වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සාර්ථකත්වය ලබා ගන්න නම් සාර්ථකත්වය ලබා ගන්න නම්
ජීවිතය වාසනාව, අවාසනාව, දෛවය මත පමණක් පදනම් වූවක් නොවේ. වාසනාවට ලැබුණු දේ වුවද හරියාකාරව ක්‍රියා නොකිරීම, කළමනාකාරී නොවීම නිසා අහිමි කරගත් පුද්ගලයන් කොතෙකුත් ඇත.
එමෙන්ම අවාසනාව නිසා සිදු වූ දේවල් මතින් තම සාර්ථකත්වය උදාකර ගත් මිනිසුන් ද අප අතර ම වෙසෙයි. දෛවයේ සරදමට ලක් වුවත් දෛවයට සරදම් කරමින් ජීවිතය දිනූ අය ලොව පුරා වෙසෙති. එම නිසා අපගේ ධෛර්යය, උත්සාහය මත අපගේ දියුණුව, ජයග්‍රහණය රඳා පවතින බව කිව යුතුය.
පුදපූජා, යාදිනි, ප්‍රාර්ථනා කිරීම් ආදියෙන් ජීවිත සාර්ථක කරගත් කිසිවෙක් නැති බව ඔබට පැවසිය යුතුයි. එමනිසා එවැනි දේ මඟින් ජීවිතය සාර්ථක කරගැනීමට යාම නිරර්ථක ව්‍යායාමයකි. සාර්ථකත්වය සඳහා අවශ්‍ය වන්නේ කළ යුතු දෙය හා නොකළ යුතු දෙය මනාව වටහාගෙන කළ යුතු දෙය කිරීමටත් නොකළ යුතු දෙය කිසිවිටෙක නොකිරීමටත් වග බලා ගැනීමයි.
අද ඔබට අප පවසන්නේ ජපන් සෙන් කතාවක් ඇසුරෙන් සාර්ථක ජීවිතයකට උගත හැකි පාඩමක් පිළිබඳයි. මෙය අපට ගැළපෙන ලෙස ස්වල්ප වශයෙන් වෙනස්කොට ඇත.
දිනක් සත්‍ය දැන ගැනීමට අවශ්‍ය වූ පුද්ගලයෙක් ජපන් සෙන් හිමිනමක් හමු වී පවසන්නේ ' හිමියනි, මට ඉතාම ඉක්මනින් සත්‍ය අවබෝධ කරගැනීමට අවශ්‍යයි. ඒ වෙනුවෙන් මම ඕනෑම දෙයක් කිරීමට මෙන්ම ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම්, මට ඉක්මනින් සත්‍ය අවබෝධ කළ හැකි වේද?' ලෙසයි. එවිට නායක හිමිනම පවසන්නේ ඔබට ඒ වෙනුවෙන් වසර දහයක් පමණවත් ගත වේවි යනුවෙනි.
නැවතත් අර පුද්ගලයා හිමි නමට පවසන්නේ 'මට එතරම් කාලයක් වැය කිරීමට බැහැ. ඔබතුමා පවසන ඕනම දුෂ්කර ක්‍රියාවක් මම කරන්නම්, ඕනම පැය ගණනක් මම වැඩ කරන්නම් මට අවශ්‍ය වී ඇත්තේ ඉතාම ඉක්මනින් සත්‍ය අවබෝධ කරගැනීමටයි. මම උපරිම කැපකිරීම් කරනවා නම් ඒ සඳහා මට කොතරම් කාලයක් යාවිද' ලෙසයි. එවිට හිමිනම පවසන්නේ එහෙම නම් ඔබට අවුරුදු 25ක් වත් ඒ සඳහා ගත වේවි යනුවෙනි.
තෙවැනිවර එම පුද්ගලයා පවසන්නේ 'නෑ.. නෑ.. හිමියනි මා පවසන දෙය ඔබ වහන්සේට වැටහෙන්නේ නැතිද? මට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් සත්‍ය අවබෝධ කරගැනීමටයි..' එවිට සෙන් හිමියන් මට පෙනෙන හැටියට ඔබට තව අවුරුදු 35ක් වත් ඒ වෙනුවෙන් කැප කරන්න සිදු වේ යැයි පැවසුවා.
මින් අප ගත යුතු ආදර්ශය කුමක්ද? මෙහි අදහස වන්නේ අප සාර්ථකත්වය කරා යන ගමනේදී ඒ වෙනුවෙන් කළ යුතු කැප කිරීම් නොකොට, විය යුතු පිළිවෙත් පුරන්නේ නැතිව අපට හදිසි වූ පමණින් ඒ සාර්ථකත්වයට ලඟා නොවිය හැකි බවයි.
අප හොඳින් ම දන්නා සත්‍යයක් වන්නේ බීජයක් සිට වූ විට අපි කලබල වූවා කියා හෝ අපිට අවශ්‍ය වූවා කියා එය ඉක්මනින් ගසක් බවට පත් නොවන බවයි. බීජය ගසක් වීමට නම් ඒ සඳහා අවශ්‍ය වන සාධක ඇති ස්ථානයක අපි එය සිටුවිය යුතුයි. ඉන් අනතුරුව ඉවසීමෙන් එය මුල් ඇද ගසක් බවට පත්වන තුරු අප බලා සිටිය යුතුයි.
උපදෙස්
ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක
මොහාන් පල්ලියගුරු
2020/09/16 තරුණි බලන්න