මැයි මාසයේ ළිඳක් කැණීමෙන් ධන සම්පත් උදාකර ගන්න

මැයි 20, 2024

 

ළිඳක් කැණීමේදී සලකා බලන කරුණු රාශියකි. ඒ ගැන අප මූලික පැහැදිලි කිරීමත් පසුගිය සතියේදී ඉදිරිපත් කරන ලදි. එහිදී අප පැහැදිලි කළේ ළිඳක් කැණීමට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම පිළිබඳවයි. එසේම ළිඳක් කැණීමට පෙර දිශාව ද අප තීරණය කළ යුතු වේ.

 

මේ සඳහා මාලිමාවක් හෙවත් Compass එක භාවිත කිරීමට සිදුවනු ඇත. මෙහිදී නියම උතුර හා චුම්භක උතුර නිශ්චය කොට ඉඩමේ දිශාවන් වෙන්කර ගත යුතුය.

 

අනතුරුව ඒ ඒ දිශාවේ ළිං කැණීමෙන් අත්වන සුබ අසුබ ප්‍රතිඵල පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ඒ අනුව වාස්තු විද්‍යාත්මකව උතුර, ඊශාන, බටහිර යන දිශාවල ළිං කැණීමෙන් ගෙහිමියාට ධන සම්පත් හිමිවන බව මතයක් පවතී. නැ‍ෙඟනහිර දිශාවේ ළිඳ කැණීමෙන් යස ඉසුරු ලැබෙයි.

 

එහෙත් ගිනිකොන දිශාවේ ළිඳක් කැණීම එතරම් සුබ නොවේ. එසේ ළිඳක් කැණීමෙන් ගින්නෙන් උවදුරු ඇති කරයි. දකුණු දිශාවේ ළිඳක් කැණීමෙන් නිවැසියන් අකල් මරණයට ගොදුරු වෙයි. නිරිත දිශාවේ ළිඳක් කැණීමෙන් නිවෙසේ නිතර නිතර අඬදබර ඇතිවෙයි. වයඹ දිශාවේ ළිඳක් කැණීමෙන් ධනය විනාශවන බව සඳහන් වේ. නැගෙනහිර දිශාව ළිඳක් කැණීමට නුසුදුසුම දිශාවකි. එම දිශාවේ ළිඳක් කැපූ විට භාර්යාවට විශාල කරදර ඇතිවන බව වාස්තු ශාස්ත්‍රඥයන් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් උතුර, ඊශාන හා බටහිර යන දිශා තුන ළිඳක් කැණීමට වඩාත් සුදුසු දිශා ලෙස වාස්තු විද්‍යාෙව් පිළිගැනීමයි.

එසේම ළිඳක් කැණීමේදී එය නිවෙසට සම්මත දුරකින් පිහිටීම ද වාස්තු විද්‍යාත්මක මතයකි. නිවෙසේ අත්තිවාරමත් ළිං ඉවුරත් අතර ඇති දුර ප්‍රමාණය අනුව ද නිවැසියන්ගේ සුබ අසුබ තත්ත්වය තීරණය වෙයි. ගෙහිමියාගේ වඩු රියන් අත්තිවාරමේ සිට ළිඳට ඇති දුර ප්‍රමාණය රියන් 5,4 හෝ 20ක් නම් එය ගෘහිණියට එතරම් සුබ නොවනු ඇත. රියන් 43 හෝ 48ක් වේ නම් එය ගෘහ මූලිකයාට අසුබ වෙයි. රියන් 12, 44 නම් එය දරුවන්ට විපත් ගෙනදෙන සීමාවකි. අත්තිවාරමේ සිට රියන් 4, 22, 28, 39, 46, 51 දුර සීමාවන්්ගේ ද ළිඳක් කැපීම සුදුසු නොවේ. ළිඳක් කැණීමට සුදුසු දුර ප්‍රමාණය ලෙස වාස්තු විද්‍යාවේ සඳහන්ව ඇත්තේ රියන් 7, 13, 15, 23, 24, 27 හෝ 40 වේ.

 

තවද ළිඳක් කැණීම සඳහා සුදුසු කාලයක් ද පවති. වාස්තු විද්‍යාවට අනුව තද ඉඩෝරය මෙන්ම තද වර්ෂා කාලයේදී ළිඳක් කැණීම සුදුසු නොවේ. මේ සඳහා සාමාන්‍ය සෞම්‍ය කාලගුණයක් පවති්න කාල සීමාවන් වඩාත් සුදුසු බව වාස්තු විද්‍යාෙව්දී පමණක් නොව සාමාන්‍ය විද්‍යාත්මක පදනම ද වෙයි. එසේම මාස අනුව ළිං කැණීමෙන් අත්වන සුබ අසුබ තත්ත්වයක් ද වාස්තු විද්‍යාෙව් සඳහන්ව පවති.

අප්‍රේල් හෙවත් බක් මාසයේ ළිඳක් කැණීමෙන් ධනය ලැබෙයි. මැයි මාසයේ හෙවත් වෙසක් මාසයේ ළිඳක් කැණීමෙන් සම්පත් උදා කරයි. ජුනි හෙවත් පොසොන් මාසයේ ළිඳක් කැණීමෙන් යක්ෂ අමනුෂ්‍ය බිය ඇති කරයි. ජුලි හෙවත් ඇසළ මාසය ද ළිඳක් කැණීමෙන් දුක් කරදර ඇතිවන බව සඳහන් වේ. අගෝස්තු හෙවත් නිකිණි මාසයේ ළිඳක් කැණීමෙන් සැප සම්පත් උදා කරයි. සැප්තැම්බර් හෙවත් බිනර මාසය ද එතරම් සුබ නොවේ.

 

එම මාසයේදී සතුරු බිය ඇති වෙයි. ඔක්තෝ්බර් හෙවත් ඉල් මාසයේ ළිඳක් කැණීමෙන් දුක් කරදර ඇති කරයි. දෙසැම්බර් මාසය හෙවත් උඳුවප් මාසයේදී ළිඳක් කැණීමෙන් කීර්ති ප්‍රසංශා ඇති වෙයි. ජනවාරි මාසය හෙවත් දුරුතු මාසයේදී ළිඳක් කැණීමෙන් ගේ - දොර, යාන වාහන සම්පත් උදා කරයි. පෙබරවාරි හෙවත් නවම් මාසයේදී ළිඳක් කැණීමෙන් ගින්නෙන් අනතුරු සිදුවේ. මාර්තු මාසය හෙවත් මැදින් මාසයේදී ළිං කැණීමෙන් සෞභාග්‍ය ඇති කරයි.

 

එසේම මේෂ, වෘෂභ හා මිථුන යන රාශිවල සුබ මොහොතින් ළිඳක් කැණීමෙන් ජල උල්පත් මතු කරයි. තව ද සඳුදා, බදාදා හා බ්‍රහස්පතින්දා දිනවලදී ළිං කැණීම වඩාත් සුදුුසුය. ළිං කැණීමට සුදුසු නැකැත් ලෙස රෙහෙණ, මුවසිරස, මා, උත්‍රපල්, හත, අනුර, පුවසල, උත්‍රසල, දෙනට, සියාවස, උත්‍රපුටුප, රේවති යන නැකැත් පිළිගනියි.

 

උපදෙස් -

ප්‍රවීණ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥ, වාස්තු විද්‍යා උපදේශක

ධර්මපාල සොන්දරප්පෙරුම ආරච්චි