අපේ අරමුණ නිර්මාණාත්මක නවක කවි කිවිඳීයන් සොයා ගැනීමයි

සැප්තැම්බර් 30, 2020

ඊට අමතරව සතිපතා හොඳම නිර්මාණයකුත් තෝරා එයට තිළිණ පිරිනැමීමක් සිදු වෙනවා නේද ?

" ඇත්තටම ඔව්. අපි සතිපතා හොඳම නිර්මාණයක් තෝරා තිළිණයක් පිරිනමනවා. එයින් අප අදහස් කරන්නේ තරුණී පාඨකයින් තව තවත් උනන්දු කිරීම සහ ඔවුන්ගේ සාහිත්‍ය රසවින්දනය ප්‍රවර්ධනය කිරීමයි."

හිතක පිපුණු මල් කවි පිටුවේ නව මුහුණුවර ගැන තවදුරටත් සඳහන් කළහොත් ?

" සතිපතා හොඳම නිර්මාණය තේරීමට අමතරව අපි ප්‍රවීණ කවියකුගේ හෝ කිවිඳීයකගේ නිර්මාණයක් හඳුන්වා දීමත් සිදු කරනවා. පාඨක මඟ පෙන්වීමක් හැටියට මෙය සිදු කෙරෙන අතර එවැනි කවියකින් යම් ආභාෂයක් ලබාගත හැකි වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. පසුගිය කලාප සියල්ලකගෙන් ම පාහේ අපේ සිංහල කාව්‍ය විශිෂ්ටයන් රාශියකගේ නිර්මාණ ඉදිරිපත් කළා. ඉතින් අප විශ්වාස කරනවා ඔබ මේ නිර්මාණ කියවා රස විඳ අනතුරුව ඒ කවීන්ගේ වෙනත් නිර්මාණයන් ද සොයාගෙන කියවන්නට පෙළඹෙන්න ඇතැයි කියලා."

කවි පිටුවට පැමිණෙන සියලුම කවි පළ වන්නේ නැහැ. මෙම තෝරා ගැනීමේ දී නවක කවි කිවිඳීයන් තුළින් ඔබ දකින අඩුපාඩු ගැනත් සඳහනක් කළොත් ?

" පසුගිය මාස කිහිපය පුරාවටම මට කියවන්නට ලැබුණු කාව්‍ය නිර්මාණ ප්‍රමාණය දහසකටත් අධිකයි. ඒවායෙන් බහුතරය කවි බවට පත් වී නැති බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි. නමුත් කවි තේරීම ආරම්භ වූ පසුව ක්‍රම ක්‍රමයෙන් ඇතැම් කවි කිවිඳීයන්ගේ හොඳ නිර්මාණ අපට ලැබුණු බවත් අමතක කරන්න බැහැ.

අත්දැකීම් තොර වීම

බහුතරයක් නිර්මාණ අසාර්ථක වීමට හේතු කිහිපයක් මම දකිනවා. පළමුවැන්න තමයි අත්දැකීමකින් තොරව හිතට නැඟෙනා මොනවා හෝ අදහසක් වාර්තාමය ස්වරූපයකින් රචනා කිරීම. සාමාන්‍යයෙන් කවියකින් කියැවෙන හෝ කවියට විෂයය වන අත්දැකීම පාඨකයා මෙයට ප්‍රථම කියවා නැති, අසා නැති අත්දැකීමක් වීම ඉතා වැදගත්. එවැනි අත්දැකීම් විෂයය කරගත් නිර්මාණ කියවන්නට පාඨකයා කැමැතියි. අපි එය අපූර්වත්වය යනුවෙන් හඳුන්වනවා.

දුර්වල භාෂාව

බොහෝ කවීන්ගේ භාෂාව දුර්වල තත්ත්වයක පවතින බව පෙනෙනවා. කවියට සුදුසු බසක්, කාව්‍යාත්මක භාෂාවක්, උචිත උපමා රූපක, කාව්‍යෝක්ති, මැවීමට සමත් භාෂාවන් පිළිබඳ සිතීම අවශ්‍යයි. ඒ සඳහා වඩ වඩාත් අපේ පැරැණි සාහිත්‍ය සහ නවීන කවීන්ගෙ නිර්මාණ කියවීම වැදගත් වේ.

