ආය පොරොන්දම් නිවැරැදිව ගළපා පසන් නිවෙසක සිරිය විඳින්න

පෙබරවාරි 26, 2024

නිවෙසට සිරිලිය කැන්දන වර්ගීකරණය විද්‍යාත්මක රටාවකි. මෙම රටාව හෙවත් ගණිත ක්‍රමයෙන් ලැබෙන අගය වාස්තු විද්‍යානුකූලව ගළපා ගැනීම ජ්‍යෝතිෂවේදීය ක්‍රමයකි. එනම් මෙලෙසින් නිවාස වර්ග කිරීමේ ක්‍රමය වාස්තු විද්‍යාත්මක පදනමකි. මේ සඳහා වඩු රියන් භාවිත කිරීම ගැන ද දළ අවබෝධයක් තිබීම වැදගත්ය. මෙලෙසින් නිවෙසක් වර්ග කිරීමේ ක්‍රම දෙකක් පිළිබඳ අපි පසුගිය සතියේදී විග්‍රහ කළෙමු.

ඉන් එක් ක්‍රමයක් වන්නේ අට වැදෑරුම් ආය ක්‍රමයයි. තවත් ක්‍රමයක් වන්නේ එකොළොස් වැදෑරුම් වර්ග කිරිමේ ක්‍රමයයි. මෙලෙසින් වර්ග කිරීම්වලදී ආය වර්ගීකරණය අනුව නිවාස වර්ග කිරීම සඳහා නිවෙසේ වර්ග ඵලය වඩුරියන්වලින් ලබාගත යුතුය. අනතුරුව එම වර්ග ප්‍රමාණය 8න් බෙදීමෙන් පසු ඉතිරිවන ශේෂය හෙවත් වර්ග පදනම් කරගනිමින් ආය ලැබෙන ශේෂය ගණනය කිරීම සිදු කරමු.

පසුගිය ලිපියෙන් විස්තර කළ ආය වර්ග 8 පිළිබඳ සුබ අසුබ මිනිසාට බලපාන අයුරු මෙවර ලිපියෙන් අපි විස්තර කරමු.

ශේෂය 1 ධ්වජ ආය

මෙම නිවාස වර්ගය මිනිසාට වාසය සඳහා වඩාත් සුදුසුය. මෙහි වාසය කිරීමෙන් දුක් කරදර රෝග පීඩාවෙන් තොරව වාසය කිරීමට හැකිවන අතර කීර්තිය, ප්‍රසංසාව සහ ශිල්ප ඥානය මෙන්ම දියුණුව ළඟාවේ.

විශේෂයෙන් රජ ඇමැතියනට වඩාත් යෝග්‍ය නිවාස මාර්ගයක් ලෙස හැඳින්වෙන අතර එවැනි සමාජ තත්ත්වයක් නැති සාමාන්‍ය මහජනයාට ද මෙම නිවාසවල ජීවත්වීමට සුදුසුය. විශාල සුඛෝපභෝගී නිවාස සඳහා ද යෝග්‍ය වේ. පූජනීය ස්ථාන, සංඝවාස, දේවාල සඳහා ද සුදුසු වේ.

ශේෂය 2 ‘ධූම‘ ආය ලෙස නම් කෙරේ.

මෙය මිනිස් වාසය සඳහා සුදුසු නොවන අතර වාසය කිරීමෙන් දුක් දොම්නස්, විපත් කම්කටොලු ඇතිවන අතර විශේෂයෙන් මෙම නිවාසවල වාසය කරන්නවුන් හට ලෙඩදුක් නොමැති දවසක් නැති තරම්ය.

පාන් පෝරණු වැනි ගිනි රශ්මිය ඇති ස්ථාන සඳහා සුදුසුය.

ශේෂය - 3 සිංහ ආය

දියුණුවට හිතකර බුද්ධිමත් පින්වන්ත දරුවන් ලැබෙන ලෙඩ දුක්වලින් තොර, ජය සතුට ලාභ නිරන්තරයෙන් හිමිවන මෙම නිවාස වර්ගය මධ්‍යම පන්තියට සහ ඉහළ පැළැන්තියේ ජනයා හට ඉතාම යහපත් වේ. සාමාන්‍ය ජනයාට ද වරදක් නොමැත.

