් සාදා සුබ මූර්තියට අනුව කටයුතු කරනු ලබන අතර අසුබ කාල වලදී විවිධ වූ පුද පූජා කටයුතු සහ වතාවත්වල නියැළෙමින් එම අපල උපද්‍රව දුරුකර ගැනීමට කටයුතු කරයි.

අද අපි විමසා බලන්නේ උපන් දිනය මඟින් කෙනකුගේ ගති ලක්ෂණ පවසන ආකාරය පිළිබඳයි.

 

ඕනෑම පුද්ගලයකුගේ උපන් වර්ෂය ,මාසය , දිනය උපයෝගී කරගෙන  දෛව අංකය සාදනු ලබන අතර උපන්දිනය මුල්කරගෙන පුද්ගලික අංකය  සාදනු ලබයි.

 

දෛව අංකය සොයන්නේ මෙහෙමයි.

කෙනකුගේ උපන් දිනය 1978.5.31 වේ නම්. 1 + 9 + 7 + 8 + 5 + 3 + 1 ලෙස සියලුම අංක එකතු කරනු ලබයි. එවිට පිළිතුර 34 වේ. 3 + 4 එකතු කළ විට අවසාන පිළිතුර 7 වේ. එහිදී ඔබගේ දෛව අංකය ලෙස සලකන්නේ අංක 7යි.

 

පුද්ගලික අංකය

සොයාගන්නා ආකාරය

 

උදා : උපන්දිනය  1978.5.31  යැයි සිතමු. එවිට උපන්දිනය 31 වේ. 31 මෙලෙස එකතු කරන්න 3+1 = 4 ඔබගේ පෞද්ගලික අංකය වන්නේ 4 යි

 

උදා : 19,28,27 වැනි අංක එකතු කිරීමෙන් ලැබෙන පිළිතුර 10 වේ.

 

1+9 = 10

1+0 = 1 එවිට ඔබගේ ජීවන අංකය 1 වේ.




අංක 1
කලට වේලාවට වැඩකරනු ලබයි. නායකත්වයට ඉතා සුදුසුයි. ධෛර්යවන්ත පුද්ගලයින් වේ. අවංක සංවේදී ගති ලක්ෂණ පෙන්නුම් කරයි. ප්‍රතිපත්තිගරුක අයවන අතර අසාධාරණයට එරෙහි වේ. සෑම කරුණක්ම නිසි පරිදි අවසන් කිරීමේ දැනුමක් ඇත. සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. බුද්ධිමත්, ඉගෙනීමට දක්ෂ පිරිසකි. රජයේ රැකියාවන්ට බොහෝවිට යොමු වේ. රැකියාවේදී හෝ ව්‍යාපාරයේ මුල් තැන උසුලයි. ණයට දුන් දේ නොලැබීම  පෙන්නුම් කරයි. ඔට්ටු සහ සූදු ක්‍රීඩාවලින් අලාබ සිදු වේ.



අංක 2

ආකර්ෂණීය සෞම්‍ය අයවලුන් වේ. නිර්මාණශීලීය. ඕනෑම අයෙකු විශ්වාස කිරීම නිසා හිත් රිදවීම් ඇතිකරගනී. මිත්‍ර සම්පත්තිය වැඩිය. කල්පනාකාරීව කටයුතු කරයි. ක්‍රියාශීලී පුද්ගලයින් වේ. ඉක්මනින් තරහ නොයයි. තරමක අහංකාර බවක් පෙන්නුම් කරයි. අසාධාරණය වෙනුවෙන් කතා කිරීමට පසුබට නොවේ. ධර්මානුකූල වේ. ව්‍යාපාරවලට වඩා රැකියාවන්ට උනන්දුව දක්වයි. ගායනය, රංගනය වැනි කලා ක්ෂේත්‍රවලින් වැඩි ප්‍රසිද්ධියක් ලබයි. මුදල් හොඳින් පරිහරණය කිරීමේ හැකියාවක් ඇත. පවුලේ අයට දැඩි ළෙන්ගතුකමක් දක්වයි. සැමගේ සතුට ප්‍රිය කරයි. ආදර සම්බන්ධතාවලදී ගන්නා වැරැදි තීරණ හේතුවෙන් පසුතැවීම්වලට ලක් වේ. ආදරයේදී අවංකයි. දරුවන් වෙනුවෙන් කැපවී වැඩ කරයි. විනෝදයට ප්‍රිය කරයි.



