නිවෙසට විශ්ව ශක්තිය කැන්දන බලගතු මංජුසාවක්

ජූලි 15, 2024

 

අපගේ ජීවිතයේ දියුණුව තීරණය වන්නේ මේ මහ පොළොව මතය. එබැවින් මේ මහ පොළොව මත තනන නිවහන අපට වාසනාව කැන්දයි. මෙලෙසින් ඔබගේ වාසනාව කැන්දන නිවහන දියුණුවේ උල්පත බවට පත්කර ගැනීමේ හැකියාව ඇත්තේ ගෘහිණියකටය. ඒ සඳහා නි‍ෙවසක් තැනීමෙන් පමණක්ම එය සම්පූර්ණ නොවෙයි. නි‍ෙවසක ඇති වාස්තු දෝෂ දුරුකර විශ්වය සමඟ සම්බන්ධතාවය බලවත් කිරීමට විවිධ වාස්තු ශිල්ප ක්‍රම යෙදීමට සිදුවෙයි. අපි මෙවර එවැනි වාස්තු විද්‍යාත්මක ශිල්ප ක්‍රම කිහිපයක් ගැන විමසා බලමු.

 

නි‍ෙවසකට පිවිසීමට ඇති ප්‍රධාන දොරටුව වාස්තු විද්‍යාත්මකව ඉතාමත් වැදගත් අංගයකි. එයින් නිවැසියන් ආරක්ෂා කරයි. එසේම නිවෙස ද ආරක්ෂාකර ගෘහ වාසීන්ගේ සාර්ථකත්වය උදාකරන බව පැරැණි වාස්තු ග්‍රන්ථයන්හි සඳහන්ව තිබේ. මෙම ප්‍රධාන දොරටුව වාස්තු විද්‍යාවේ මංගල ද්වාරය ලෙස ද හඳුන්වයි. මෙම මංගල ද්වාරය ඔබගේ නි‍ෙවසේ බාහිර සම්බන්ධතා බලවත් කරනවා පමණක් නොව පිටත පවතින විශ්ව ශක්තිය ද නි‍ෙවසට කැඳවා ගනී. මෙහි සරල අදහස වන්නේ නිවෙසින් පිටවීම යනු බාහිර ලෝකය සමඟ සම්බන්ධ වීමයි. එසේම නිවෙසට ඇතුළු වීම යනු බාහිර ලෝකයේ ගුණය, ශක්තිය නි‍ෙවස තුළට රැගෙන ඒමයි.

 

එබැවින් ඔබගේ නි‍ෙවසේ මංගල ද්වාරය මර්මස්ථානය ලෙස මහා වාස්තු ශිල්පයේ සඳහන්ව තිබේ. ඒ අනුව මහා වාස්තු ශිල්පය අනුව මංගල ද්වාරය දිශානුගත කළ පසු අප කළ යුත්තේ එහි උස පළල නිවැරැදිව තීරණය කිරීමයි. එසේම නිසි දිසාවන්ට විවෘත කිරීම හා සුබ මුහුර්ත අනුගමනයකර මංගල ද්වාරය ස්ථානගත කළ යුතු වේ. මේ ගැන අප පෙර ලිපියකදී ද හොඳින් විග්‍රහකර තිබේ. වාස්තු ශිල්පයේ සඳහන් පරිදි එය තවදුරටත් බලවත් කිරීමට සහ ශක්තිමත් කිරීම සඳහා වාස්තු ශිල්ප ක්‍රම කිහිපයක්ම ඇත. අපි මෙවර ඒ ගැන විමසා බලමු.

