ජ්‍යොතිෂවේදයෙන් පිරිමි/ගැහැනු දරුවෙකු ලබන මන්තරය

අගෝස්තු 19, 2024

 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේත් ජ්‍යොතිෂවේදයත් දරුඵල හිමිකර ගැනීම පිළිබඳ මැනවින් විග්‍රහ කරයි. පැරණි ආයුර්වේද ග්‍රන්ථයන්හි ඒ ගැන වඩාත් සවිස්තරාත්මක ලෙස විග්‍රහ කර තිබෙන අතර ජ්‍යොතිෂයේ පොරොන්දම් ගැළපීම තුළින් එය මනා ලෙස අර්ථකථනය කරයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් ජ්‍යොතිෂවේදයේත් එකට බැඳුණු වේදයන් දෙකක් නිසා මේ දෙකෙන්ම විග්‍රහ කරනු ලබන්නේ එකම ඉගැන්වීමකි.

 

ස්ත්‍රියකගේ විවාහයට සුදුසු කාලය කුමර සමය ලෙසත් පුරුෂයාගේ කුමරු පුනරුත්ථාපනය ලෙසත් ආයුර්වේදයේ සඳහන්ව තිබේ. මේ කාලය ස්ත්‍රියටත් පුරුෂයාටත් වැදගත්ම කාලයකි. මෙම කාලය තුළ නොමනා ක්‍රියාවන්ගෙන් වැළකී ඇඟ නිවන බල වඩන ආහාර ගත යුතු යැයි ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. පසුගිය ලිපියේදී අප සඳහන් කළ ආකාරයට නිසි ලෙස තරුණ වයස ගෙවා ගත් අයෙකුට අංග සම්පූර්ණ දරුවකු ලොවට දායාද කර ගත හැකි වෙයි. සමහර දරුවන්ගේ හිස කෙස් විකෘති වීම, ඇස් වපර වීම, නාසය විකෘති වීම, දන්ත විකෘතිතාවය, හිස කෙස්

 

අඩු වීම, කතන දුර්වලතා, බුද්ධි හීනතා, නිවට නියාලු ගතිය ඇති නපුංසක චරිත බිහිවීම පෙර ලිපියෙහි සඳහන් කළ ආකාරයට සිදු වේ. පුරුෂ ශුක්‍ර බීජය පූර්ණ පරිණත තත්ත්වයට පත් නොවී බාල වීම නිසාත් අඩු වයසින් වාජීකරණ ඖෂධ භාවිතය නිසා බෙලහීනතාවය සිදුවන බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

 

ජ්‍යොතිෂයට අනුව මෙය පෙර භවයේ කළ කර්මය හා කර්ම ඵලය නිසා හටගන්නා හේතු ලෙස හඳුන්වයි. පෙර සඳහන් කළ ආකාරයට ගබ්සා කිරීම නිසා එවැනි කර්ම වෙයි. මේවා ජ්‍යොතිෂයට අනුව කෙනෙකුගේ උපන් කේන්ද්‍රයේ ග්‍රහ යෝග ලෙස සඳහන්ව ඇත. මෙවැනි කර්ම විඳවන මව පියා දරුවන් කොතෙකුත් සමාජයේ හමුවී ඇත. එමෙන්ම එවැනි අනියම් සබඳතා නිසා හටගන්නා දරුවන් විනාශ කිරීමට යෑම නිසා ගර්භාෂයට හානි වීම සදාතනික වඳ භාවයට පත්වීම බොහෝ විට සිදු වී ඇත. ගර්භාෂය තුළ ඩිම්බ බීජය හටගන්නා අයුරු ආයුර්වේද ග්‍රන්ථයන්හි මෙසේ සඳහන්ව ඇත. බිරිඳගේ මාසෙක ඍතු සමය ඉක්මගොස් සිව් වැනි දිනයේ ස්නානයෙන් පසු ස්වාමි පුරුෂයා සමඟ සිදුවන අභිරමණයෙන් ගර්භාෂයට ප්‍රවේශය වන පුරුෂ ඩිම්බ බීජය වඩාත් ප්‍රබල වුවහොත් පිරිමි දරුවෙකු හට ගන්නා බවත්, ගර්භාෂයට ප්‍රවේශ වන ස්ත්‍රී බිම්බ වඩා ප්‍රබල නම් ගැහැනු දරුවකු හටගන්නා බවත් එම ස්ත්‍රී ඩිම්බ හා ශුක්‍රාණු සම වුවහොත් ස්ත්‍රී පුරුෂ දෙකම නැති නපුංසකයකු හටගන්නා බවත්ය.

