වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මිථ්‍යාමත ආදරයට බාධාවක් කරනොගන්න
අරුණලු පතිතවන සොඳුරු දවස අඳුරු කිරීමට හිටි හැටියේ ඇද හැළෙන මහා වර්ෂාවක් හොඳටම ප්රමාණවත්ය.
ආදරයෙන් බැඳී සිටින යුවළකට මිථ්‍යාමත එක් කරන්නේ ද එවැනි බලපෑමකි. කිරියි, පැණියි මෙන් සිටිනා දෙන්නා දෙමහල්ලන් සමාජයේ මුල් බැස ගත් මිථ්යාමතවල බලපෑමෙන් නයි මුගටින් බවට පත්වන අවස්ථාවන්ට උදාහරණ ඕනෑ තරම් ය.
ඇතැම් මත සමාජයේ සම්මත කරගත් නීති රීතිය. මේ එවැනි සමාජ සම්මතයන් කිහිපයකි.
* සැමියා බිරියට නිරන්තරයෙන් ආදර සංග්‍රහ කළ යුතුය.
අපේ රටේ වැඩිපුර උසස් අධ්‍යාපනයේ යෙදෙන්නේ කාන්තාවන් වුවත් රැකියාවට යන්නේ 33.4% ක් තරම් සුළු ප්රතිශතයකි. වැඩි වශයෙන්ම රැකියාවට ගොස් පවුල රැකීමට සිදුවන්නේ පිරිමියාටය. වෘත්තීය කාර්යබහුලකම ඔහු වෙත පීඩනයක් එල්ල කරන බව අමතක නොකළ යුතුය. එනිසාම උපන්දින, විවාහ සංවත්සර දින මතකයෙන් ගිලිහී යාම අරුමයක් නොවේ. එය වටහා නොගෙන සැමවිටම ඔහුගෙන් සෞම්‍ය සෙනෙහසක් බලාපොරොත්තු වීම කළ නොහැක්කකි. ඔහුට විරාමයක් ලැබෙන තැන සෞම්‍ය සෙනෙහසකින් ඔහු සැනසීමේ වගකීම ඇයට හිමි වෙයි. යුගදිවිය යනු දෙදෙනකුගේ ගමනාන්තයකි.
* කෝපයෙන් නින්දට නොයන්න
අඹු සැමියන් අතර දවසේ කුමන මොහොතේ වාද විවාද, අඬදබර සිදුවෙනවා ද කියා කිව නොහැකිය. ඇතැම්විට උදෑසන ඇතිවන දබරයක් පවා රාත්‍රිය දක්වාම දුර දිග යන අවස්ථා තිබේ. දබරය හෝ විවාදය වන විට දෙදෙනාම සිටින්නේ තමන් නිවැරැදියි යන මතයේ ය. මේ ගැටලුකාරී අවස්ථාවේ කෙසේ මුහුණ දෙනවා ද කියා සිතනවාට වඩා අවධානය යොමුවන්නේ කවුරුන් නිවැරැදිදැයි යන්න පිළිබඳවය. ආදරයට නොනගතයක් වැනිවූ එවැනි කාල වකවානුවක නින්ද, ගැටලුව විසඳීමට ඇති හොඳම මඟකි. අවදි වූ පසුව සිදුවූ දේ පිළිබඳව වඩාත් තර්කානුකූලව සිතීමට එවිට හැකිවෙයි. මනස සන්සුන් වන නිසා සුබදායක තීරණයකට එළැඹීමට ද පුළුවන.
* සෑම විටම බිරිය වෙනුවෙන් මුදල් ගෙවිය යුත්තේ සැමියාය.
මෙය අතීතයේ සිට පැවත එන මතයකි. සැමියාට බිරිය සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරී තිබුණ ද රාත්‍රී කෑමකට පිටට ගිය අවස්ථාවකදී (ඤඪදදඥප ධභබ) මුදල් ගෙවීම, සැමියාට කමිසයක්, කලිසමක්, ඔරලෝසුවක් ත්‍යාග කිරීම බිරියක විසින් වරින් වර සිදුකිරීම සැබැවින්ම ඔහුට සුවිශේෂ ආදරණීය අත්දැකීමක් වනු ඇත. ඔහු තුළ ඔබ පිළිබඳව ඇති ආදරය, ගෞරවය දෙගුණ තෙගුණ කිරීමට ද එය හේතුවෙයි.
