අතේ ලියවෙන කලා රේඛා

ජුනි 23, 2025

අතේ හැඩය, පාට බලා ගතිගු ණ දැනගන්න ඇත්නම් එය කොතරම් අගනේද? මේ පෙළගැස්ම හස්ත රේඛා ශාස්ත්‍රයෙන් අනාගතය විනිවිද දකින්න කැමැති ඔබ වෙනුවෙනි.

 

පියකරු ‌පෙනුමක් සහිත කලාකාමී හස්තය සුවිශේෂ වූ ලතාවකට අනුව ගොඩනැඟී ඇත්තේය. පටන් ගැන්මේ දී පුළුල් පාණිතලයක් පිහිටිය ද එය කලාත්මක ලෙස

ක්‍රමයෙන් සිහින් වෙමින් ඇඟිලි අගදී තුඹසක ආකාරයෙන් කෙළවර වන

අයුරු මෙම අත්ලෙහි දැකිය හැකි සුවිශේෂ ලක්‍ෂණයක් වේ. ඇඟිලි තුඩු ක්‍රමානුකූල ලෙස උල් හැඩයක් ගනියි.

 

ඇඟිලි පුරුක් මතු වී නොපෙනෙයි. පුෂ්ටිමත් නොවුවද මසින් පිරි සිහින් දිගු ඇඟිලි පිහිටයි. ලිහිල් මාංස පේශීන්ගෙන් යුතු මෘදු අත්ලක් පිහිටන අතර එහි සම සියුම්ව පිහිටා ඇති නිසා සියුමැලි බවත්, අලංකාරවත් බවත් ගෙන දෙයි. අත්ල මනාව දිගහැරිය විට ඇඟිලි මෘදුව පිහිටා ඇති හෙයින් දුන්නක් සේ අත්ලෙන් කියවෙන සැඟවුණු රහස් දෙවැනි කොටසට වඩා කෙටිව පිහිටයි. නැතහොත් මනාව වැඩී පිටුපසට නැමී යයි. කෙටි මහපටැඟිල්ලක් පිහිටයි. එහි අග කොටස නොමැත. අත්ලෙහි චන්ද්‍ර, සිකුරු මණ්ඩල මනාව පිහිටන්නේය. බොහෝ විට හෘද රේඛාව ගුරු මණ්ඩලයේ සිට දුන්නක් සේ නැමී ගොස් බුධ මණ්ඩලය දක්වා ගමන් කරයි.

 

මෙබඳු අත්ල පිහිටි පුද්ගලයන් සියුම් වූ ද, විශිෂ්ට වූ ද, බුද්ධියක් උපතින්ම ලද්දන් වෙයි. ඍජුව අදහස් පළ කරන අවංක ගතිගුණ සහිත හැඟීම් පහළ වන්නෙක් වෙයි. සෞන්දර්යය කෙරෙහි ඇලුණු සිත් ඇති කලා හස්ත හිමියා මෘදු මොළොක් සිත් ඇත්තෙක් වෙයි. ඉඳහිට කලබලකාරි ස්වභාවයක් ප්‍රකට කරන්නෙක් වුවද කරුණාවන්ත වූ සිතුවිලි සහිත වේ.

 

පියකරු දේ දැකීමට, ඇසීමට, ආඝ්‍රාණය කිරීමට, මෘදු වූ ස්පර්ශය ලැබීමට, රස මසවුළු භුක්ති විඳීමට ලොල් බවක් දක්වන්නා වූ මෙවන් තැනැත්තන් දුකෙහි පවා එක්තරා සැපයක් දකියි. ඉන් කිසියම් වින්දනයක් ලබන්නේ වෙයි.

 

නිදහස් අදහස් දරයි. සමාජයේ ඇති නීති රීති සමාජ සම්මතයනට පටහැණිව කටයුතු කරන බව කිසි විටෙක හෙළිදරවූ නොකළ ද බොහෝ විට ක්‍රියා කරන්නේ ඒ අයුරිනි. තමන් කළ වරදක් වේ නම් එය වරදක් නොවන බව තමන් සමඟ තර්ක කොට තමන්ටම ඒත්තු ගන්වා ගනියි. ප්‍රසිද්ධියට, ජනප්‍රියභාවයට ගිජුවෙයි. තමන් වසන සමාජයෙහි කැපී පෙනෙන්නට උත්සාහ දරයි. ඇතැම් විට එම උත්සාහයන් බොළඳ විය හැකිය.

