වෙසක් කළු කඩ කරගන්න එපා

මැයි 1, 2023

වෙසක් කූඩුවක් සෑදීම යනු ගැඹුරු අාධ්‍යාත්මික ඉගැන්වීමකි. එහි ඇත්තේ වෙසක් කූඩුවක් සෑදීම යන හුදු ආමිස පූජාවක් පමණක්ම නොවෙයි. වෙසක් කූඩු අතුරින් අටපට්ටම නමැති නිර්මාණයේ ගැඹුරු විග්‍රහයක් ද පවතී. වර්තමානයේ වෙසක් කූඩුව විවිධ හැඩතල යොදා ගනිමින් නිර්මාණය කළත් (නෙළුම්මල්, තරු, ගුවන් යානා, නැව්) නියම වෙසක් කූඩුවක අර්ථය ගැබ් වී ඇත්තේ අටපට්ටම් කූඩුවක් නිර්මාණයෙනි. මෙලෙසින් නිර්මාණය කරන වෙසක් කූඩුවක් සාමුහිකව නිර්මාණය කිරීම තුළ විශාල අාධ්‍යාත්මික වටිනාකමක් එක්වන අතර පවුලක් ලෙස එකට එකතුව නිර්මාණය කරන වෙසක් සැරසිල්ලක් නිවෙසකට විශාල ආශීර්වාදයක් ලැබෙන බව බෞද්ධයෝ පිළිගනිති.

 

මෙවැනි ගැඹුරු වූ ආගමික පදනමක් මත නිර්මාණය වන වෙසක් පහන් සැරසිලි හා වෙසක් පහන් කූඩු නිර්මාණය වර්තමානයේ හුදු වාණිජ සැරසිල්ලක් බවට පත්වෙමින් තිබේ. වෙසක් දිනයට පෙර දිනයේ වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ප්ලාස්ටික් සැකිල්ලට කොළ අලවා නිවෙස ඉදිරියේ ඇති බල්බ් එකක සවි කිරීම හෝ කාඩ්බෝඩ්වලින් නිර්මාණය කළ වෙසක් කූඩුවක් හෝ බකට් කිහිපයක් නිවෙස ඉදිරිපිට එල්ලන තත්ත්වයට අද සමාජය පත් වී ඇත්තේ හුදු වාණිජ රැල්ලට හසු වෙමිනි.

 

නමුත් මෙලෙස වෙළෙඳපොළෙන් මිලදී ගත් වෙසක් කූඩුවක් නිවෙස ඉදිරිපිට වෙසක් දිනයේ එල්ලීමට වඩා ගැඹුරු වූ අාධ්‍යාත්මික හරයක් පවුලක් ලෙසින් එකට එක්ව සාදන වෙසක් කූඩුවක් නිර්මාණය කිරීම තුළ අන්තර්ගතව ඇත්තේ ඉතාම සියුම් වූ ආගමික සංකල්පයක් වර්තමාන සමාජයට සිහිපත් කරමිනි. එනම් පවුලක් ලෙසින් එක්ව ආමිස පූජාවේ යෙදීමෙන් ලැබෙන ආශීර්වාදයයි.

 

සත්‍යවාදියකුගේ දිනපොත

 

1990 මැයි 06 වැනිදා

“සල් උයන් හදන පුංචි එවුන් දකින විට මාත් ළමාවියට යනවා. පිඩලි තියලා ඉරටුවල ගහපු බුදුහාමුදුරුවන්ගේ පින්තූර ඇඳලා බල්බ් දැම්මාම මොන තරම් සතුටක් ද? වෙසක් රාත්‍රිය වෙනකොට මල් උයනේ බැටරි බැහැලා. ඊට පස්සේ පත්තු කරන්නේ ඉටිපන්දම්. නංගිලා මල්ලිලාත් එක්ක එකතුවෙලා සල් උයන හදද්දි අම්මයි තාත්තයි හිනාවේවි බලා සිටින අයුරු මට සිහි වෙනවා. ඒත් අද සෑම දෙයක්ම වෙනස් වෙලා.