පතිපතිනියන් සමාව ඉල්ලිය යුතු නැත
තමන් අතින් වරදක් සිදුවූ විට සමාව ඉල්ලීමට සැමියා හෝ බිරිය වීම බාධාවක් නොවෙයි. එයින් එකිනෙකා පිළිබඳ දක්වන ගෞරවය, ළෙන්ගතු බව මනාව පිළිබිමු වෙයි.
දෙදෙනා අතර රහසක් නොතිබිය යුතුය
මිහිපිට සැමියා, බිරිය තරම් එකිනෙකාට නිරාවරණය වන තවත් දෙදෙනකු නැත. එහෙත් ඇතැම් කරුණු හෙළි නොකර සිටින තරමට යුගදිවියේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙයි. උදා. පරණ පෙම්වතා ගැන කියා තිබීම ඇතැම් විට පසුකාලීනව ගැටලු මතු කරන තත්ත්වයකට තුඩු දිය හැකිය. එලෙසම සියල්ල හෙළි කිරීම එකිනෙකා මවිතයට, කුතුහලයට පත්කිරීමට ඇති අවස්ථාව ගිලිහී යාමකි.
* ආදරයේ සුන්දරත්වය විඳීමට සැලසුම් අනවශ්‍යය
පති පතිනියන් කාර්යබහුල අද කාලයේ එකිනෙකාට සෙනෙහසින් තුරුලු වීමට, පුංචි හාදුවකට ඉඩක් ලබාගැනීමට කාල වේලාවක් නොතිබිය හැකිය. එනිසා අඹු සැමියන්ට තම තමන් වෙනුවෙන් පමණක් සැලසුම් කරගත් දවසේ හෝරාවක්, හෝ දවසක් කල් ඇතුව සැලසුම් කරගැනීම වැදගත්ය.
* යහපත් ආදර සබඳතාවක් අලුත් කරගත යුතු නැත
මටම ගැළපෙන සහකරු/සහකාරිය හමු වූවා කියා සතුටුවී සුපුරුදු පරිදි ජීවිතය ගෙන යාම යුග දිවියට යහපත් නොවෙයි. ආදරය ද යාවත්කාල (අප්ඩේට්) කරගත යුතුය. ඒකාකාරීව ගලායන ජල පහරකට වඩා අලංකාර අසමාන ගල් පර මතින් ගලා හැලෙන ජල පහරය.
* දරුවකු ලැබුණාම යුග දිවියේ සියලු ගැටලු විසඳෙයි.
මෙය වැරැදි මතයකි. දෙදෙනා තුන්දෙනාවීම තවත් ගැටලු එක්කර ගැනීමකි. එහෙත් දරුවකු ලැබුණු පසු සම්පූර්ණ වන පවුලේ සියලු ගැටලු දෙදෙනාට සතුටින් විසඳාගත හැකිය. බොහෝ පවුල්වල අඬදබර දුරදිග නොයන්නේ දරුවන් නිසාය.
සැබෑ ලෙස සෙනෙහසින් බැඳුණු පති පතිනියන් අතර අඬදබර ඇති නොවෙයි. මෙයද මිථ්‍යාවකි. බත ඉදෙන තුරු පවතින ගැටලු ඕනෑම පවුලක ඉතා සුලබය. මේ ලොව සියලුම අඹු සැමියන් අතර පරස්පරතාවයන් තිබේ. එනිසාම ගැටුම් ඇති වීමට පුළුවන.
කිසිදු දෙදෙනෙක් එක හා සමාන නැත. නිවුන්නුන් පවා එකිනෙකාට පරස්පරය. මේ පරස්පරතාව මත වරින්වර ගැටුම් ඇතිවීම අස්වාභාවික නැත. එය නිරෝගී යුග දිවි සබඳතාවට බාධාවක් නොවෙයි.