වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හිත දුප්පත් නැතිනම් ඔබ පොහොසත්..
ජීවිතය ජය ගන්න කවුරුත් කැමැතියි. ඒත් ඒ සඳහා අවංකව උත්සාහයෙන්, උනන්දුවෙන් ක්‍රියා කරන්නන් ඇත්තේ බොහොම සුළු ප්‍රමාණයක්. දියුණු වීමට හිතේ කැමැත්තක් ඇතත් තමාගේ හා තමාගේ පසුබිමේ ඇති යම් යම් හේතූන් නොහැකියාවන් නිසා එම කැමැත්ත අමතක කිරීමට ඇතැම් අය ක්‍රියා කරනවා.
'අපි හුඟක් දුප්පත්. ඒ හින්දා අපිට ලොකු හීන නෑ. එහෙම හීන දැක්කත් ඒවා කොහොම ජය ගන්නද?, අන්තිමට දුක හිතිලා මැරෙන එක විතරයි වෙන්නේ... ඒ හින්දා මෙහෙම යන විදියට ලැබුණු දෙයක් බාරගෙන ජීවත් වෙන එක හොඳයි..' මේ, එවැනි අය පවසන දෙයයි. ඔබත් මෙලෙස සිතන කෙනෙක් නම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි.
දිළිඳු බව දෙයාකාරයි. ඉන් එකක් ආර්ථික දිළිඳු භාවය වන අතර අනෙක මානසික දිළිඳු භාවයයි. ආර්ථික දිළිඳු භාවය ඇති බොහෝ දෙනෙක් ඒ නිසාම මානසික දිළිඳු භාවයට පත් වේ. එනම්, ආර්ථික අපහසුතා නිසා මානසිකව කඩාවැටීමට ලක් වේ. නමුත් ඔබ මතක තබා ගත යුත්තේ ආර්ථික දිළිඳු භාවයට වඩා මානසික දිළිඳු භාවය භයානක වන බවයි. එහි අර්ථය වන්නේ මේ අවස්ථාව වන විට ඔබ ආර්ථික දිළිඳු භාවයක සිටියත් මානසික වශයෙන් ඔබ දිළිඳු නැති නම් ඔබට ආර්ථික දිළිඳු භාවය නැතිකර ජීවිතය ජය ගැනීමට හැකියාව ඇති බවයි.
නමුත් ඔබ පරම්පරාවෙන් ලැබුණු ධනයක් තිබුණත් මානසික දිළිඳු බවෙන් යුතු අයෙක් නම් ඒ ධනය වුවද නැතිකර ගැනීමට එතරම් කාලයක් ගත නොවේ. ඒ නිසා ඔබ ආර්ථික අපහසුතා ඇති අයෙක් නම් ප්‍රථමයෙන් ම ඔබ සිතිය යුත්තේ, ඔබේ මානසික ශක්තිමත් බව රඳවා තබා ගැනීම පිළිබඳයි. මන්ද මානසික ධනවත් භාවය තිබෙන පුද්ගලයකුට ආර්ථික ධනවත් භාවය ලබා ගැනීමට හැකියාව ඇති නිසයි.
ලෝකයේ නමගිය බොහෝ ධනවත් අයගේ ජීවිත කතා දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන කාරණයක් වන්නේ ඔවුන් ආර්ථික වශයෙන් දිළිඳු පවුල්වල පුද්ගලයන් හෝ කුඩා කල දී ආර්ථික අපහසුතාවලින් පීඩා විඳි, දුෂ්කර ජීවිත ගත කළ පුද්ගලයන් වන බවයි. ඔවුන්ගේ පැවැති විශේෂත්වය වන්නේ ආර්ථික අතින් දිළිඳු වුවද මානසිකව ඔවුන් ඉතා ධනවත්ව සිටි නිසා තමා සිටි තත්ත්වයෙන් ඉහළට පැමිණ ජීවිතය සාර්ථක කරගැනීමට හැකි වීමයි.
ලෝකයේ ඉතාමත් කතාබහට ලක් වූ පුද්ගලයන් කීපදෙනෙකු ම අපට මේ සඳහා නිදසුන් ලෙස ගැනීමට පුළුවන්. ස්ටීව් ජොබ් යනු කවුරුන්දැයි ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැති තරමට ඔහු කා අතරත් ජනපි‍්‍රය වූ චරිතයක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකට බිහි වූ දරුවා ඇයට හදා ගැනීමට නොහැකි වූ නිසා වෙනත් යුවළකට හදා වඩා ගැනීමට දෙන ලදී. එම මවුපිය යුවළ ද එතරම් මිල මුදල් තිබූ අය නොවුණි. කුඩා කල ඔහුට නොයෙකුත් අපහසුතාවලට මුහුණ දීමට සිදු විය. ඇතැම් විට සතියකට එක් වතාවක් පමණක් හොඳ ආහාර වේලක් ලබා ගැනීමට හැකි වූ බව ඔහු ම පවසා තිබේ. ජීවත් වූ නිවෙසේ ගරාජයේ මිතුරකු සමඟ එක්වී ආරම්භ කරන ව්‍යාපාරය ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමේ ආරම්භය බවට පත් විය.
ජපානයේ හොන්ඩා, අලිබබා සමාගමේ ජැක් මා යන අය ද උත්පත්තියෙන් ධනවතුන් නොවේ. ඔවුන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ සාර්ථකත්වය ලබා ගත් පුද්ගලයන් වේ. ලෝකයේ නම ගිය දේශපාලන නායකයන්, කලාකරුවන්, ක්‍රීඩකයන් ආදී වූ විවිධ ක්ෂේත්රවල සිටින බොහෝ දෙනා ආර්ථික දිළිඳු බව තම මානසික පොහොසත් බවින් ජය ගත් පුද්ගයන් බව පැවසිය හැකිය.