 

මෘදු කල්පනා ඇති බැවින් තම බොළඳ බව හේ නොදකියි. බොහෝ අත්දැකීම් ලබයි. විටෙක ඉන් අපහසුවට පත් වුවද කලාකාමි අත් ඇත්තා කිසිදු විටෙක වැරදීමකින් පාඩම් උගන්නෙකු නම් නොවේ. යළිත් ඒ දෙයම කරයි. විවිධ කලාත්මක උපන් හපන්කමින් යුක්ත වෙයි. එහෙත් තම දක්‍ෂකම් සංවිධිත ලෙස ඉදිරියට ගෙන යාමට

ඇති හැකියාව ඉතා අල්පය. එසේ හැකි වුවහොත් එයට හේතු වන්නේ ඔහු නොව ඔහු වටා ගොඩනැඟුණු පරිසරයයි. විටෙක ඉතා ක්‍රියාකාරි බවක් පෙන්වයි. එහෙත් විටෙක අලස ලෙස නිද්‍රාශීලි බවට පත්වෙයි. ප්‍රතිපත්ති අනුගමනය නොකරයි. අවස්ථානුකූලව ක්‍රියාකරයි. මෙවන් පුද්ගලයන්ගේ හැසිරීම් පිළිබඳ පූර්ව නිගමනවලට පැමිණිය නොහැක්කේ විචල්‍ය අදහස් හා ක්‍රියාකාරකම් ඇති බැවිනි. කරුණාවන්ත වෙයි. හෘදයංගම වෙයි. අන්‍යයන් කෙරේ කෝප වුවද ඉතා ඉක්මනින් කෝපය පහ වී යයි.

 

ඇතැම් විට තමන් අතින් යමෙකුට වරදක් සිදු වූයේ යයි සිතා දුක් වෙයි. සමාව ඉල්ලන්නට සිතයි. එහෙත් අදාළ පුද්ගලයා ඒ පිළිබඳ බොහෝ විට දන්නේවත් නැත. සුළු දේ මහමෙරක් කොටසිතයි. සියුම් වින්දනීය කල්පනා ශක්තියකින් යුතු බැවින් නිබඳවම කම්පනය වූ සිතැත්තෙක් වෙයි.

 

අනෙක් පුද්ගලයින් මුහුණ දීමට බියවන භයානක අවස්ථාවලට කලාකාමී අත් ඇත්තා නිර්භයව මුහුණ දෙයි. බොහෝ විට ඉන් ජය ලබයි. ඔහු කලබල වන්නේ කලබල විය යුතු විශාල ගැටලුවලදී නොවේ. ඉතා සුළු දේටය. බිත්තියක මකුළුවකු හිඳීම ඇතැම්විට ඔහුට මුළු දවසකම වැඩ කඩාකප්පල් කර ගැනීමට හේතු විය හැකිය.

 

නවකතාකරුවන්, නළු නිළියන්, චිත්‍ර ශිල්පීන්, සංගීතඥයින්, මූර්ති ශිල්පීන්, විසිතුරු දේ නිමවන්නන් සහ අලෙවි කරන්නන්, ටෙලි නාට්‍ය - සිනමා - නාට්‍ය ශිල්පීන්, ඇඳුම් පැලඳුම්, ආභරණ සකසන්නන් යනාදී අංශවල නිරතවූවන්ට මෙවැනි අත් පිහිටා ඇත. සුඛෝපභෝගී දිවියකට ඇලුම් කරන කාමභෝගී ස්වභාවයෙන් යුතු ඔවුන් ප්‍රසිද්ධියට

හා ජනප්‍රියත්වයට දැඩි සේ ඇලුම් කරන්නන් වෙයි.

 

ඔහුගේ ජීවන දර්ශනය ඉතා සරල වේ. කිසියම් ආත්මාර්ථකාමී බවකින් ද යුක්ත වේ. දූ දරුවන්ට සෙනෙහසක්, ආදරයක් දැක්වුවද ඔවුන් වෙනුවෙන් තම සැප සම්පත් පරිත්‍යාග කිරීමට කැමති නොවේ.

 

ඔහුට උණුසුම් හදවතක් ද සීතල අතක් ද ඇතැයි කියනුයේ එබැවිනි. සැබෑ මිනිස් ගතිගුණ සහිත, එහෙත් බුද්ධියට වඩා හදවත පෙරදැරි කරගත් කලාකාමී අත් හිමියා ගැඹුරු දර්ශන න්‍යායන්ට නොව ලෞකිකත්වයට දැඩි සේ නැඹුරු වූ සුන්දර අයෙකු වෙයි.

 

මොවුහු ජීවිතයේ දිගු කලක් තාරුණ්‍යය සමඟ රැඳී සිටීමට සමත් වෙති. හෘදයංගම ලෙස හැසිරෙන්නටත්, ඉතා ඉක්මනින් අන්‍යයන් වසඟ කර ගැනීමටත් සමත් වෙති. මේ සුවිශේෂ හැකියාව නිසාම මොවුහු බොහෝ විට අසාර්ථක පවුල් ජීවිත ගෙවති.

 

 

 ‍ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී

නිරංගා බාලසූරිය

Line Art -නිලක්ෂි ආරියරත්න