ජ්‍යෝතිෂ ගැටලු

මැයි 13, 2024

සුවහසක් තරුණී පාඨකයන්ගේ අපේක්ෂාවන් හා ඉල්ලීමක් ඉටු කරමින් අපි ඔබට අගනා වටිනා අවස්ථාවක් උදාකර දෙමු. අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ජ්‍යෝතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට මේ සතියේ සිට සුවිශේෂි ජ්‍යෝතිෂය ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

මේ සඳහා එක් ක්‍රමයක් වන්නේ තැපැල් මඟින් ඔබගේ ජන්ම පත්‍රයේ පිටපතක් සමඟ ඔබේ ගැටලුව යොමු කිරීමයි. නැත්නම් අපගේ Whatsapp අංකයට නම සහ ලිපිනය සමඟ හඳහනේ පිටපතක් යොමු කිරීමයි. එසේ යොමු කරන ජන්ම පත්‍ර පිටපත චන්දන සතරසිංහ මහතාට යොමුකර ඒ සඳහා පිළිතුරු අප තරුණී පුවත්පතේ පළ කරමු. ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂාකර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ.

අපගේ ලිපිනය,

ජ්‍යෝතිෂ ගැටලු

තරුණී

ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

විදේශ සිහිනය

 

විදේශ සංචාරක සිහිනය කවදා සැබෑ වෙයි ද?

කඳානේ - ධම්මිකා

 

ඔබට මේ ගෙවී යන්නේ චන්ද්‍ර මහා දශාවයි. 2027 ජූලි 07 දක්වා මෙම දශාව පවති. උපතින්ම ඔබගේ ග්‍රහ පිහිටීම අනුව එක් කටයුත්තක් එක දිගට කරගෙන යෑමේ හැකියාව නොමැත. සිත චංචලය. එකක් අතහැර තව දෙයක් කිරීමේ පුරුද්දක් තිබේ. ජීවිතයේ බොහෝ කටයුතු එලෙස සිදු කරයි. එය ඔබගේ දුර්වලකමකි. එය සකසා ගන්න. අන් අය ඔබ මුළාකර ඔබගෙන් ප්‍රයෝජන ගනියි. අවසානයේ තමාට කිසිවෙකුගේ පිහිටක් නොලැබෙයි. විදේශගත වීමේ වාසනාව ඔබට තිබේ. එක්වරක් හෝ විදේශගත වී නොමැති නම් එය පුදුමයකි. මෙම කාලයේ තරමක බාධා පැවැතියත් වසර අවසානයේ හෝ ලබන වසරේ මුල විදේශගත වීමට හැකියාව පවති. ඒ සඳහා උත්සාහ කරන්න.

 

සඳුදා දිනෙක බෝධි පූජාවක් පටන්ගෙන දින 21ක් අඛණ්ඩව එය පවත්වන්න. බෝධි පූජාව පටන් ගන්නා පළමු දින පොල් තෙල් බෝතලයකට තෙල් වර්ග 8ක් කලවම්කර නව තෙල් සාදාගෙන කළු තල පොට්ටනි තරමක ගුලි 108ක් සාදාගෙන බෝධිය වටා පහන්වලට දමා දල්වන්න. තම උසට සුදු මල් මාලාවක් අමුණා එයද බෝධියට පූජාකර දැහැත්, බෙහෙත්, ගිලන්පස තබා පිරිත් පොත ගෙන තිසරණ සහිත පන්සිල් ගෙන තුන් සූත්‍රය හා අටවිසි පිරිත, අභය පිරිත කියා සියලු දෙවියන්ට පිං දෙන්න. විෂ්ණු, කතරගම, සමන් දෙවියන්ට භාර වෙන්න.

 

විවාහයේ ප්‍රමාදයක්

 

විවාහය ප්‍රමාදවීමේ දෝෂයක් පවතී. එය කවදා සාර්ථක වෙයි ද?

ගාල්ලේ - කාවින්දි

 

ඔබගේ හඳහනට අනුව උපතින්ම තනි මංගල යෝගය කාල සර්පයෝගය සමඟ යෙදී තිබේ. ඒ සමඟම ශනිගේ ඒරාෂ්ටකය ගෙවෙයි. එම නිසා අනිවාර්යයෙන්ම මෙම වසර අවසන් වනවිට ඔබට විවාහයක් සාර්ථක වෙයි. එයට හේතුව නම් ජන්ම ඒරාෂ්ටකයේදී මිනිසාට මානසික කායික වධ වේදනා ලබන කාලයක් බැවිනි. විවාහය අනිවාර්යයෙන් සිදුවේ. හඳහන් ගළපා විවාහය සිදුකර ගන්න. ශිව පාර්වතියට පූජා තබන්න.

 

රැකියාවක් නොලැබීම පිළිබඳ ගැටලුවක්

මා උපාධිධාරිනියක් වුවත් රැකියාවක් නැති වීමට හේතුව කුමක්ද?

කටුකුරුන්දේ - ඉමල්ෂා

ඔබගේ ජන්ම කේන්ද්‍රයට අනුව අධ්‍යාපනය බොහෝ දුෂ්කර ලෙස නිමකර තිබේ. නමුත් ඔබට ද එක් දෙයක් හරි ආකාරව කිරීමේ හැකියාවක් නොමැත. අනෙක සහජීවනයෙන් ජීවත්වීමේ හැකියාව ද නොමැත. නිතරම තමා අංක එක යැයි සිතයි. දෙකේ සිටීමට අකමැතිය. එය සාමාන්‍ය ජීවිතයට නොගැළපේ. මේ දුර්වලතා සාදා නොගැනීමෙන් බොහෝ පසුතැවීම්වලට හේතු වෙයි. ආගම දහමට, වැඩිහිටියන්ට ගරු කිරීමට පුරුදුවන්න. ඔබත් සිකුරාදා දිනෙක බෝධි පූජා පටන්ගෙන දින 21ක් අඛණ්ඩව පවත්වන්න. අභිසම්භිධාන යන්ත්‍රය පැලඳීම ඉතා සුදුසු වෙයි. නියමිත වතාවත්කර පච්ච ගලක් ඇල්ලූ මුදුවක් පැලඳීම ඉතා සුබ වේ.

 

දරුඵල ප්‍රමාදය

 

දැනට විවාහ වී අවුරුදු නවයක් ගත වුවත් දරුවන් නොමැත. මාහට දරුඵල තියේද?

නාගොඩ - පුෂ්පා කුමාරි

 

ඔබගේ හඳහනේ රාහු 1 සහ කේතු 7 පිහිටීමත් කේතු සමඟම හතේ සිටීමත් එයට හේතු වෙයි. ඔබගේ ස්වාමියාගේ හඳහන නොතිබීම ගැටලුවක් වුවත් ඔබ හඳහනෙන්ම ඔබට ආ මේ දෝෂය ඇති බව පෙන්වයි. නමුත් නියමිත වතාවත් සහ දේශීය ආයුර්වේද ප්‍රතිකාරවලින් මේ දුර්වලතාවය නිවැරැදි කළ හැකි බව විශ්වාසයෙන් කියමි. එම කටයුතු හරි ආකාරයටකර ගන්නා ලෙස සඳහන් කරමි. කතරගම කිරි වෙහෙරට පුද පූජා තබා මහසෙන් දෙවියන්ගෙන් ආශීර්වාද ලබාගෙන තවත් එවැනි සිද්ධස්ථාන ඇති බැවින් එම සිද්ධස්ථානවලටද භාරහාර වී විශේෂිතම වූ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අබියස ගන්ධබ්බ පූජාවක් තබන්න.