 

මෙය ජ්‍යොතිර්වේදයේ හොඳින් පෙන්නුම් කරයි. පළපුරුදු උගත් ජ්‍යොතිර්වේදයාට පුරුෂයෙකුගේ ශුක්‍රාණු ප්‍රබලතාවයත්, ස්ත්‍රියකගේ ඩිම්බ ප්‍රබලතාවයත් කිව හැකි වෙයි. පොරොන්දම් බැලීමේදී සිදු කරනු ලබන්නේ මෙම සම අසම බව සෙවීම ප්‍රධාන අංගයක් ලෙසයි.

 

මෙම ලිපිය කියවන පාඨක ඔබට වඩාත් වැදගත් වේ යැයි සිතන බැවින් මෙම ස්ත්‍රී පුරුෂ තත්ත්වයට සුදුසු දේශීය වෙදකමේ ප්‍රබල චිකිත්සාවක් නැතිනම් කෙම් ක්‍රමයක් අපි මෙවර ඉදිරිපත් කරමු. සෘතු සමය පසු වී ස්නානයෙන් පසු අභිරමණයට පෙර ලක්සමන් අලයක් එළකිරෙන් අඹරා එයින් බිංදු හතරක් බිරිඳගේ දකුණු නාස් පුඩුවේ නස්න කළ විට පරිපූර්ණ පිරිමි දරුවෙකුද, එම බිංදු යුෂ හතර වම් නාස් කුහරයෙන් නස්න කළ විට අංග සම්පූර්ණ ගැහැනු දරුවකු බිහි කළ හැකි වෙයි. මෙම ලක්සමන් අල වෙනුවට ජින්සෙන් අලද එසේත් නොමැති නම් සුදු කටුවැල් බටු භාවිතා කළ හැකි වේ. එසේත් නොමැති නම් නුග කරටි දලු එළඟිතෙලින් අඹරා එසේ නස්න කළ හැකිවේ.

 

ජ්‍යොතිෂයේදී පුෂ නැකත යෙදෙන විට සෑදූ දියර නියමිත මන්ත්‍රයෙන් මතුරා දීමට මන්ත්‍ර කාණ්ඩ කිහිපයක් ඇත. නියමිත පුද පූජා තබා ඉෂ්ට දේවතාවන් සිහිපත් කර නවග්‍රහ පූජාවක් තබා පංච උපහාර යහන මත නාවා නියමිත මන්ත්‍ර ජීවම ප්‍රාණ සිද්ධි පුට මන්ත්‍රවලින් නියමිත වාර ප්‍රමාණයට මතුරා මෙය කිරීමෙන් අත්දුටු ප්‍රතිඵල ලැබී තිබේ.

 

මේවා දක්ෂ පළපුරුදු ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැදෑරූ ජ්‍යොතිෂ ගුප්ත විද්‍යාඥයකුගේ උපදෙස් මත සිදු කළ යුතු බව සඳහන් කරමි. මීළඟ ලිපියෙන් ජාතියටම ගැටලුවක් වී ඇති වඳ භාවයෙන් මිදීමට හා එයට හේතු මෙන්ම අත්දුටු ප්‍රතිකාර විධි ඉදිරිපත් කරමු.

 

 

උපදෙස්

‍ෙජ්‍යාතිෂවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