අඹුසැමි ආරවුල් ඇති කරන ප්‍රබල වාස්තු ගැටලු

පෙබරවාරි 24, 2025

 

ආදරය නමැති අපූර්වතම සංකලනයේ අාධ්‍යාත්මික භූමිකාව බවට පත්වන්නේ සැබැඳියාවයි. අඹුසැමි බැඳීම මේ ආදර සංකලනයේ ගැඹුුරුතම අවස්ථාවකි. දෙදෙනෙකු කාලාන්තරයක් ආදරය කර හෝ විවාහ යෝජනාවක් අනුව විවාහ දිවියට ඇතුළු වන්නේ ජිවිතයේ විශාල පරිවර්තනයක් අපේක්ෂාවෙනි.

 

මෙලෙස විවාහ දිවියට පිවිසෙන බහුතරයක් තමුන්ට කියා නිවහනක් තනා ගනිති. එසේ නොමැති නම් පරම්පරාවෙන් තමුන්ට උරුම වූ නිවෙසේ පදිංචි වෙති. ඔබ කොයි ආකාරයකින් විවාහ දිවියට පිවිසියත්, කුමන ආකාරයක නිවහනක පදිංචි වුවත් තමුන්ට සෙවණ සඳහා නිවහන ඔබගේ ජිවිතයේ සාර්ථකත්වය විශාල බලපෑමක් ඇති කරයි. මෙලෙසින් ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන නිවහනේ වාස්තු විද්‍යාත්මක පසුබිම ගැන අවබෝධයක් තිබීම බෙහෙවින්ම ප්‍රයෝජනවත්වය.

 

එසේ වාස්තු විද්‍යාත්මක පසුබිම සොයා නොලැබීමෙන් ඔබගේ ජීවිතයට පැමිණෙන බාධා බොහෝය. විවිධ ලෙඩ රෝග, පවුල් ආරවුල් හා ගැටලු අැති වී ඇතැම් විට විවාහ ජීවිතය ද දෙදරා යන අවස්ථා ඇති වෙයි. ඔබ මෙවැනි වාස්තු දෝෂ ගැන මූලික අවබෝධයක් තිබීම සාර්ථක ජිවිතයට බෙහෙවින් ප්‍රයෝජනවත්ය. වර්තමානයේ නිවෙසක් සියලුම වාස්තු දෝෂ නොමැතිව නිර්මාණය කර ගැනීම ප්‍රාෙයා්ගිකව අපහසු කටයුත්තකි. පර්චස් 5 -6 කුඩා ඉඩමක ගෙයක් සෑදීමේදී ඇතිවන ගැටලු බොහෝය. එම සියලු ගැටලුවලට පිළියම් සෙවීමට යෑම පහසු නොවෙයි. ඒ සඳහා සරලතම පිළියම වන්නේ ප්‍රධාන වාස්තු දෝෂ පිළිබඳ අවබෝධයෙන් යුතුව නිවෙස නිර්මාණය කර ගැනීමයි. ඇතැම් විට මෙම වාස්තු විද්‍යාත්මක දෝෂවල විද්‍යාත්මක පසුබිමක් ද පවතී. එබැවින් අපගේ ජිවිතයට සෘජුවම බලපාන එවැනි වාස්තු විද්‍යාත්මක දෝෂ කිහිපයක් පිළිබඳ දළ අවබෝධයක් ලබාගැනීම ඔබගේ සාර්ථකත්වයට බෙහෙවින්ම උපකාරී වෙයි.

 

නිවෙසක් තැනීමට බිමක් තෝරාගත් පසු එම බිම කොටස් හතරකට බෙදා වෙන්කර ගත යුතුයි. ඉන් අනතුරුව එහි හරි මැද කොටස බ්‍රහ්මපාදය ලෙස හඳුන්වයි. මේ බ්‍රහ්මපාදය වටා ඇත්තේ දේව පාදයයි. මෙම දේව පාදයට පිටින් ඇත්තේ මනුෂ්‍ය පාදයයි. එම මනුෂ්‍ය පාදය වටා ඇත්තේ ප්‍රේත පාදයයි. සාමාන්‍යයෙන් නිවෙසක් තැනීමට හුඹස් ඇති. ඉඩම් තෝරා නොගනියි. එසේ හුඹස් ඇති ඉඩමක් තෝරාගත් විට වැඩි වශයෙන් එහි බලපෑමක් ඇති කරන්නේ නිවෙසේ ගෘහිණියටයි. රජයේ සම්මත නීතියට අනුව ඔබ නිවෙසක් තැනීමේදී වැටට හෝ තාප්පයට නිවෙසේ සිට අඩි 4ක් දුරක් තිබිය යුතු වෙයි. එය වාස්තු විද්‍යාත්මකව ද වැදගත් සාධකයකි.