බොහෝ දෙනෙක් දන්නා ඉන්දියාවේ සිටි ජනපි‍්‍රය ජනාධිපතිවරයකු වූ අබ්දුල් කලාම්ගේ ජීවිත කතාව ද අපිට ආදර්ශයට ගත හැකි ආකාරයේ කතාවකි. ඔහු ඉන්දියාවේ දුෂ්කර පෙදෙසක ඉපදී පාසල් යන කාලයේ දුම්රිය අංගනවල පුවත්පත් විකිණීමේ යෙදී ඇති අතර පසුව කෙසේ හෝ ධෛර්යයෙන් තම ජීවිතය ජය ටැඹ කරා ගෙන යාමට සමත් වූවෙකි.
එබැවින් අප උරුමය කරුමයක් කරගත යුතු නැත. එම උරුමයට අභියෝග කළ හැකි පුද්ගලයකු විය යුතුය. උත්පත්තියෙන් ලැබුණු උරුමය මුළු ජීවිතයම කරගත යුතු නොවේ. දිළිඳු බව යනු ධනවත් වීමට සුදුසුකමකි. දිළිඳු අයකු යම් කිසි වැඩපිළිවෙළකට අනුව කටයුතු කිරීමෙන් සාර්ථකත්වය කරා යාම අපහසු නොවනු ඇත.
ධනවතාට තව තවත් ධනය ලැබුණාට එහි අමුතු වින්දනයක්, සතුටක් නැත. එහෙත් දිළිඳු අයකුට ධනය ඉපැයීම සතුට, විනෝදය ලබා දෙන්නක් විය හැකිය. ඔහුට අභිමානයක් තමා පැමිණි ගමන ගැන ආපසු හැරී බැලීමේ දී සතුටක්, තෘප්තියක් ලැබිය හැකිය.
ගස් සෙවණකට පැමිණි විට සිසිලස වැඩියෙන් දැනෙන්නේ අව්වේ ගිය පුද්ගලයකුටයි. වතුරෙහි මිහිර දැනෙන්නේ දිය පිපාසයෙන් සිටිය පුද්ගලයකුටයි. නිදි වරපු අයකුට නින්දේ සුවය හොඳින් ම දැනෙයි. යම් කිසි ධනවත් බවක් අත්කර ගත් අයකුට තමා ජයග්‍රහණය කළ බවට හැඟීමක් ඇති වේ.
ජීවිතයේ ඉලක්ක හදා ගැනීම, එම ඉලක්ක කරා ගමන් කිරීම ප්‍රශන ඇතිකර ගැනීමක් නොවන අතර එය තමා ඉපදුණ තත්ත්වයට කරන අභියෝග කිරීමක් ලෙස සැලකිය හැකියි. දුර්ලභ ජීවිතයක් ලබා ගත් අපි කුමක් හෝ කා බී උපන්නාට ජීවත් වී ඵලක් වේද? එසේ නොවුණහොත් අපි ඊට එහා ගිය ජීවිතයකට හිමිකම් කිව යුතුදැයි යන්න ඔබම තීරණය කළ යුතුය.
යමකුට මේ මොහොතේ ගත කරන ජීවිතය දුෂ්කරයි නම්, එම දුෂ්කරතාවට අභියෝග කරමින් අළු මතින් නැගී සිටින පුද්ගලයකු ලෙස ජීවිතය ජය ගැනීමට ඉලක්කයකට අනුව ජීවිතය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන්න. එවිට දිනෙක තමා ආ මාර්ගය දෙස ආපසු හැරී බලා ඔබට ඔබගේ ගමන පිළිබඳ තෘප්තිමත් විය හැකිය. එමනිසා සිහින දකින්නටත් ඒවා යථාර්ථයක් බවට පත්කර ගැනීමටත් නොපැකිළව කටයුතු කළ යුතුයි.
තමා ඉපදුණු තත්ත්වයට වඩා අඩියක් හෝ ඉදිරියට යාමට නොහැකි නම් ඔබගේ ජීවිතය සාර්ථක වූවාදැයි සිතා බැලිය යුතුය. තමා ගේ ඉලක්කය සපුරා ගැනීමට මූලිකවම අවශ්‍ය වන්නේ මුදල් නොවන බවත් ධෛර්යය, උත්සාහය තිබෙන පුද්ගලයාට කෙසේ හෝ තමා බලාපොරොත්තු වන ඉලක්කයට යාමට හැකි වන බවත් සිහි තබා ගත යුතුය.
ඔබේ ජීවිතය ඔබ සතු සම්පතකි. එය වඩාත් යහපත් කරගැනීමේ තීරණය ගත යුත්තේ ඔබ ය. ඔබේ ජීවිතය රියක් නම් එහි රියැදුරු වන්නේ ද ඔබම ය. එබැවින් තමා යන මාර්ගය පැහැදිලි කරගත යුත්තේ ද ඔබ විසින් ම ය. ජීවිතය සාර්ථක කරගන්නවා ද? නැති ද? යන මාර්ග තෝරා ගත යුත්තේ ද ඔබ ය.
එමනිසා සාර්ථක වීමේ ඔබේ සිතිවිලි, අරමුණු, කි්රයාවන් යන සියල්ල ද ඔබේ ජීවිතයේ හෙට දවස තීරණය කරයි.
උපදෙස්
ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක
මොහාන් පල්ලියගුරු