නිවෙසේ දියුණුවේ උල්පත මතුකරන දේව පාදය හඳුනාගනිමු

ජනවාරි 29, 2024

 

නිවෙසක් තැනීමේදී අප මුහුණ දෙන ගැටලුවක් වන්නේ ඉඩමේ ප්‍රමාණයයි. වර්තමානයේ නාගරික ඉඩමක ප්‍රමාණය පර්චස් 5 - 10 පමණ සීමාවකට කුඩා වෙයි. මෙවැනි ඉඩමක විද්‍යාත්මකව පාද බෙදීම තරමක අසීරු කටයුත්තකි. මෙවැනි ඉඩමක පාද බෙදීමේදී අශුභ පාද ඉවත් කළහොත් නිවෙසක් තැනීමට ඉඩක් ඉතිරි නොවෙයි. එසේම ඉඩමක නිවෙසක් තැනීමේදී බලපාන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පනවන නීතිවලට අනුකූලව නිවෙස ගොඩනැඟීම කළ යුතු වෙයි.

 

මෙවැනි අවස්ථාවක අප කළ යුත්තේ වාස්තු දෝෂ අවම කරගනිමින් නිවෙස තැනීමට වාස්තු ශෘස්ත්‍රඥයකුගෙන් උපදෙස් ගැනීමය. මේ සඳහා වාස්තු විද්‍යාෙව් පාද හතර තුළින් ගෘහ මූලිකයාට සහ නිවෙසේ අනෙක් සමාජිකයන්ට ඇති කරන බලපෑම ගැන අවබෝධයක් තිබිය යුතුය. මෙලෙස පාද බෙදීමේදී එක් එක් පාදය මඟින් ඇතිවන බලපෑම ගැන අපි තුළ අවබෝධයක් ලබාගනිමු.

 

බ්‍රහ්ම පාදය -හින්දු ආගම අනුව ‘බ්‍රහ්ම‘ යන්නෙන් ශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු කරයි. එනම් අති උත්තරීතර තත්ත්වය ‘බ්‍රහ්මණ‘ යන නමින් ප්‍රකට වී තිබේ. ඒ අනුව ඉඩමක මැද කොටස හෙවත් බ්‍රහ්ම පාදය ඉතා උතුම් කොටසයි. එය පූජනීය ලෙස සැලකේ. මෙම කොටස සුදුසු වන්නේ විහාර, දේවාල, බුදු මැදුරක්, පහන් පැලක් වැනි ආගමික කටයුතු සඳහා සම්බන්ධ වූ කටයුත්තක් සඳහා පමණි.

මෙහි භයානක තත්ත්වයක් වන්නේ විශාල ඉඩමක නිවෙසක් සම්පූර්ණයෙන්ම බ්‍රහ්ම පාදය තුළට වැටෙන ලෙසින් ඉදිකිරීමයි. එයින් බොහෝ විනාශ සිදුවන බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ. මෙයට හේතුව වන්නේ එම කොටස මනුෂ්‍ය වාසය සඳහා නොවන බැවිනි.

 

ඉඩමක ගිනිකතිරය වැටෙන්නේ බ්‍රහ්ම පාදයටය. යම් හෙයකින් ගෙයි මැද ගිනිකතිරය වැටුණොත් එය ප්‍රධාන මර්මස්ථානයකි. එයින් ගෙහිමියාගේ ජීවිතය අහිමිවීමට පවා හේතු වෙයි. නිවෙසක අත්තිවාරම දමා පරීක්ෂා කර බැලීමේදී යම් හෙයකින් නිවෙසේ මුළුතැන්ගෙය හෝ වැසිකිළිය බ්‍රහ්ම පාදයට වැටෙන්නේ නම් එය මඟ හරවා ගැනීමට පියවර ගත යුතුය. මෙවැනි ස්ථානයක ළිං කැපීම කළහොත් ළිඳ පාළුවෙයි. එසේම ඉඩමක නම් සොහොන් කොත් හෝ භූමදාන කටයුතු වැනි දෑ කළහොත් භූමිය පාළු වී යන බව පැරැණි වාස්තු ග්‍රන්ථයන්හි සඳහන්ව ඇත.

 

දේව පාදය - උත්තම වූ බැබළෙන කොටස වන්නේ දේව පාදයයි. එය උසස් ආර්ථිකත්වයක් ගෙන දෙන අතර එය නිවෙසේ වඩවන පිිහිටීමකි. බ්‍රහ්ම පාදය ආරක්ෂා කරගෙන පිහිටන මෙය උසස් බැවින් එය දෙවැනි වන්නේ බ්‍රහ්ම පාදයට පමණකි. බ්‍රහ්ම පාදය ආරක්ෂා කරගෙන දේව පාදයක තැනූ නිවෙසක ජීවත් වීමට ලැබීම වාසනාවකි. එයින් නිවෙසේ ජීවත්වන අයට දියුණුව දිගින් දිගටම ළඟාකර ගත හැකි බවත්, දුප්පත්වීමක් හෝ කරදරකම්කටොළු පැමිණීමක් සිදු නොවන බවත් වාස්තු විද්‍යාෙව් සඳහන්ව ඇත.

 

මනුෂ්‍ය පාදය - මනුෂ්‍යත්වය නියෝජනය කරන මනුෂ්‍ය පාදයට දේව පාදයෙන් පිටත එය වටා ඇති භුමි තීරුව එයට අයත් වේ. එය වැදගත්කමින් දෙවැනි වන්නේ දේව පාදයට පමණකි. මනුෂ්‍ය වාසයට ඉතා යෝග්‍ය වන මෙම පාදයේ අවසාන සීමාව දක්වා ඉදිකිරීම් කටයුතු කළ හැකි වෙයි. ඒ සඳහා බාධාවක් නොවේ. නමුත් මනුෂ්‍ය පාදයත්, දේව පාදයත් යන පාද දෙකම අත්තිවාරමට අයත් වන සේ නිවෙස ඉදිකළ හැකි නම් එය ඉතාම වාසනාවන්ත වේ.

ප්‍රේත පාදය - ප්‍රේත යන්නේ නිර්වචනය වන්නේ මිය ගිය, ඉවත් කළ යුතු වැනි අර්ථයකි. ඉඩමක කොණක මායිමට අාසන්නව අැති භූමි තීරුව එහි ඉඩමේ අපිරිසුදු කොටසයි. එවැනි වැට මායිම් හෙවත් ප්‍රේත පාදය මනුෂ්‍ය පරිහරණයට සුදුසු නොවෙයි. මෙම බිම් තීරුවේ ළිං, බුදු මැදුරු, පහන් පැලක් වැනි දේ තැනීම නොකළ යුතු බව වාස්තු ග්‍රන්ථයන්හි සඳහන්ව තිබේ. එහෙත් කැසිකිළි, ගවර වළවල්, ගවමඩු, කුකුළු කොටු, බලු කූඩු වැනි දේ ඉදිකිරීම වරදක් නොවේ.

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම ආරච්චිගේ

සංහිඳ ජෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාපදනම

මඩපාත පාර කොටගෙදර

පිළියන්දල