ලැබූ නව වසරට ආහාර පිළිවෙත්...

අප්‍රේල් 21, 2021

 

මේ සිංහල අලුත් අවුරුද්ද ලැබුවේ අපේ ජීවිත නව බලාපොරොත්තුවලින් පුරවාලමිනි. අලුත් ඇඳුම් පැලඳුම් පමණක් නොව, නිවෙසේ බඩු බාහිරාදිය ද අලුත් වන මේ සමය නව හැඟුමින් සිත පුබුදුවාලයි. පරිසරයේ නැවුම් බව ද ගතට සිතට දැනෙන මේ හැඟීම් තීව්‍ර කිරීමට සමත් වේ.

ලොව ම අපහසුතාවට පත් වූ මේ වසංගත රෝග තත්ත්වය හමුවේ අපේ ඇත්තන් වටහා ගත් දෙයක් ඇත. ඒ බටහිරකරණයට වඩා අපේ දේ රැක ගැනීම හා ඒවා ඵල ප්‍රයෝජනයට ගැනීමෙන් වැඩි වාසි ජීවිතයට ලබා ගත හැකි බවයි.

අපේ සමාජය බටහිර ආහාර රටාවට හුරු වීමත් සමඟ ම අපේ ආහාර ගම් දනව්වලට ම සීමා විය. කාර්යබහුල ජීවන රටාව අපේ ඇත්තන් ලේසි පහසු කෑම, ක්ෂණික කෑම ලෝලීන් බවට පත් කෙරිණි. කාර්යබහුලත්වය නිසාම මානසික පීඩනය ඔවුන් වෙලාගත්තේ ය.

අපේ ආදි මුතුන් මිත්තන් ආහාරයට ගත්තේ තමාගේ වගා බිම්වලින් හා වත්තේ පිටියෙන් උපයා සපයා ගත් දේ ය. එමනිසා ඔවුන්ගේ සිරුරු සවි ශක්තියෙන් යුතු ලෙඩරෝග පහසුවෙන් නොවැලඳෙන ඒවා විය. නිතර කය වෙහෙසා වැඩ පල කළ නිසාම ඔවුනගේ සෞඛ්‍ය තත්ත්වය රැකිණි. අදවන විට මේ සියල්ල වෙනස් වී අප කෘත්‍රිම රසයන්ගෙන් දිව පිනවීමට සැදී පැහැදී සිටින්නන් බවට පත් වී ඇත. මෙහි ඇති ශෝචනීය බව වන්නේ ඒ නිසාවෙන් ම සමාජයේ බොහෝ දෙනෙක් මාරාන්තික රෝගවලට ගොදුරු වීමයි.

අපේ සාම්ප්‍රදායික ආහාර වේල තමාගේ ම හෝ ගමේ කුඹුරකින් සපයාගත් බත්, වත්තෙන් ම නෙළාගත් මෑ කරල්, පතෝල, දඹල, වැටකොළු, වට්ටක්කා, වම්බටු, බණ්ඩක්කා වැනි එළවළුවක්, වත්තෙන් ම සපයා ගන්නා කොළ වර්ගයක් සමඟ මාළු හෝ කරවලවලින් සමන්විත විය.

මෙය සමබල ආහාර වේලකි. මෙය කාබොහයිඩ්‍රේට්, ලිපිඩ, විටමින් වර්ග, ප්‍රෝටීන් ආදියෙන් පරිපූර්ණ ය. ඒ නිසා මේ දේවල්වලින් කිසිම අගුණයක් සිදු නොවිණි. එමෙන්ම ශීතකරණයේ දමා තැබූ දේවල් නොව, අලුත් එළවළු, මාළු, පලතුරු ආහාරයට ගැනීම නිසා නිසි පෝෂණය ලැබිය හැකි විය.

