ගෙයි ගිනි පිටට නොදීම යුග දිවියට පාරමිතාවක්

නොවැම්බර් 27, 2019

මුහුදට වෙරළක් ඇත. අහසත් පොළොවත් ක්ෂිතිජයෙන් අවසන් වෙයි. සොබා දමේ සීමා මායිම් බොහෝය. පති පතිනියන් යනු සොබා දහමේ කොටස්කරුවන්ය. මානව ප්‍රජාවේ වටිනාම පුරුකය.

දෙදෙනකුට සීමා වූ මේ පවුල් සංස්ථාවට ලෝකයාගෙන් වෙන්වූ සීමාවක් තිබේ. දෙදෙනාම අපටම වෙන්වූ අපේම ලොවක තනිවන්නේ ආදරයේ, සුන්දරත්වය විඳීමට පමණක් නොවෙයි. ඔවුනොවුන්ගේ පෞද්ගලිකත්වය ලොවට හොරා බෙදා ගැනීමටය.

විශාඛා උපාසිකාව විවාහ දිවියට පිවිසෙන විට පියා දුන් අවවාද දහයෙන් එකක් වූයේ ගෙයි ගිනි පිටට නොදීමයි. එය සැබැවින්ම යුග දිවියට පාරමිතාවක් බඳුය. මෙය සැමියාට මෙන්ම බිරියට එකසේ වැදගත්ය.

මංගල උත්සවයට නෑ හිත මිතුරන් සියලු දෙනාටම ආරාධනා කළ ද, පොදුවේ සතුට විඳගත්ත ද මංගල දිනයෙන් පසු දෙදෙනාගේ රහස් දෙදෙනාට පමණක් සීමා විය යුතුය.

සැමියා/බිරිය වශයෙන් කළයුතු නොකළ යුතු කතා බොහෝය. එමෙන්ම සමාජ ජාලාවලට එක් නොකළයුතු තොරතුරු රැසක් තිබේ.

  •  අඬදබර ගැන කිසිවක් නොපවසන්න.
     
  • අඹු සැමියන්ගේ දබර බත ඉදෙන තුරු පමණකැයි කියමනක් පවතී. කාලයාගේ ඇවෑමෙන් යුවළකගේ ගැටලු බොහෝවිට විසඳෙයි. අන්‍යයන්ට මෙය පැවසීමෙන් බොහෝවිට සිදුවන්නේ දබරය දුරදිග යාමය.
     
  •  අතිශයින් පෞද්ගලික ක්‍රියා පොදු ජන මාතෘකා බවට පත් නොකරන්න.

යුග දිවියේ වඩාත්ම පෞද්ගලික වු ලිංගික ජීවිතය ගැන දෙදෙනාගෙන් පරිබාහිර පුද්ගලයන්ට අඩු වශයෙන් මාපියන්ට හෝ පැවසීම නොකළ යුතුය. අවාසනාවකට ඇතැම් කාන්තාවන් නිර්ලජ්ජීව කාර්යාල සේවක සේවිකාවන් වැනි සම්පූර්ණයෙන් පරිබාහිර පුද්ගලයන්ට පවා නිදන කාමරයේ බිත්ති හතරට සීමාවිය යුතු රහස්‍ය කාරණා, තේ කෝප්පයක් මෙන් බෙදා හදා ගනිති. මෙවැනි ක්‍රියාවලින් දෙදෙනා අතරට තෙවැන්නකුට එක් වීමට මඟ පෑදෙයි.

කිසිම බිරියක/ සැමියකු මේ පෞද්ගලික ක්‍රියාවලිය ගැන කිසිවක් අනෙකකු පවසනවාට එකඟ නැත. එයින් අනෙකාගේ විශ්වාසය බිඳ වැටෙයි. අපහසුතාවට පත්වෙයි.

සැමියා/බිරිය අවඥාවට ලක්කිරීමට ද නෑ හිතමිතුරන් මෙවැනි කරුණු වස්තු බීජ කරගනී. ඕපා දූප පතුරවන්නන්ට හිස් වචන කතාබහෙන් දවස ගෙවා දමන්නන්ට මෙබඳු පෞද්ගලික තොරතුරු ලබාදීම අමනුෂ්‍යයන්ට දොළ පිදේනි දීමක් වැනිය.

2019/11/27 තරුණි බලන්න