සුනිල්මාධව ප්‍රේමතිලක

 

මේ අතීතය ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා තැබූ සටහන වගේම සොඳුරු අත්දැකීම් අපේ සෑම වැඩිහිටියකුටම තියනවා. නමුත් දැන් බොහෝ මවුපියන් හරිම කාර්යබහුලයි. ඔවුන්ට තම දරුවන් සමඟ එකට වෙසක් සැරසිලි කරන්න කාලයක් නැහැ. නමුත් එසේ වුවා යැයි කියා දරුවන්ට වෙළෙඳපොළෙන් වෙසක් සැරසිලි ගෙනත් දීම විසඳුම නොවෙයි. වෙසක් කූඩුවක්, තොරණක් සෑදීම හරහා දරුවන් තුළ ඇති වන කායික, මානසික, අධ්‍යාත්මික සංවර්ධනභාවය කිසිවිටකත් මුදලට ගන්න බැහැ. ඔබත් බුද්ධිමත් මවුපියන් ලෙස සෑමවිටම සිදුකළ යුත්තේ තමුන්ට හැකි පමණින් දරුවන්ට වෙසක් සැරසිල්ලක් කිරීමට උනන්දු කිරීම හා ඒ සඳහා සහයෝගය දැක්වීමයි. දරුවන් සෑමවිටම කායික ක්‍රියාකාරකම් සඳහා කැමතිය. වෙසක් කූඩුවක් නිර්මාණය කිරීමට, දන්සලක් සංවිධානය කිරීමට කුඩා තොරණක් සෑදීමට වගේම වෙනත් කුමන ආකාරයක හෝ සාමුහික ක්‍රියාකාරකමකට එක්වෙමින් දරුවන් ඒ තුළින් ලබන අත්දැකීම් පොතපතින් ලබන දැනුමට සේම වැදගත්ය.

 

‍වෙසක් උත්සවය වෙනුවෙන් නිර්මාණය කරන බොහෝ නිර්මාණවල බෞද්ධ දර්ශනය තුළ ගැඹුරු ආගමික සංකල්ප රාශියක් පවතී. එවැනි ආගමික සංකල්පයක් දරුවන්ට ඉතාම ප්‍රායෝගික ආකාරයෙන් අවබෝධ කරදීමට මේ නිර්මාණ කදිම අවස්ථාවකි. එසේම වෙසක් සැරසිල්ලක් කිරීමේදී මවුපියන් සහ දරුවන් තුළ ගොඩනැෙඟන අන්‍යෝන්‍ය සුහදතාවය පවුල් ජීවිතයටද විශාල ආශීර්වාදයකි.

 

කුඩා දරුවන්ට අටපට්ටම් කූඩුවක් සෑදීමේදී ලබාදෙන පණිවුඩය හරිම ගැඹුරුයි. එයින් දරුවන්ට ලැබෙන අවබෝධය ගැඹුරු දහමකට පදනම හා අවබෝධය ලබන්නේ එය සෑදීමෙන් පසු දැල්වීමෙන් පසු ලබන අත්දැකීමෙනි. බොහෝ විට අටපට්ටම් කූඩුවක් සෑදීමට ගන්නේ සමචතුරාස්‍රාකාර කෝටු 6 කි. ඉන්පසු නිර්මාණය වන ත්‍රිකෝණාකාර හැඩතල අටෙන් පෙන්නුම් කරනුයේ අටලෝ දහමයි. ලාභ, අලාභ, යස, අයස, නින්දා ප්‍රසංශා, සැප, දුක යන කොටස් 8 සංකේතවත් කරමින් එය නිර්මාණය වී තිබේ. ඉන්පසුව මෙම කූඩුවට කොළ අලවා මැදින් ඉටිපන්දමක් සවි කරයි. එයින් අදහස් කරන්නේ බුදුරජාණන්වහන්සේ අපගේ සිත පහන් සිලකට උපමා කර තිබීමයි. පහන් සිල නිසා අටපට්ටම ආලෝකමත් වන්නේ යම් සේද, එසේම ප්‍රභාමත් සිත නිසා අවට ලෝකය ද ආලෝකමත් වෙයි.

