කඳ බඩ මහත නෝනලාගේ ඇඟ බස්සන කෙසෙල්බඩ වෑංජනය

ඔක්තෝබර් 21, 2024

 

දවස් තුනක් පුරාවටම එක සීරුවට වැස්ස. වැස්ස නවතින පාටක් අහසේ ගෑවිලාවත් නැහැ. මේ වැස්සත් එක්ක මට මතක් වුනේ පුංචි කාලේ අපි දැක්ක ගංවතුර. ඒ කාලේ අවුරුද්දකට හතර පස් වංගියක්  කැලණි ගඟ ගලනවාමයි. හැබැයි ඉතින් දැන් වාගේ මහා විනාසෙට නොවෙයි. යන්තම් ඩිංගක් ජල කඳ උඩට ඉස්සිලා සුටුස් ගාලා බැහැල යනවා. 

 

ඒ කාලේ අපිට තිබුණු ලොකුම ෆන් එක තමයි වතුර පිරෙන වෙල් යායේ කෙසෙල් කඳන් ඔරු පදින එක. වැස්සට පෙරළෙන කෙසෙල් කඳන් හතර පහක් එකට කොහු ලණුවලින් බැඳලා උණ බම්බුවක් උදව් කරන්   ඔරු පදින එකේ තියෙන්නේ ආයි මැරෙනකම් අමතක නොවෙන බොහොම සුන්දර  මතක. ඒ වගේම ඔරු පෙරළිලා තෙමිලා හෙම්බිරිස්සාව හදා ගත්තු හැටි, අම්ම තාත්තාගෙන් ගුටි කෑ හැටි වගේ දේවලුත් අමතක වෙන්නේ නැහැ. ඉතින් අද මම මේ කියන්න යන්නේ වැස්ස ගැනවත් ගංවතුර ගැනවත් නොවෙයි. වැහි කාලෙට හුළඟට කඩන්  වැටෙන කෙහෙල් කඳේ මැද  ඇති  කෙසෙල් බඩය නොහොත් කෙසෙල් බොඩයෙන් අාත්තම්මා මැවූ රස ගුණ පිළිබඳ හිත පතුලේ නිදන් වෙලා තිබෙන මගේ මතක ගැනයි.

 

නගරබද සිටින බොහෝ දෙනා කෙසෙල්බඩය ගැන අසා තිබෙනවාද කියන එකත් සැකයක්. සොබා දහම සමඟ ජීවත් වුණු අත්තම්මලාගේ කාලයේ නම් පොල් ගස, කොස් ගස වාගේම කෙසෙල් ගසෙනුත් ගත් ප්‍රයෝජන නිමක් නැති තරම්. වැසි කාලයට ඇද  වැටෙන කෙසෙල් කඳ පමණක් නොවෙයි, කෙසෙල් කැන කපා ඉවතට ගත්  පසු ඉවතලන කෙසෙල් කඳ නිවෙස් කීපයකට රස ආහාරයක් සැපයුවා පමණක් නොවෙයි, අහල පහල ජීවත්වන උදවියගේ ලෙඩරෝග බොහොමයකට අනර්ඝ ඖෂධයක් වූවා.

 

අද කාලේ මිනිස්සුන්ට බොහොම ලොකු ගැටලුවක් වෙලා කෙසෙල් කඳක් වගේ කඳ බඩ මහත්වීම. ඒ වගේම කඳ බඩ මහත නෝනා  මහත්තුරුන්ට හැදෙන දියවැඩියාව සහ රුධිර පීඩනය අඩු කර ගැනීමට බොහොම යස ඖෂධයක් තමා මේ කෙසෙල්බඩය. කෙසෙල්බඩේ වංගෙඩියේ  කොටලා අරන් එළකිරිත් එක්ක රත් කරලා මීපැණි හෝ සීනි ඩිංගක් එක්ක හිස් බඩ  බිව්වාම ලේ නහරවල තියෙන තෙල් මන්ද දියකරලා ගිහින් රුධිර පීඩනය, දියවැඩියාව වගේම තරබාරුව අඩු කරන්න පුළුවන් වෙන බවයි අාත්තම්මා කිවුවෙ.

 

බඩදරු අම්මලාට කෙසෙල් ගසෙන් තියෙන ගුණ නම් කියලා නිම කරන්න බැරි තරම්. කෙසෙල් ගෙඩිය, කෙහෙල් මල වාගේම කෙසෙල්බඩෙන් ඔවුන්ට එදා  කළ සාත්තු අප්‍රමාණයි. බඩදරු අම්මලාට නිතර සෑදෙන කෙණ්ඩා පෙරළීම, සුදයාම අධික වීම සහ මුත්‍රා ආසාදනවලට අාත්තම්මට නම් මතක් වුණේ කෙසෙල්බඩයි. විශේෂයෙන්ම දරුවා ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න අම්මලාට දරුවා පහතට එන්නට පහසු වෙන්නත්, මල බද්ධය වළක්වා ගන්නටත් කෙසෙල්බඩෙන් ලැබෙන අප්‍රමාණ උදවු නිසා. 