අංක 3

නීතිගරුක පෞරුෂය වැඩි අය වේ. තෝරාගත් මාර්ගයක ඉදිරියට ගමන්කරනු ලබයි. ගුරුහරුකම් සහ උපදේශන සේවාවන්ට වඩාත් දස්කම් දක්වයි. තරමක් ආඩම්බරයි. අන් අයට දෙවැනි වීමට අකැමැතිය.  සංවේදී සහ විනෝදකාමීන්ය. සැමවිටම නිදහස අගය කරයි. ආත්ම විශ්වාසය වැඩිය. අභියෝගවලට සාර්ථකව මුහුණ දෙයි. ලබාගැනීමට සිතනා ඕනෑම දෙයක් කෙසේ හෝ ලබාගනියි. හිත හොඳය, අවංකය. වටහාගැනීමේ ශක්තිය වැඩිය. අන් අයට උදවු කිරීමට ඉතා කැමත්තක් දක්වයි. ඉගෙනීමේ දක්ෂයෝය. නව නිර්මාණ කෙරෙහි සිත යොදවයි. අංක 03 හිමි බොහෝ පිරිස රාජ්‍ය සේවකයින් වේ.   රැකියාවේ ඉහළටම යාමට පින පවතී. ආදරය අවංකය. තනි තීරණ ගැනීම නිසා විවාහයේ පසුතැවීම් ඇති වේ. මිත්‍රයින් වෙනුවෙන් කැපකිරීම් කිරීමට ඉදිරිපත්වේ. අනවශ්‍ය ප්‍රශ්නවලට පැටලීමට අකැමැතියි. ධර්මයට ළැදියි.



අංක 4

 තර්කානුකූලයි. මුරණ්ඩු ගති පැවතුම් ඇත. හිතුවක්කාරයි. සැමවිටම පවතින සමාජයේ වෙනසක් දකී. සමාජය වෙනස් කිරීමට තැත් කරයි. යහළු මිත්‍රාදීන් අඩුයි. දුප්පත් අයට සේවය කිරීමට ප්‍රියතාවක් දක්වයි.  නීරෝගිව සිටීමට වැඩි උනන්දුවක් දක්වයි. සමාජයේ කැපී පෙනෙන චරිතයකි. සෑමවිටම වෙනස් දේ සඳහා සිත යොමු කරයි.  අන් අයගේ රැවටීම්වලට ලක් නොවේ. ව්‍යාපාරවලින් ජය හිමි වේ.  දියුණුව සඳහා පැමිණෙන බාධක  ජයගැනීමේ හැකියාවක් ඇති නමුත් ලැබීම් ප්‍රමාදයි. කිසිවකුගේ හෝ උදව් උපකාර නොමැතිව ඉගෙනීම් කටයුතු කරගෙන යනු ලබයි. මිත්‍රශීලී පුද්ගලයින් වේ. ආදරය අවංකය. ආදරයේදී  ආත්මාර්ථකාමී වීම නිසා  ප්‍රශ්න ඇති වේ. ආදර විවාහ සිදු වේ.  ධර්මානුකූලයි. කතාවට බොහෝ ප්‍රිය කරයි. සතුට හා දුක සඟවාගෙන කටයුතු කරයි. නව විලාසිතාවන්ට සිත යොමු කරයි. පවුලේ අය සමඟ මතභේද  ඇතිකර ගනී. විවාහ ජීවිතයේ වගකීම් නිසි පරිදි ඉටුකරයි.


අංක 5

 වාසනාවන්ත අංකයකි.  ජනප්‍රිය චරිත වේ. යාළු මිත්‍රාදීන්ගෙන් අඩුවක් නැත. ඕනෑම අයෙකු සමඟ වැඩ කටයුතු කිරීමට දක්ෂය. දියුණුව අන් අයට වඩා වේගවත්ය. අමාරු කාර්යයන් ජය ගැනීමට වෙහෙසවී කැපවීමෙන් වැඩ කරයි.  මනා රූප ස්වභාවයකට හිමිකම් කියයි. විලාසිතාවන්ට බොහෝ ප්‍රිය කරයි. අන් අය අතර කැපී පෙනෙන චරිතයකි. හිස සහ ඇස් ආශ්‍රිතව රෝග ඇතිවිය හැකියි. මානසිකව ක්‍රියාශීලී බවක් පෙන්වයි.  අන් අයට උදවු කිරිමට ප්‍රිය කරයි. වෙහෙස මහන්සි නොවී දියුණුව පතයි. ඉගෙනීමට දක්ෂ වේ.  ධර්මානුකූලයි. ආයුර්වේද, ජ්‍යොතිෂය, නීතිඥ, පරිගණක වෘත්තීන් සුදුසුයි. අමාරු අපහසු කාර්යයන් පහසුවෙන් කිරීමේ හැකියාවක් ඇත. අන් අයගේ උදවු ලබා ගැනීමට අකමැතිය. විනෝදකාමීය. ආදරය සිතා බලා කරනු ලබයි. 