 

වෙසක් කූඩුවෙහි ලස්සන ඇති වන්නේ එහි දල්වන ඉටිපන්දමේ ආලෝකය හොඳින් ලැබුණොත් පමණකි. එසේම අපේ ලෝකය ලස්සන වෙන්නේ ද සිත ප්‍රභාමත් වූවොත් පමණකි. සිත ප්‍රභාමත්වීම යනු සිතේ පවතින ද්වේශය අඩුකර කරුණාව ඇතිවීමයි. වෙසක් කූඩුවක් සකස් කර එය නිවෙස ඉදිරිපිට සවි කිරීමේදී සුළඟ නිසා එහි ඉටිපන්දම් දැල්ල ඕනෑම මොහොතක නිවී යන්නට ඇති හැකියාව තිබේ. එලෙසින්ම අපේ ජීවිතය ද අනිත්‍යය වෙයි. ඉටිපන්දම් දැල්ල අටපට්ටමට ළං වු‍ණොත් අටපට්ටම ගිනි ගන්නවා. එලෙසින්ම අපගේ සිත ද අටලෝ දහමට ඇලෙන්නට ගියොත් සිදු වන්නේ ද විනාශයයි. ඒ අනුව අ‍ටලෝදහමේ ඇලී ගැලී නොසිට මැදහත්ව එය හොඳින් අවබෝධකර ගැනීමේ වටිනාකම අපට පැහැදිලි කර දෙයි. වෙසක් කූඩුවක රැළි වැඩිවෙන තරමට සුළඟ බැදීම ද වැඩිය. එවිට කූඩුවේ සමබරතාවය බිඳී ගොස් ඉටිපන්දම පෙරළී කූඩුව ගිනි ගැනීමේ ස්වභාවය ද වැඩි වෙයි. එලෙසින්ම අපගේ ජීවිතය ද විච්චූර්ණ වැඩිවෙන තරමට ඇලීම නැතිනම් උපාදානය ඇති වෙයි. එවිට ජීවිතය අසමබර වී ජීවිතය විනාශයට පත්වීමේ සම්භාවිතාවය ද වැඩිවන බව අපට කියා දෙන්නේ ඉතාම සූක්ෂම ලෙසිනි.

 

ගිනි ගන්නා අටපට්ටම දෙස බලා හඬා වැටෙන පුංචි දරුවකුට මෙවැනි පාඩමක් කියා දෙන්නට හැකි වන්නේ ඒ දරුවා සමඟ එකතුව ඔබත් මෙවැනි කූඩුවක් නිර්මාණය කළොත් පමණකි. නැතිනම් වෙළෙඳ පොළෙන් ගෙනත් වෙසක් කූඩුවකට කොළ අලවා එල්ලීමෙන් මේ සියලු දේ කියා දෙන්නට නොහැකිය. වෙසක් කූඩුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමේ සිට එය කොළ අලවා නිවෙස ඉදිරිපිට එල්ලීම දක්වා වූ ක්‍රියාවලියට සෑහෙන කාලයක් ගත වෙයි. ඒ කාලය තුළ දරුවා තුළ විවිධ කුසලතාවයන් හා අාධ්‍යාත්මික සංවර්ධනය විශාල ලෙස වර්ධනය කරයි. ඔවුන් නිර්මාණය කිරීමේදී සිදු කරන වැරැදි හා අතපසුවීම් හරහා බොහෝ දේ ඉගෙන ගනියි. ඒ ලබන දැනුම තුළ ඔවුන් තවත් නව නිර්මාණ කරා යොමුවීමට මඟ පාදයි. එය අනාගතයේදී ඔවුන්ගේ අනාගතය සංවර්ධනයට ද බෙහෙවින්ම වැදගත් වේ. එබැවින් බුද්ධිමත් මවුපියන් ලෙස පුංචි කාලයක් හෝ වෙසක් සැරසිලි කරන දරුවන් සමඟ ගත කරන්න. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා දෙන්න. දරුවන් කරන නිර්මාණවලට ඔබගේ සහයෝගය දක්වන්න. අවසානයේ ඔවුන් අතින් නිර්මාණය වෙන වෙසක් කූඩුව හෝ නිර්මාණය දෙස බලා එය අගය කරන්න. එවිට එයින් ඔබ ලබන ආත්ම තෘප්තිය කෙතරම් දැයි අවබෝධ වෙනු ඇත.

 

උපදෙස් -

ජනශ්‍රැත පර්යේෂක

මහින්ද කුමාර දළුපොත