 

නිවෙසක දොර, ජනෙල් අඩුවෙන්ම තැබිය යුතු දිශාව වන්නේ බටහිර හා නැඟෙනහිර දිශාවයි. එසේම නිවෙසක දිග, පළල ගණනය කළ යුත්තේ ගෘහ මූලිකයාගේ ජන්ම නැකැතට අනුවය. ඔබ නිවෙස තැබීමට මුල්ගල් තබන විට පොළවට සමාන්තරව තබන්න. අත්තිවාරමේ බිත්තියට ලම්බකව පය නොපෑගෙන ස්ථානයක ඒ සඳහා තෝර ගන්න. නිවෙසක හරි මැද මර්මස්ථානය නිසා මෙයින් බ්‍රහ්ම පාදය පීඩාවට පත්වන බැවින් එය අසුබ වෙයි.

 

සාමාන්‍යයෙන් නිවෙසක කාමර ප්‍රමාණය ඔත්තේ සංඛ්‍යාවක් වෙයි. එය කාමර 3ක් , 5ක් වැනි ප්‍රමාණයක් වීම ඉන් සුබ වෙයි. නිවෙසට සූර්යාලෝකය වැටෙන්නේ නැඟෙනහිර දිශාවෙන්ය. එසේ හිරු වැටෙන දිශාවට අනුගතව කාමර තැනීම වඩාත් සුබය. ප්‍රධාන කාමරය, ඉගෙනුම් කාමරය, නිදන කාමරය මේ දිශාවට වඩාත් සුබ වෙයි.

 

නිවෙසේ උතුරු දිශාවට අනුගත කළ යුතු ප්‍රධාන අංග අතර ප්‍රධාන කාමරය, ඉගෙනුම් කාමරය ද තැබීමට ද වරදක් නොවෙයි. දකුණු දිශාවට පිහිටන ලෙසින් කෑම කාමරය, නිදන කාමරය ද ළමුන්ගේ නිදන කාමරය, ඉගෙනුම් කාමරය වැනි දෙය බටහිර දිශාවට හොඳින් ගැළපෙයි. වයඹ දිශාවට ගැළපෙන්නේ වැසිකිළිය, ගරාජය හා අමුත්න්ගේ කාමරයයි. එසේම සතුන් රඳවා තැබීම ද සුදුසු වෙයි. නිවෙසේ ප්‍රධාන අංගයක් වන මුළුතැන්ගෙය සුදුසු වන්නේ ගිනිකොන දිශාවටයි. ඒ දෙසට ගරාජයකට ද ගැළපෙයි. ඒ දෙසට මුළුතැන්ගෙයි තැබීමට අසීරු නම් වයඹ දෙස ද එයට සුදුසු වෙයි.

 

නිවෙසේ ඉතාම වැදගත් අංගයක් වන පූජා කාමරය නැතිනම් ආගමික වත් පිළිවෙත් කිරිමේ ස්ථානයට සුදුසු වන්නේ ඊශාන දිශාවයි. ඊට අමතරව ඊසාන දෙසට ප්‍රධාන පිවිසුම් දොර ඉස්තෝප්පුව අංගයක් ද ගැළපෙයි. නිරිත දිශාවට ගැළ‍ෙපන්නේ නිවෙසේ ප්‍රධාන නිදන කාමරයයි. එසේම නිවෙසක තරප්පු පෙළ ද හරි අයුරින් ස්ථානගත කළ යුතුය. එය නිවෙසේ හරි මැදට සිටින ලෙස කිසි අවස්ථාවක නොතබන්න. ප්‍රධාන

උළුවස්සට ලම්බකව ඉහළ මහලේ උළුවස්ස තැබීම ද අසුබ වෙයි. වහළ 5ක් සහිත නිවෙසක් වඩාත් සුබවන අතර නිවෙසකට රවුම් බිත්ති සුබ නොවෙයි. නිවෙසේ දොරවල් ප්‍රමාණය ඔත්තේ සංඛ්‍යාවක් ද ජනෙල් ඉරට්ටේ සංඛ්‍යාවක් ලෙසින් ගණනය කරන්න. මේ දෙවර්ගයේම එකතුව ඔත්තේ විය යුතු වෙයි. එසේම දොරවල් සඳහා තනි පියනක් පියන් දෙකක් සුදුසු වේ. තවද නිවෙසේ ප්‍රධාන දොරටුව මාර්ගයට කෙළින්ම පිහිටීම ද අසුබ වෙයි.

 

තවද වැදගත් වාස්තු විද්‍යාත්මක සිද්ධාන්තයක් වන්නේ නිවෙසට තව කොටස් එකතු කිරීමයි. එහිදී නිවෙසේ දිග, පළල, ගළපා ගැනීම වාස්තු විද්‍යාත්මක සිදුකළ යුතු වෙයි. ප්‍රධාන උළුවස්ස මැදින් මුදුන් යටලීය පිහිටීම අසුබ වූ දෝෂයකි. උළුවස්සේ ප්‍රමාණය උස ප්‍රමාණය පළල මෙන් දෙගුණයක් විය යුතු වෙයි. තවද උළුවහු තුනක් එක දිගට පිහිටීම ද අසුබ වනු ඇත.

 

 

උපදෙස්

ප්‍රවීණ ජ්‍යොතිෂඥවේදිනී අංක විද්‍යා විශාරද

සුජීවා කරුණාරත්න

 

 

[email protected]