රැකවණය 100%ක් සලසාගන්න ඔන්ලයින් ක්‍රමයට හුරු වෙන්න

ඒත් ගන්න කලින් විපරම වැදගත්
අගෝස්තු 25, 2021

 

එහෙමෙහේ යන්න බෑ. ගතර වටේම කෝවිඩ්. ගෙදරට වෙලා ඉන්න කියලයි හැමෝම උපදෙස් දෙන්නෙ. ඒත් ඉතින් එහෙමයි කියලා නොකා නොබී ඉන්නයෑ. කන්න, බොන්න, අඳින්න, බෙහෙත්හේත්, පිරිසුදුකාරක ආදී බොහෝ දේවල් අපේ එදිනෙදා ජීවිතේට ඕනෙ කරනවා.

ආරක්ෂාව 100% ක් සලසාගෙන මේ දේවල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්නේ. ඒකට කියාපු ක්‍රමය තමයි ඔන්ලයින් බඩු ගෙන්න ගන්න එක. මේ ක්‍රමයට කනබොන කෑමබීම වගේම නිවෙසට ඕනෙ කරන බොහෝ දේවල් දැන් ගෙන්නා ගන්න පුළුවන්.

ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ. විශේෂයෙන්ම ඔන්ලයින් ෂොපිංවලට වෙන් වුණු වෙබ් අඩවි වගේම, විවිධාකාරයේ ජනප්‍රිය සන්නාමවලත් ඔන්ලයින් ෂොපිං අඩවි තියෙනවා.

එතකොට අපිට කරන්න තියෙන්නේ දෙයියනේ කියලා ඉන්ටර්නෙට් එකට ගිහින්, අදාළ බඩු විකුණන වෙබ් අඩවියට ගිහිල්ලා සල්ලි ගෙවලා ගන්න එක.

නමුත් තාමත් ලංකාවේ හැමෝම මෙහෙම එක පාරම ඔන්ලයින් බඩු ගන්න තරම් නිර්භීත නෑ. මොකද කඩේට ගිහින් බඩුව දැකලා ගන්න විදියේ ෂුවර් එකක් ඔන්ලයින් බඩු ගන්නකොට නැහැයි කියන සිතිවිල්ල නිසා. එහෙම වුණාට අපි කියන්නේ කාලේ තාලෙට ඔන්ලයින් බඩු ගන්න එකටත් පුරුදු වෙන්න කියලා තමයි.

මේ කාලේ කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙන්න මේ ක්‍රමය හරිම වැදගත්.

 

තැන හොඳ ද?

තැන කොයි වගේද කියන ප්‍රශ්නේ එන්නේ ගොඩක් වෙලාවට ඔන්ලයින් ෂොපිංවලට ආධුනිකයෙක්ට විතරක් නෙවෙයි, හැමදාම ඔන්ලයින් ෂොපිං කරන කෙනෙක් වුණත් හිතලා බලන්න ඕන තමන් බඩු ගන්න යන ඔන්ලයින් ෂොප් එක මොකද්ද, ඒක ෂුවර් ද කියන එක. මෙතැනදී ගොඩක් වෙලාවට ජනප්‍රිය, ශාඛා කිහිපයක් තියෙන සන්නාමයක් නම් ලොකු ගැටලුවක් නෑ. එතකොට අලුතින් පටන් ගත්තු, ඒ තරම් ජනප්‍රිය නැති ඔන්ලයින් ෂොපිං සයිට් එකක් එක්ක වුණත් ගනුදෙනු කරන්න බය වෙන්න ඕන නෑ, තැන ගැන හරියට දන්නවා නම්. දැන් කොහොමද එහෙම දැනගන්නේ? යන්න ඒ ඔන්ලයින් කඩේ ෆේස්බුක් පිටුවට. එහෙම නැතිනම් ඒ කඩේ ගැන ගූග්ල් සර්ච් කරලා බලන්න. එතකොට දැනගන්න පුළුවන් ඒකට මිනිස්සු මොනවද කියලා තියෙන්නේ කියලා. එයින් තැන හොඳ ද නරක ද කියන එක ගැන අදහසක් ගන්නත් පුළුවන්.

ඒ වගේම තමයි අපි හොයලා බලලා ගන්න තැනක් වුණත් අපිට පාඩුවක් සිද්ධ කළොත් අනිවාර්යයෙන්ම ඒ තැන ගැන පැමිණිලි කරන්න. සමාජ ජාලවල වගේම පාරිභෝගික අධිකාරිය වගේ පාරිභෝගික පැමිණිලි වෙනුවෙන්ම පිහිටුවලා තියෙන තැන්වලටත් පැමිණිලි කරන එක වටිනවා. එතකොට තවත් පාරිභෝගිකයෙක් එහෙම තැනකට අහු වෙන්නේ නැහැ.

