වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ලොකුකම් පෙන්වා ආදරය නැතිකර ගන්න එපා..
තුරුණු විය සුන්දර ය. ජීවිතය පිළිබඳ බරක් නොමැති නිසාම බොහෝ දෙනාගේ තුරුණු විය සොඳුරු මතක ගොන්නකි. ප්‍රේමයේ වෙළී සිටින මේ කාලයේ දී අනෙකාගේ නොගැළපීමක්, උස් පහත් බවක් ආදිය ගැන සිතට අදහස් එන්නේම නැති තරම් ය. ආදරය ඒ සැමට වඩා ඉහළින් සිටීම එයට හේතුවයි.
තත්ත්වය තරමක් වෙනස් වන්නේ වයසින් මුහුකුරා යද්දී ය. සැමියා හෝ බිරිය තමාගේ රුව, ආර්ථිකය, පවුල් පසුබිම හෝ රැකියාව ආදිය නිසා ඉන් උදම් වීම සුදුසු නොවේ. ඒ හේතුව නිසාම අනෙකා පහත්කර සැලකීම හෝ හැසිරීමේ දී ඒ බව ඇඟවීම මඟින් ඔබ දෙදෙනා අතර ඇති ආදරණීය බැඳීම පළුදු විය හැකිය.
ඇතැම් විට ඔබ සැමියාට වඩා උසස් පවුලක, යහමින් මිල මුදල් ඇති පවුලක සැපට හැදුණු අයකු විය හැකිය. ඔබ දෙදෙනා එකට ගෙවන ජීවිතයේ දී ඒ බව නිතර නිතර ඔහුට පැවසීමට යාම මෙන්ම 'ඔයා වගේ නෙමෙයිනේ.. අපේ පවුලේ නම් එහෙම වෙන්නේ නෑ.., අනේ අපි නම් ඔහොම ලෝබකම් කළේ නෑ.. හොඳට කෑවා බිව්වා..' වැනි වදන් වැඩි දුර නොසිතා ඔබේ මුවින් පිට වුවද එය අනෙක් තැනැත්තාගේ සිත ඔබ සිතනවාට වඩා රිදෙන කීමක් විය හැකියි. මේ නිසා එවැනි දේ කියැවෙන වදන් නොකියා සිටීම ඔහුගේ ආදරය වැඩියෙන් ලබා ගැනීමටත් ඔබ දෙදෙනාගේ සබඳතාවය රැක ගැනීමටත් ඉවහල් වේ.
සමහර බිරියන් සැමියාට වඩා තත්ත්වයෙන් ඉහළ රැකියාවල නිරත වේ. එවැනි ඇතැම් අය තමාගේ තත්ත්වය ගැන සිතා තරමක් උඩඟු සිත් ඇතිව තම පවුල තුළ ද හැසිරෙන අවස්ථා ඇත. එවිට සිදුවන්නේ තම පවුලේ අය තුළ පවා ඇය ප්‍රතික්ෂේපිත චරිතයක් වීමයි. ඇතැම් විට සැමියා මේ නිසා දුරස් වී වෙනත් සබඳතා කරා යාමට වුවද හේතුවක් විය හැකිය.
දිනක් එක්තරා නීතිඥවරියක් මා හා පැවසුවේ ඇය නිවෙසට යන්නේ ඇයගේ නීතිඥ ලෝගුව නිවෙසින් පිට ගළවා තබා බවයි. නිවෙසේ දී ඇය නීතිඥවරියක නොව, බිරියක් හා මවක් පමණක් බව පැවසුවාය. ඇය කොතරම් දක්ෂ නීතිඥවරියක් ද කිවහොත්, විනිසුරු නැති දිනවල විනිසුරුවරියක් ලෙස ද වැඩ කළා ය. එහෙත් ඇය කිසිම දිනෙක නිවෙසේ දී හෝ සැමියා ඉදිරියේ දී තම වෘත්තියෙන් වැජඹෙන්නට නොගියා ය. මේ නිසාම ඇයට සාමකාමී පවුලක හිමිකාරිණියක් වීමට හැකි වූවාය.
එමෙන් ම තවත් බිරියක් අමාත්‍යංශයක ඉහළ තනතුරක් දැරූ තැනැත්තියකි. ඇගේ සැමියා ඇය තරම් ඉහළ නිලයක් දැරූ අයකු නොවූ නිසා ඇයට නොදැනීම නිතරම තමා උසස් බව හඟවන දේ කීමටත් එලෙස හැසිරීමටත් විය. මෙයින් සිදු වූයේ ඇයටත් නොදැනීම ඇයත් සැමියාත් අතර පවුරක් ඉදිවීමයි. ඔවුන් දෙදෙනා ක්‍රම ක්‍රමයෙන් දුරස් වීමට මෙය හේතුවක් වූ බව තේරුම් ගන්නා විට එම උඩඟු බවේ පවුර බිඳ දැමීමට තරමක් අපහසු වී තිබුණි.
තවත් විටෙක වැඩියෙන් අතමිට මුදල් ගැවසෙන බිරින්දෑවරුන් ද සැමියා අභිබවා යාමටත් ඔහු ගණන් නොගෙන සිටීමටත් පෙලඹීම නිසා පවුල් අවුල් ඇති වේ. එසේ නොවුණත් දෙන්නා දෙමහල්ලන් නමට පමණක් පවුල්කන ස්වභාවයක් ඇති වේ. එය සාර්ථක පවුල් ජීවිතයකට මෙන්ම සාර්ථක සම්බන්ධතාවකට හිතකර නොවේ.
ඇතැම් බිරියන් තමාගේ රුව නිසා අහංකාර වන අවස්ථා ද නැතුවා ම නොවේ. තමාගේ රුව නිතර අන් අයගේ පැසසුමට ලක්වන නිසා එය තම සැමියා හෝ පෙම්වතා ඉදිරියේ දී ඔහු දෙවැනි තැනට දමා කටයුතු කිරීමට හෙතුවක් කරගනියි. මෙය ද සම්බන්ධතා සඳහා එතරම් සුදුසු නොවන්නකි.
2020/01/29 තරුණි බලන්න