ශෛල පාදම

මංගල ද්වාරයේ ශෛල පාදම තැන්පත් කිරීමෙන් නි‍ෙවසට විශාල ආශීර්වාදයක් ලැබෙයි. මෙය පෙර රජ දවස සිට රජමාලිගා, සිටු මැඳුරු, ප්‍රභූ මාලිගා, කුමාර මාලිගා යන සෑම ප්‍රභූ ඉදිකිරීමකදීම මෙම පාදම යෙදීම සිදුකර තිබේ. එසේම ආගමික ස්ථානවල ද මංගල ද්වාරයේ ශෛල පාදම ප්‍රතිෂ්ඨාපනය කිරීම සිදුකර තිබේ. මෙම අග්‍රගණයේ ශිල්පීය ක්‍රමයෙන් එම රජ මැඳුරුවල ජීවත් වූ අයගේ සෞභාග්‍ය, ශක්තිය හා ආරක්ෂාව නිතැතින්ම බලවත් විය. මේ අගනා වාස්තු ක්‍රමය ඔබගේ නි‍ෙවසටද එකතුකර ගැනීමට හැකියාව තිබේ. මෙහිදී ඔබ කළ යුත්තේ ඔබගේ නිවෙසේ මංගල ද්වාරයට යටින් පාදම කොටසේ උළුවහු කඳේ පළලට හෝ ඊට මඳක් වැඩි පළලකින් ගල් පතුරක් යෙදීමයි. මෙය ශෛල පාදම ලෙස වාස්තු විද්‍යාවේ සඳහන් වෙයි.

 

මෙම ශෛල පාදම මහනුවර යුගයේ දේවාල සහ පන්සල්වල බහුලව දකින්නට ලැබේ. එසේම ප්‍රභූ නිවාසවලද දකින්නට ලැබෙන අතර මෙය නැකැතට අනුව තැන්පත් කළ යුතු වේ. එය ඔබගේ නිවෙසට අලංකාර පෙනුමක් ලැබෙන අතර නි‍ෙවසේ ආරක්ෂාව හා ශක්තිය ද නිවැසියන්ට නිරෝගී සම්පත ද උදාකරයි.

 

නවරත්න මංජුසාව තැන්පත් කිරීම

මෙලෙස නි‍ෙවසේ මංගල ද්වාරයේ ශෛල පාදම තැන්පත් කළ පසුව ද්වාරයේ ඉහළ කොටස බලවත් කිරීම සඳහා මංගල ද්වාරයට ඉහළින් නවරත්න මංජුසාවක් තැන්පත් කිරීම ද ද්වාර ගුණය බලවත් කිරීමට හේතු වෙයි. මේ මංජුසාව තැන්පත් කිරීමෙන් විශ්වයේ බලවත් සියලු ග්‍රහ වස්තූන් හි ආකර්ෂණය නි‍ෙවසට ඇදී එයි. එම මංජුසාව තුළ මුහුදු වැලි, මුහුදු බෙල්ලන් සේම මුහුදු ශාක හා ගොඩබිම සහ ජලයේ බලවත් ඖෂධ වර්ග, සුවඳ වර්ග මුසුකර නි‍ෙවසේ ගෘහ මූලිකයා ප්‍රධාන කොටගෙන සියලු ගෘහ වාසීන්ගේ සහ නි‍ෙවසේ නැකතට සීහුම්කොට බලවත්වන විශ්ව ශක්තිය සන්තික යන්ත්‍ර එම මංජුසාවට අඩංගුව තිබිය යුතුය. එසේම මංගල ද්වාරය බලවත් දිශාවට සංවේදී වූ වර්ණයන්ගෙන් මෙම මංජුසාව වර්ණවත් විය යුතුය. මේ ආකාරයට සැකසුමක්කර නිර්මාණයක් ලෙස ඔබගේ නිවහනේ ද්වාරයට ඉහළින් තැන්පත් කිරීමෙන් ඔබ නිවෙසට ඇතුළු වනවිටත්, පිට වනවිටත් එහි ශක්තිය හා ගුණය ඔබගේ ශරීරයට ලැබෙනු ඇත. එසේම ඔබට අවැඩක් හෝ විනාශයක් කිරීමට නිවෙසට ඇතුළු වන ඕනෑම අයෙකුගේ සිතද නිවෙනු ඇත. මේ

 

තුළින් ඔබගේ නිරෝගී සම්පත, සෞභාග්‍යය හා ආරක්ෂාවද බලවත් වනු ඇත.

 

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