 

වොරන්ටි එහෙම කොහොමද?

මෙන්න මේක අත්‍යවශ්‍යයි. ඕනෑම බඩුවක් ගන්න කලින් බලන්න ඕන දේ තමයි වගකීම් සහතිකයක් ලබාදෙනව ද කියන එක. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් ඒ වගකීම් සහතිකය ලබාදෙන්නේ කවුද කියන එකත් හොයලා බලන එක වටිනවා. සාමාන්‍යයෙන් අපිට මිලදී ගන්න ඕන යම් දෙයක් සඳහා නියෝජිත වගකීමක්, ඒ කියන්නේ ඒජන්ට් වොරන්ටි එකක් ලැබෙනවා නම් ඉතාම හොඳයි.

හැබැයි ඉතින් ඔය සමහර බඩු භාණ්ඩවලට ඒජන්ට් වොරන්ටි දෙන්න විදියක් නෑ. මොකද ඒජන්ට්ලා නෑ. එහෙම ඒවා නොගෙන ඉන්න අවශ්‍ය නෑ. හැබැයි බඩු ගන්න ඔන්ලයින් ෂොප් එකට කෝල් එකක් දීලා හෝ මේල් එකක් යවලා හරියටම දැනගන්න කොහොමද වොරන්ටි දෙන්නේ, මොනවද වොරන්ටි එකට ඒ අයගේ කොන්දේසි කියන එක.

 

විස්තර සියල්ලම කියවන්න

දැන් අපි ඔන්ලයින් බඩු ගන්න ගියහම අපිට බඩුව පේන්නෙත් ඔන්ලයින්නේ. සාමාන්‍යයෙන් ඇත්තට තියෙනවට වඩා ඔන්ලයින් ෂොපිං සයිට් එකක පෙන්නන බඩුවක් සමහර වෙලාවට හොඳ කොලිටියකින් තියෙනවා කියලා පේන්න පුළුවන්. ඒක ඒ ෆොටෝ එක ගන්න කෙනාගේ දක්ෂතාව. ඒ නිසායි යම් කිසි භාණ්ඩයක් ඔන්ලයින් ගන්න කලින්, ඒ භාණ්ඩය ගැන ඒ වෙබ් අඩවියේ පළ කරලා තියෙන තාක්ෂණික විස්තර ඔක්කොම කියවන එක අනිවාර්යය වෙන්නේ. මොකද, ඔය තාක්ෂණික විස්තරවලින් තමයි බඩුවේ කොලිටිය, බඩුවේ තියෙන විශේෂත්වය, බඩුවේ තියෙන පහසුකම් වගේ දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙම විස්තර සයිට් එකේ දාලා නැතිනම් කෝල් එකක් දාලා අහගන්න පුළුවන්. හැබැයි සයිට් එකෙත් විස්තර නැතුව, කෝල් එකටත් හරි විදියට විස්තර සපයන්නේ නැතිනම්, ඒ වගේ තැනකින් ගනුදෙනු නොකර වෙන තැනකට යන එක තමයි නුවණට හුරු.

 

ජෙනුවින් බඩු ද?

ඉලෙක්ට්‍රික් බඩුවලට විතරක් නෙවෙයි, වෙන වෙන බඩු ගන්න කොට වුණත් අනිවාර්‍යයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. සමහර ඔරිජිනල් බඩුවල වගේම පෙනුම තියෙන හොර කොපි තියෙන්න පුළුවන්.

 

මිල ගණන් සසඳලා ඉමු ද?

මෙතැනදී ඇත්තටම සසඳන්න ඕන මිල ගණන් විතරක් නෙවෙයි. මිල ගණන් එක්ක අපිට ලැබෙන්නේ මොනවද කියන එකත් සසඳන්න ඕන. සාමාන්‍යයෙන් දැන් මොකක් හරි භාණ්ඩයක් එක සයිට් එකක තියෙන ගාණට වඩා අඩුවෙන් තවත් සයිට් එකක තියෙන්න පුළුවන්. හැබැයි දෙවෙනි සයිට් එක අර උඩ කියපු විදියේ මොකක් හරි කාරණාවකදී ගැටලුවක් තියෙන්න පුළුවන්. ආන්න එතකොට අඩු ගාණට තියෙන භාණ්ඩේ පැනලා අරගෙන හරියන්නෙ නෑ. ඒ වගේම තමයි අඩු ගාණට සෙලර් වොරන්ටි එකත් එක්ක තියෙන බඩුවට වඩා, වැඩි ගාණට ඒජන්ට් වොරන්ටි එක්ක තියෙන බඩුවක් වටිනවා. හැබැයි, මේ කාරණාවත් ඒ ඒ බඩු එක්ක වෙනස් වෙනවා.

 

 

ගෙවලා ගන්නවා ද? අරන් ගෙවනවා ද?