ඒකාකාරී මාතෘකා

ලැබෙන කවි අතර බහුතරයක් විෂයය කරගත් මාතෘකා කිහිපයක් මම දකිනවා. මවුපිය සෙනෙහස, ගුරු ගෞරවය, පාසල, රණවිරුවන්, දේශාභිමානය, බිඳ වැටුණු ආදරය, පරිසරය, ආගමික සිද්ධස්ථාන, පොහොය දිනයන්හි වැදගත්කම ආදී මාතෘකා පිළිබඳ ලියැවුණු කවි සුලබයි .

මේ විෂයයන් පිළිබඳ කවි ලියන්න එපා කියලා මම කියන්නේ නැහැ. නමුත් අලුත් විදිහට දකින්න, අලුත් ඇසකින් බලන්න උත්සාහ ගැනීමයි ඔබ කළ යුත්තේ. උදාහරණයක් ලෙසින් අම්මා, මවු සෙනෙහස ගැන ලියැවුණු මේ ගීත තුන බලන්න.

 

* වික්ටර් රත්නායකයන් ගයන

'ආදරයේ උල්පත වූ අම්මා'

* නන්දා මාලනිය ගයන

'මිහි මඬලේ අඳුරු කුසේ

දිය උල්පත අම්මා'

* ගුණදාස කපුගේ ගයන

'දවසක් පැල නැති හේනේ'

 

මෙම ගීත තුනෙන්ම මවු සෙනෙහස ගැනයි කියැවෙන්නේ. නමුත් ඒවා එකිනෙකට වෙනස් අත්දැකීම් විදිහට නවතාවයෙන් රචනා වූ ඒවා. ඒකාකාරී නොවන නිසා හරි ම රසවත්.

විවිධ ආකෘති

ඕනෑම ආකෘතියකින් කාව්‍ය රචනය කළ හැකියි. නිසදැස්, සඳැස්, කෙටි කවි, සංෂිප්ත කවි මේ ආදී ඔබට කැමැති ආකෘතියක් තෝරා ගත හැකියි. හැබැයි තෝරාගන්නා ආකෘතිය ඔබ පවසන අත්දැකීම් කියන්න වඩාත් උචිත එකක් වීම වැදගත්. සමහර වෙලාවට සිවුපද ආකෘතියෙන් පවසන්න බැරි දේ නිදහස්ව නිසදැස් කවියකින් පවසා ගන්න පුළුවනි .

නිර්මාණයට ගෞරව කරන්න

ඔබ කවියක් ඉදිරිපත් කිරීමේ දී නිර්මාණයට ගෞරවයක් දක්වන්න පුරුදු වන්න ඕනේ. කොළ කෑලි, තුණ්ඩු කෑලි වැනි දේවල්වල කවි රචනාකර එවීම ප්‍රතික්ෂේප වීමට එක් හේතුවක් විය හැකියි. එකම පිටුවේ දෙපැත්තේ කවි ලිවීමත් සුදුසු නැහැ. එක් පසෙක පමණයි ලිවිය යුත්තේ. එක් කොළයක් නොසෑහේ නම් තවත් කොළයක් ගන්න.

එමෙන්ම තරුණී පුවත්පතේ පළ වන කූපනය අලවා එහි නිර්මාණයේ නමත්, ඔබේ නමත් සඳහන්කර තිබුණත් ඔබ ඉදිරිපත් කරනා නිර්මාණය අවසානයේ ද එහි මාතෘකාව, නම, ගම සඳහන් කිරීමට කාරුණික වන්න .

අත් අකුරෙන් ලියා එවන කාව්‍ය නිර්මාණ ද වඩාත් පැහැදිලිව ලියා එවන්නට පුරුදු වන්න. බොහෝ කවි කිවිඳීයන් 'නණලළ' වැනි අක්ෂර වින්‍යාශය පිළිබඳ උනන්දුවක් හෝ සැලකිල්ලක් නොදක්වන බව පෙනී යයි. එබැවින් ඒ පිළිබඳ අදාළ පොත පත පරිහරණය කොට අවබෝධයක් ලබාගන්න . ඒ සමඟම මෙම හිතක පිපුණු මල් කවි පිටුවේ පළවන කවි ද කියවන්න. අනතුරුව ඒවා රස වින්දනය කරන්න. ඒ අතරතුරේ ඒවායින් උකහා ගත හැකි දේවල් ද ඔබේ නිර්මාණයට එකතු කරගන්නට අමතක කරන්න එපා."

ඡායා - ටෙනිසන් එදිරිසිංහ

 

2020/09/30 තරුණි පුවපත බලන්න