ජ්‍යොතිෂය ගැටලු

අගෝස්තු 5, 2024

 

අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබා දෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

 

ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂාකර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු

තරුණී ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp  කරන්න.

 

විවාහයට බාධා

 

මාගේ විවාහය දිනෙන් දින ප්‍රමාද වෙයි. එයට විවිධ බාධා පැමිණෙයි. එය සාර්ථක නොවීමට හේතුව කුමක්ද?

මොනරාගල - තාරක

 

ඔබගේ විවාහය ප්‍රමාද වීමට හේතුව ජන්ම කේන්ද්‍රයේ හත්වැනි කොටුවෙහි රවි, කුජ, බුධ යන ග්‍රහයන් එකට පිහිටා තිබීම බව සාරාංශයක් ලෙස සඳහන් කරමි. එයට අමතරව ඔබගේ කේන්දරයට අනුවම උපතින් පිහිටා තිබෙන අයහපත් චර්යා ද බලපායි. එම අයහපත් චර්යා යනු ඔබ සිතූ දෙයම කරන අයෙක්වන අතර තමා කරන කියන සෑම වැඩක්ම ඔබ නිවැරැදි යැයි අනුමාන කරයි. කිසිවෙක් කියන දෙයක් නාහන පුහු ආඩම්බර ගතියක් ද පිහිටා ඇත. කෙටියෙන් සඳහන් කරන්නේ නම් සියලු දේ තමා හැර අන් අය නොදන්නා බව සිතා සිටින අයෙකි. නමුත් ඔබව තේරුම් ගත් අය වංචනික ලෙස ඔබ ගැන වර්ණනාකර කතා කරයි නම් එම පුද්ගලයා තරම් කෙනෙක් ඔබට නොමැත. ඔබගේ වැරැදි නිවැරැදි කරන ඔබට හරි මඟ කියා දෙන යම් පුද්ගලයෙක් වේද ඔහු ඔබගේ පරම හතුරා ලෙස ඔබට පෙනේ. ඔබගේ තිබෙන තවත් දුර්වලකමක් වන්නේ අධික සකසුරුවමයි. නමුත් අනෙකා දකින්නේ අධික මසුරෙකු ලෙසයි. අනවශ්‍ය දෙයට වියදම් කරයි. වංචනිකයන්ට රැවටිලිකරුවන්ට හසු වෙයි. මෙම දුර්වලකම් නිසා විවාහය සහ ප්‍රේම සබඳතා පවත්වාගෙන යෑමට නොහැකි වෙයි. මේ දුර්වලකම් සාදා ගන්න.

 

හීනෙන් ධාතු පිටවීම

 

මගේ ස්වාමියාගේ වයස අවුරුදු 31කි. ඔහුට රාත්‍රී නින්දෙන් ධාතු පිටවෙයි. මෙයට ජ්‍යොතිෂ ප්‍රතිකර්ම තිබේද?

පාදුක්ක - කෞෂල්‍යා

 

අනිවාර්යෙන්ම මොහුගේ උපන් හඳහනට අනුව ඉතාම රාගික පුද්ගලයෙකි. ඉතා කුඩා කාලයේ පටන්ම මොහු රාගිකව හැසිරී තිබේ. ස්ත්‍රීන්ගේ නිරුවත දැකීම සහ ස්වයං වින්දනයට අැබ්බැහි වූ පුද්ගලයෙකි. සමහර විට ඔබ නොදැන සිටිනවාද විය හැකිය. තමාට වඩා වයසින් වැඩි අයට මොහු ප්‍රිය කරයි. නොපෙනෙන රෝග ලෙස අප මෙවැනි අයට සඳහන් කරනුයේ මදන කාම යක්ෂණියගේ බැල්ම වැටී ඇති බවයි. නමුත් ගැඹුරින් මෙවැනි අයගේ හඳහන් පරීක්ෂාවේදී පෙර ආත්මවල සර්ප යෝනිගතව ඉපදී එයින් මිදී මනුස්ස ආත්ම ලබා ගත් අයයි. සර්පයන් යනු කිසිිම ලිංගික තෘප්තියක් නොලැබෙන සත්ත්ව කොට්ඨාසයකි. එය මනුස්ස ආත්මවල ද දකින්නට ලැබේ. මෙවැනි අයගේ මනස නිවන ශාන්තිකර්ම ඇත. එයට ප්‍රධාන වන අභිසම්භිදාන යන්තරය පැලඳීමෙන් මෙයින් සුවය ලැබීමට හැකි වෙයි. (එම යන්තරය පිළිබඳ විස්තර මෙම පිටුවෙම සඳහන් වෙයි.)