 

දැන් කාලේ සෑහෙන්න ඔන්ලයින් ෂොපිං සේවාවන් පවත්වා ගෙන යන ආයතන ලබාදෙන සේවාවක් තමයි කෑෂ් ඔන් ඩිලිවරි. කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමය බොහෝ විට භාවිත කරන්න පුළුවන් රට තුළ බෙදාහැරීම්වල දී පමණයි. කෑෂ් ඔන් ඩිලිවරි කියන්නේ බඩුව ඕඩර් කළාට පස්සේ සල්ලි ගෙවන්නේ බඩුව ගෙදරට ගෙනැත් දුන්නහම තමයි. එතැනදී හොර බොරු වෙන්න තියෙන ඉඩ තවත් අඩුයි. උදාහරණයක් විදියට, අපිට බඩුව ඩිලිවර් නොවුණොත් අපිට පාඩුවක් වෙන්නෙ නෑ. හැබැයි මෙතැන තියෙන එක ප්‍රශ්නයක් තමයි කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමේදී ක්‍රෙඩිට් කාඩ්වලින් හරි වෙන ඒ විදියේ ක්‍රමේකින් හරි ගෙවන්න බැරි වීම. කෑෂ් විතරමයි!

එහෙම කෑෂ් ගෙවලා ගන්න එක ගැටලුවක් නැතිනම්, කෑෂ් ඔන් ඩිලිවරි කියන්නේ විශ්වාසදායක ක්‍රමයක්.

 

ක්‍රෙඩිට් කාඩ් ඕකේ ද?

 

මොකක් හරි ඔන්ලයින් ෂොපිං වෙබ් සයිට් එකක් දැක්ක ගමන් පැනලා ගිහින් ක්‍රෙඩිට් කාඩ් විස්තර ලබාදෙන එක අවදානම් කාරණයක්නේ. හොඳ කීර්ති නාමයක් තියෙන, ෂුවර් පිට බඩු ගන්න පුළුවන් තැනක් නම් ක්‍රෙඩිට් කාඩ් විස්තර දුන්නට කමක් නෑ. එතැනදීත් ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර දීලා ගෙවන්න යන්න වෙන ගෙවීම් පෝටල් එක ගැන විමසිලිමත් වෙන්න ඕන. ඒක ආරක්ෂිත වෙබ් අඩවියක් බව පේනවා නම් ප්‍රශ්නයක් නෑ.

දෙවෙනියට ගත්තොත් ලංකාවේ ඔන්ලයින් සයිට්වල පේපැල්වලින් ගෙවන්න බැහැනේ. හැබැයි ලංකාවේ දැන් එතකොට ඔය ඊ-වොලට් කියන සේවාවන් සෑහෙන ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. Frimi කියන්නේ එයින් එකක්. ඊ-වොලට් කියන්නෙත් එවැනිම එකක්. ඊ-වොලට් එකක් ස්මාට්ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන පටන් ගත්තා නම්, ක්‍රෙඩිට් කාඩ් හොය හොයා ඉන්න ඕන නෑ. ඒ වගේම තමයි, ගොඩක් ඔන්ලයින් ෂොපිං වෙබ් අඩවිවලින් අපිට ස්ටාර් පොයින්ට්ස්වලින් ගෙවන්න, බැංකුවෙන් ගෙවන්න වගේ විවිධ විකල්ප ක්‍රමත් ලබාදෙනවා.

 

ඩිස්කවුන්ට් තියෙනවද?

 

මොකක් හරි ගන්න ගියහම අපිට ඒකේ නියම ගාණෙන් පොඩි ගාණක් හරි අඩු කරලා දෙනවනම් ඇයි නොගෙන ඉන්නේ? ඩිස්කවුන්ට් ගැන හිතන්න කලින් අර මිල ගණන් සැසඳීම ගැන කියපු කාරණාව ගැන නැවත හිතන්න වෙනවා. වෙන තැනක දාහට තියෙන බඩුව, ඒ විදියටම මෙතන තියෙන්නේ 1500 ට නම්, ඒකෙන් 30% ක ඩිස්කවුන්ට් දුන්නත් වැඩක් නෑ. ඒ ඩිස්කවුන්ට් එකත් එක්ක බැලුවත් අපි රුපියල් 50 ක් වැඩිපුර ගෙවලා. ආන්න ඒ නිසා එහෙම හොර ඩිස්කවුන්ට් ගැන නැතුව හරි ඩිස්කවුන්ට් ගැන සැලකිලිමත් වුණාට වරදක් නෑ. විශේෂයෙන්ම ක්‍රෙඩිට් කාඩ්වලට දෙන ඩිස්කවුන්ට් නම් ගොඩක් වෙලාවට ෂුවර් කරන්න පුළුවන්.