ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම්

ජනවාරි 22, 2024

ගත වී යන, උදාවන හැම තත්ත්පරයකම වටිනාකමක් රැඳෙනවා. ඇත්තෙන්ම අද දවස වගේම හෙට දවසත් හිතට ගෙන දෙන්නේ නැවුම් බලාපොරොත්තු. ඔබ ඒ පැතුමන්, අරමුණු එකිනෙක ජයග්‍රහණය කරගන්න නොකරන දෙයක් නැහැ නේද? ඇත්තටම අනාගතයේ වෙන්නෙ මොකක්ද? කොහොමද වෙන්නෙ කියලා දැනගන්න කාගෙ කාගෙත් යටි සිත උනන්දුයි.

මේ කාරණාවේදී ජ්‍යොතිෂයෙන් ලැබෙන පිටිවහල අතිශය වැදගත්. ඒත් හැමෝටම කේන්දරයක් එහෙමත් නැත්නම් හඳහනක් නැහැනෙ. හඳහනක් නැතත් දැන් අංක විද්‍යාව තුළින් අනාගතයට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාටත් අනාගතය ගැන, අධ්‍යාපනය ගැන, පවුල් ජීවිතය ගැන විවිධ ගැටලු ඇති. තරුණී අප ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම් ලබා දෙන්න සූදානම්.

අපේ ලිපිනය... අංක විද්‍යාවෙන් පිහිට,

තරුණී, ලේක්හවුස්,

කොළඹ - 10.

 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.

 

හවුල් ව්‍යාපාරයකට සාමාජිකයින්ගේ පුද්ගලික අංක බලපානව ද?

 

ප්‍රශ්න

තරුණී පුවත්පතේ මීට පෙර අංක විද්‍යාව සම්බන්ධයෙන් පළ වූ ලිපියක් මා කියෙව්වෙමි. එහි සඳහන් කර තිබුණේ. හවුල් ව්‍යාපාරයක් අරඹන විට අනෙක් සාමාජිකයින්ගේ පුද්ගලික අංක එකිනෙකට නොගැළපෙන විටදීත් ව්‍යාපාරයේ ගැටලු මතුවිය හැකි බවයි. මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ අප පස්දෙනාගේ පුද්ගලික අංක ගැළපෙනවාද කියාත්, නොගැළපේ නම් ඊට පිළියම් තිබෙනවා ද කියාත් ය. අපගේ පුද්ගලික අංක වන්නේ අංක 3, 2, 8, 5, 6 යන අංකයන් ය. මේ අංකවල ගැළපීම් නොගැළපීම් ගැන අවබෝධයක් ලබා දෙන්න.

 

පිළිතුර

ඔබ පස්දෙනාගේ පුද්ගලික අංක පිළිවෙළින් 2, 3, 5, 6, 8 වෙයි. අංක 3, 6, 2, 5 එකට සහයෝගයෙන් යා හැකි අංක වේ. ව්‍යාපාර, මිතුදම් පැවැත්විය හැකිය. අංක 3, සහ 6ට අංක 8න් බාධා නැත්නම් අංක 2,5,8 එකට යන්න පුළුවන්. අංක 5 කෙනා ව්‍යාපාර සඳහා සුදුසුම කෙනා වේ. ඔහු කතාබහෙන් ව්‍යාපාරය කරගෙන යන්න දක්ෂම කෙනාය. 8 කෙනා අයින් වුණා නම් අනිත් සිවුදෙනාට එකට ව්‍යාපාර කටයුතු කළ හැකියි. අංක 8 කෙනා ව්‍යාපාරය සඳහා එතරම් සුදුසු නොවන්නේ ව්‍යාපාරයකට ලැබීම් සහ වාසනාව මදි නිසාය. අංක 8 පුද්ගලයා මේ ව්‍යාපාරයට සම්බන්ධ නොවී ඉන්න තරමට වඩාත් සුදුසුයි.

 

මගේ දෛව අංකය අනුව අනාගතය ගැන කිව හැකි ද?

 

ප්‍රශ්නය

මා අවුරුදු 31ක් වයසැති තරුණියකි. මාගේ උපන් දිනය වන්නේ 1992. 07. 18. මාගේ උපන් දිනයට අනුව දෛව අංකය සහ පෞද්ගලික අංකයන් මොනවා ද? ඒ අනුව මාගේ අනාගතය ගැන කිව හැකි ද?

වැල්ලම්පිටිය - දර්ශනී

 

පිළිතුර

 

ඔබගේ උපන්දිනයට අනුව ඔබගේ පුද්ගලික අංකය වන්නේ 9 දෛව අංකය 1 වේ. ඒ අනුව ඔබගේ උපත බලවත් උපතක්ය. සසර කුසල කර්ම අනුව බලවත් උපතක් ඇතත්, පුද්ගලික අංකය 9 නියෝජනය කරන්නේ කුජ ග්‍රහයායි. වේගවත් චරිතයක්, ඉක්මනින් කේන්ති යන, තරහව හිතේ පවතින, පොඩි දේටත් කලබළවන, හොඳ සංවිධාන ශක්තියක් ඇති, තැනකට ගියත් කැපීපෙනන ගති ඇති, එහෙත් නම බලවත් නැත්නම් මෙම තත්ත්වය අඩුවිය හැකිය. උපත බලවත් වුවත් සමහර ග්‍රහ පිහිටීම් අනුව මනුෂ්‍යාව හකුළා තබනවා. නමුත් ගොඩක් දුරට ගැහැනු දරුවෙක් නිසා ස්වාමියා මේ තත්ත්වයට ඔරොත්තු දෙයිද කියන දේ බලන්නම වෙනවා. මේ උපතට ගැළපෙනම සැමියෙක් හොයාගන්න ඕනෙ වෙනවා. නැත්නම් තමන්ගේ ගැහැනුකම ගැන හිතලා ලැබිල ඉන්න සැමියා සමඟ ඉවසීමෙන් ඉන්න වෙනවා. ඒත් රබර් බෝලෙ වතුර යටට තද කරගෙන ඉන්නවා වගේ වැඩක් කොයි වෙලේ උඩට මතුවෙයිද කියන්න බැහැ තමන්ගේ ගති. හැබැයි මේ ආදරයේදී බොහොම හැඟීම්බරයි. ආදරයෙන්ම තමයි මෙයාව මෙල්ල කරන්න පුළුවන්. අධ්‍යාපන සුදුසුකම් ඇත්නම් ඉහළ තනතුරු දැරීමට උපතින් වාසනාව ගෙනා අයෙකි.

 

 

උපදෙස්

ප්‍රවීණ අංක විද්‍යාවේදිනි

ලක්ෂි පුෂ්පලතා පෙරේරා