රජයේ නිල නිවාස, පොලිසිය, හමුදාවේ නිල නිවාස රජයේ අමාත්‍ායංශ ගොඩනැඟිලි, රජයේ කාර්යාල සඳහා ද යෝග්‍ය වේ.

 

ශේෂය 4 ශුනක ආය

ශ්වාන ආය ලෙස ද හැඳින්වේ. මිනිස් වාසය සඳහා නුසුදුසු තිරිසන් සතුන් සඳහා වන මෙම ගොඩනැඟිලිවල වාසය කිරීමෙන් නිතර වෛරය, ක්‍රෝධය මෙන්ම සතුරු උවදුරු බහුල අස්ථාන චෝදනා නඩු හබවලට නිතර පැටලෙන, මිතුරන් පාදයන් හැර යන, ගෙදර පදිංචියෙන් එකිනෙකා නුරුස්සන, දිනෙන් දින පරිහානිය ළඟාවන, මෙම ගොඩනැඟිලි යෝග්‍ය වන්නේ ගණිකා මඩම්, සංචාරක හෝටල්දුෂ්චරිතය රජ යන ‘බලු‘ යන අරුත් ගෙන දෙන ස්ථානයන්ටය.

 

ශේෂය 5 “වෘෂභ“ ආය

මධ්‍යම පන්තියේ ජනයා සඳහා සුදුසු මෙම නිවෙස්වල ජිවත්වීමෙන් දියුණුව ඇති වේ. මෙම නිවෙස්වල වාසය කිරීමෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභය ධන වාසනාවයි. නිවැසියන්ට කුමන ආකාරයෙන් හෝ ධනය ලැබෙයි. බැංකු ගොඩනැඟිලි සඳහා යෝග්‍ය මෙම නිවාස වර්ග පදිංචිය සඳහා සුදුසු වේ.

 

ශේෂය 6 ‘කොටළු‘ ආය

මෙය ‘වර‘ ආය ලෙසට හඳුන්වයි. ධනය අතින් පිරිහෙන පදිංචි වීමෙන් අනුන්ගේ බැලමෙහෙවරකම් කරන්නන් බවට පත්කරවන, නොයෙක් දුක් ගැහැටවලට පත්වන ශිල්ප ඥානය මොට කරන්නාවූ කුලී කරුවන් සහ ලයින් කාමර සඳහා යෝග්‍ය මෙය වාසය සඳහා නිර්දේශ නොකරයි.

ශේෂය 07 ගජ ආය

ගජ ආය හෙවත් හස්ති ආයෙන් තැනු ගෙවල්වල වෙසෙන්නන් හට සැප සම්පත් ළඟාවෙන නීරෝගී වන උදාරත්වය හා දියුණුව නිරන්තරයෙන් ලැබ දෙන මෙම නිවාස වර්ගය පදිංචියට ඉතාම සුදුසුය.

ප්‍රභූ පුද්ගලයින්ට රාජ්‍ය නිලධාරීන්ට, රජයේ ආයතන සඳහා ද යෝග්‍යයි.

ශේෂය 08 කාක ආය

කාක ආය හෙවත් ද්වනයක් ආයෙන් තැනූ ගෙවල් මිනිස් වාසය සඳහා සුදුසු නැත. කිසිම දියුණුවක් ඇති නොවන දිනෙන් දින පිරිහෙන, කායික මානසික රෝග පීඩාවලට නිරන්තරයෙන් ගොදුරු වන මෙම නිවාස වර්ගය තිරිසන් සතුන් ගේ ලැගුම් ස්ථාන සඳහා ඉදිකරයි.

කටුගෙය, පුරාවිද්‍යා ස්ථාන වැනි ආයතන සඳහා යෝග්‍යයි.

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම ආරච්චිගේ

සංහිඳ ජෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාපදනම

මඩපාත පාර කොටගෙදර පිළියන්දල