 

ගැබ්බර අම්මලාට ඇති විශාලම අවදානමක් තමා ප්‍රසූතියේදී සහ ඉන්පසුව ඇතිවිය හැකි රුධිර වහනය නිසා රක්තහීනාතවට පත් වීම. මේ අනතුරෙන් මිදෙන්න කල් තියා අාත්තම්මලා  දුන් ආහාර වර්ග අතරටත් කෙසෙල්බඩේ අයිති වෙනවා. කෙසෙල්බඩේ කිරි එරවන්නටත් කදිම ආහාරයක් කියා තමයි ඒ කාලේ අාත්තම්මලා කීවේ. ළඟපාතක  බඩදරු අම්මා කෙනෙක් ඉන්නවා නම් රසට උයපු කෙසෙල්බඩ වෑංජනයක් ඒ ගෙදරට පිටත් කරලා අරින්න අාත්තම්මාට අමතක වෙන්නේ නැහැ. ඒ කෙසෙල්බඩෙන් ගැබ්බර අම්මාට සිදුවුණු ප්‍රතිලාභ ගැන එදා අාත්තම්මලා හොඳින් දැන  සිටි නිසා.

 

මේ එක්කම මගේ මතකයට එන්නේ අද කාලේ බොහෝ අය විඳවන ආමාශ තුවාල (gastritis). එදානම් අපට එවැනි රෝග අසන්නට ලැබුණේ බොහොම කලාතුරකින්. ඒ අපේ ආහාර වේලේ තිබුණු පෝෂක ගුණ තුලනය පමණක් නොව ඖෂධීය ගුණ තුලනය මෙන්ම ආම්ලික භාෂ්මික, ඌෂ්ණ, ශීතගුණ තුලනය නිසා වන්නට ඇති. මසකට දෙතුන් වතාවක්වත් අපේ ආහාරයට එක්වුණු කෙසෙල් බඩයේ ශරීරයේ ආම්ලිකතාව නසන්නට ඇති ගුණය හඳුනාගෙන සිටි අාත්තම්මා ආමාශයික වණ ඇති අයට නොවරදවා සකස් කර දුන් ආහාරයන් අතර කෙසෙල්බඩයටත් ප්‍රධාන තැනක් ලැබුණා. කෙසෙල්බඩේ ඇති ශරීරය සිසිල් කිරීමේ හැකියාව මනා ලෙස දැන සිටි අාත්තම්මා, උෂ්ණාධික ශරීර ඇති පවුලේ උදවියටත් අසල්වැසියන්ටත් කීවේ ඉඳලා  හිටලාවත් කෙහෙල්බොඩයක් කාලා බලාපල්ලා ළමයිනේ කියලයි.

 

සිංහල බෙහෙතේදී කෙසෙල්බඩේ මුත්‍රාශයේ සහ වකුගඩු  ගල් ඉවත් කිරීම, මුත්‍රා ආසාදන, පිලිස්සුම් තුවාල, ආහාර මාර්ගයේ ඇතිවන ආමාශයික තුවාල ඇතුළු විවිධ ආබාධ, මලබද්ධය, අධි රුධිර පීඩනය, නින්ද නොයාම, මානසික ආබාධ  ඇතුළු බොහෝ රෝග සුවයට භාවිත කර තිබෙනවා. ආයුර්වේදයේදී ශරීරයේ බර අඩු කිරීමටත් රුව රැක  ගැනීමේ ප්‍රතිකාරවලටත්, ශරීර අභ්‍යන්තර ධූලක ඉවත් කර ශරීරය පිරිසුදු කිරීමෙන් සහ සිසිල් කිරීමෙන් මනා නින්දක් සහ නැවුම් බවක්  ලබා ගැනීමටත්  කෙසෙල්බඩේ යොදා ප්‍රතිකාර කරන බව කියවෙනවා.

 

කෙසෙල්බඩයේ ඇති පෝෂක ගුණ විග්‍රහයේ කියවෙන පරිදි කෙසෙල්බඩ ග්‍රෑම්  100කටම ඇත්තේ කැලරි 13ක් වැනි කුඩා කැලරි ප්‍රමාණයක්. ඒ නිසා තමයි ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වන්නේ. කෙසෙල්බඩයේ ඇති අධික තන්තු ප්‍රමාණය, කැල්සියම්, පොටෑසියම් වැනි ලවණ වර්ග  සහ විටමින් බි 6, ඒ  සහ සී ඉන් ලැබෙන ගුණාංග වන්නේ. විටමින් බි 6, හිමොග්ලොබින් නිපදවීමට සහ  ඉන්සියුලින් ශ්‍රාවය කිරීමට උදවු  වන නිසා තමයි  එදා අාත්තම්මලා රසායන දැනුම නොමැතිව කළත් ඒ  ප්‍රතිකාරවලින් ප්‍රත්‍යක්ෂ ගුණ ලැබී ඇත්තේ.

 

 

උපදෙස් හා ඡායාරූප

ප්‍රවීණ සූපවේදිනී

තිලානි විතානගේ