 

විවාහයක් සිදුවෙයිද?

 

විවාහය දිනෙන් දින කල් යයි. එය සිදුවෙයිද?

විවාහය ප්‍රමාදවීමට හේතුව කුමක්ද?

කළුතර - චාමලී

 

ඔබ ජන්ම කේන්ද්‍රයේ දෙවැනි රාශියෙහි ශනි, රවි, සිකුරු, කුජ ග්‍රහයන් එකට බැඳී ඇති පාපී යෝගයක් යෙදී ඇත. එමෙන්ම චන්ද්‍රයා ද මෙම රාශියේ දකියි. එය විවාහය සිදු නොවීමේ යෝගයක් ලෙස සඳහන් කළ හැකි වේ. නමුත් ජීවි අජීවි සත්ත්වයාට වඩා මනුසත්වයන් දියුණු බව මනසට ගත යුතුය. සිතුවොත් ඕනෑම දෙයක් මිනිසාට කළ හැකි බව සඳහන් කරමි. කෙසේ වෙතත් විවාහය කරදරකාරී අත්දැකීමකි. එය කාහටත් පොදුය. මා දෙන අවවාදය නම් තමාට විවාහයක් අවශ්‍ය නොවේ නම් විවාහ නොවී තම මතයේ පිහිටා සිටින්න. එය ඔබට සුවදායක වෙයි. අවශ්‍යම නම් පහත සඳහන් වත් පිළිවෙත් කරන්න. සිකුරාදා දිනෙක බෝධි පූජා පටන්ගෙන දින 21ක් බෝධි පූජා පවත්වන්න. ශිව පාර්වතියට පූජා තබන්න. අප අද සඳහන් කරන අභිසම්භිදාන යන්තරය මෙයට ද යහපත් වෙයි. දක්ෂ ඇදුරෙකු ලවා නවග්‍රහ පූජා තබා ශිව පාර්වතී පූජාව තබා දෙහි පුහුල් කපා මෙම යන්තරය පලඳින්න.

 

යහනේදී හැඟීම් ඇති නොවෙයි

 

මා හට යහනේදී හැඟීම් ඇති නොවෙයි. යම් බන්ධනයක්කර අැති බව බොහෝ අය පවසයි. සත්‍ය කුමක්ද?

පදවියේ - චන්ද්‍රානී

 

පළමුව සඳහන් කරන්නේ කිසිම බන්ධනයක් නොව උපන් කේන්ද්‍රයට අනුව මේ තත්ත්වයට පත් වී තිබේ. එය ඔබ යෞවන වියට පැමිණෙන විට තිබෙන රෝග ලක්ෂණයකි. ඔබ හඳහනේ ග්‍රහ පිහිටීම අනුව විරුද්ධ ලිංගික තෘප්තිය නොලබයි. සමලිංගික තෘප්තිය ප්‍රිය කරයි. ප්‍රධාන ගැටලුව එයයි. තම ස්වාමියා සමඟ විවෘතව මේ ගැන කතාකර මානසික සහනය ලබාදෙන ආයුර්වේද සායනයකට යොමු වී උපදෙස් ලබාගන්න. දෙදෙනාම ගොස් එසේ උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. ඒ අනුව එම වෛද්‍යවරයා කාම සූත්‍රය නම් ග්‍රන්ථයට අනුව සාර්ථක උපදෙස් ලබා දෙයි.

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