අංක 6

ලස්සන ප්‍රියමනාප අයවේ. මිත්‍ර ආකර්ෂණය වැඩිය. සැහැල්ලුවෙන් ජීවත් වේ. ආදරණීය සංවේදී ශාන්ත පුද්ගලයින් වේ. කඩවසම් පෙනුමක් ඇත. සැබෑ වයසට වඩා අඩු වයසක් පෙන්නුම් කරයි. විලාසිතා කිරීමට ඉතා කැමතියි. කාන්තා පාර්ශ්වය ආභරණ පැලඳීමට කැමතියි. පිරිමි පාර්ශ්වය වාහන සඳහා උනන්දුවක් දක්වයි. විශ්වාසවන්ත පුද්ගලයින් වේ. විනෝදකාමීය.
අසාධාරණයට සැමවිටම විරුද්ධව කටයුතු කරයි. අධ්‍යාපනය ලබන්නන් අධ්‍යාපනයට වඩා විලාසිතාවන්ට සිත යොමු කරයි. ගායනය, නර්තන වැනි කලා කටයුතුවල නියැළෙයි. එම ක්ෂේත්‍රයන් හි ප්‍රසිද්ධවන අතර ධනය ඉපයීම ද සිදුකරයි. වියදම් අධික වේ. ආදර විවාහයන්ට මුල පුරයි. ආදරයේදී අවංකයි. විවාහ ජීවිතය  සාර්ථකයි.ඉක්මනින් තරහා නොයයි. තරහ ගිය විට එය පා පාලනය කර ගැනීමට අපහසුය.



අංක7


ආධ්‍යාත්මිකව කටයුතු කිරීමට බොහෝවිට කැමැතියි. කෙසඟ සිරුරකට උරුමකම් කියයි. බුද්ධිමත් සහ ක්‍රියාශීලී අය වේ. කතාබහට ඇලුම්කම් දක්වන සංවේදී කොට්ඨාසයකි. තම දැනුම අන් අය සඳහා බෙදාදීමට ප්‍රිය කරයි. කරදර බාධක දුක තනිවම විඳ දරා ගැනීමට ශක්තිය ඇත. කුඩා කාලයේදී ඉගෙන ගැනීමට උනන්දුවක් නොදක්වන අතර පසුකාලීනව අධ්‍යාපනය  සාර්ථක කරගනී. කලාව, ජ්‍යෙතිෂය, ගුප්ත ශාස්ත්‍රය වැනි විෂයන්වලට වැඩි ඇල්මක් දක්වයි. වැඩිහිටියන්ට ගරු කරයි. කිරි හෝ පැණි ව්‍යාපාර වලින් ලාභ ලබයි. අනවශ්‍ය දේවල්වලට වියදම් නොකරයි. ඉතිරි කිරීමට සිත් යොමු කිරීම වැදගත් වේ. විවාහය සාර්ථකයි. වගකීම් ඉටු කරයි. 


අංක 8
 
ප්‍රියමනාප වේ. හිත හොඳ කොට්ඨාසයකි. වෛරී චේතනාවන් නැත. කතා හැකියාවෙන් අන් අයගේ සිත් දිනා ගනී. පහසුවෙන් මිතුරුකම් ඇතිකර නොගනී. තීරණ ගැනීමේදී ගැඹුරෙන් කල්පනා කරනු ලබයි. අධ්‍යාත්මික දේ ගැන උනන්දුවක් දක්වයි. අධ්‍යාපනය සඳහා වෙහෙස වී කටයුතු කරයි. උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය යන ගුණාංග නිසා රැකියාව හෝ ව්‍යාපාරය දියුණු වේ. ගුරුවෘත්තිය,ජ්‍යොතිෂය,නීතිඥ වැනි වෘත්තීන් සුදුසුය. රංගනය සහ කලා අංශයෙන් ජනප්‍රිය වේ. ආදරයට බාධා ඇති වුවත් විවාහය ආදරය මත තීරණය වේ. විශ්වාසය නිසාම ආදරයේ රැවටීම්වලට ලක් විය හැකිය.


අංක 9


 සටන්කාමීය. තේජාන්විත වෙයි. ඕනෑම දෙයකට ඉදිරිපත් වේ. දක්ෂ පුද්ගලයන්ය. සංවිධාන ශක්තිය උපරිමව පවතී. අන් අය දමනයකර ගැනීමේ හැකියාව ඇත. නිර්භයව ඉදිරිපත් වීම නිසා අනතුරුවලට මුහුණපෑමට සිදු වේ. සිතන ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවේ. මොවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට අපහසුයි. තමන් ආදරය කරන අය හොඳින් රැක බලා ගනියි. නිර්භය පුද්ගලයින් නිසා ඕනෑම දෙයක් මුහුණට මුහුණ කතා කිරීමට ප්‍රියතාවයක් දක්වයි. යමක් පැවසීමේදී අනෙකා කෙසේ දරා ගනීදැයි සිතන්නේ නැත. අන් අයගේ විධානයන් නොපිළිගනී. මනා බුද්ධියෙන් යුතුව කටයුතු කරයි. එක් අංශයකින් පමණක් අධ්‍යාපනය කරගෙන යෑම වැදගත් වේ. ආරක්ෂක ඉංජිනේරු, ගුරු, වෛද්‍ය වැනි රැකියාවන් සුදුසු වේ. අවංක ආදරය ඇත. ආදරයේදී නිදහස බලාපොරොත්තු වෙයි.