සිරුර වෙහෙසවා වැඩකොට කුසෙහි ගින්නක් ඇතිව ඒ ආහාරය ගන්නා විට එය හොඳින් ජීර්ණය වෙයි. අග්න්‍යාශයෙන් එන යුෂ, පිත්ත අම්ල, ආමාශයේ තිබෙන ආමාශයික යුෂය නිසියාකාරව ලැබීමෙන් ආහාරය හොඳින් ජීර්ණය වේ. මේ යුෂ සියල්ල නිකුත් වී ඇති විට අපට බඩගින්න දැනෙන්නට පටන් ගනී. මේ ජීර්ණයෙන් පසුව නිසි සේ රස කොටස් ලේවලට එකතු වේ. එවිට කිසිම රෝගයක් ඇති නොවේ.

අපගේ පෙර කළ කුසල් අකුසල් අනුව අප ගෙන එන ආයුෂ ප්‍රමාණය ඵල දීමට නම් නිරෝගී ජීවිතයක් ගත කළ යුතුය. ඒ සඳහා වස විස නැති ආහාර ලබා ගත යුතුය. එහෙත් මේ වෙන විට අප ආහාරයට මුල් තැන දීම අඩු වී තිබීම බොහෝ ලෙඩරෝගවලට හේතු වේ. රාජකාරිවලට මුල්තැන දිය යුතු වුවත් අපේ සිරුරේ ශක්තිය, ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන සංඝටක ලබා ගැනීමට නම් නිසි පෝෂණයෙන් යුතු සමබල ආහාර වේලක් ලබා ගත යුතුය. අප ගන්නා ආහාර මගින් සිරුර පෝෂණය විය යුතුය. ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිදු විය යුතුය. හොඳින් මලමුත්‍රා පිටවිය යුතුය. මේ සියලු කාර්යයන් නිසියාකාරව සිදු වනවා නම් අප නිරෝගී වේ. එමනිසා නිරෝගී දිවියක් ලබා ගැනීමට නම් නිසි පෝෂණයෙන් යුතු සමබල ආහාරවේලක් ලබා ගැනීම අනිවාර්යය වේ.

බොහෝ දෙනෙක් පුරුදු වී ඇත්තේ කුසගින්න ඇති වූ වෙලාවට පහසුවෙන් සපයා ගත හැකි කුමක් හෝ ආහාරයට ගැනීමටයි. එහෙත් ඉන් නිසි පෝෂණයක් නොලැබෙන අතර තන්තු ප්‍රමාණය අඩු ආහාර දිගින් දිගට ගැනීමෙන් ජීර්ණ ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවීමටත්, මලපහ නිසියාකාරව සිරුරෙන් බැහැර නොවීමටත් හේතුවිය හැකියි. ඒ හේතුවෙන් සිරුර නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු විය හැකියි. අද බොහෝ දෙනා රෝගීන් වීමට බලපා ඇත්තේ ආහාර රටාවේ ඇති දුර්වලතා නිසයි.

එමෙන්ම අද ක්ෂණික ආහාර නැතිනම් සකස් කරන ලද ආහාර වෙළෙඳපොළේ සුලබ ය. ඒවා නිවෙසට ගෙනැවිත් රත්කර ආහාරයට ගත හැකිය. ඇතැම් ඒවා උණුවතුරෙන් තැම්බීම පමණක් ප්‍රමාණවත් ය. මෙවැනි ආහාර දිගින් දිගට ම ආහාරයට ගැනීමෙන් ඔබටත් නොදැනීම ඔබ රෝගියකු වේ. එසේ වූ විට වැරැදි රස කොටසක් ලේවලට එකතුවීම නැවතිය නොහැකිය. එමෙන්ම අද බොහොමයක් කාන්තාවන් කෘත්‍රිම රසකාරක ආහාරවලට එකතු කිරීමට පුරුදු වුවත් ඒවා සිරුරට අහිතකර ය.

අපේ ස්වාභාවික රසකාරක ලෙස හැදින්විය හැකි පහේ වර්ග සිරුරට හිතකර ය. සූදුරු, කොත්තමල්ලි, මාදුරු, කහ, මිරිස්, ගම්මිරිස්, සුදු ලූනු, කරපිංචා, කුරුදුපොතු, අබ, උළුහාල් වැනි ස්වාභාවික රසකාරක නිසා සිරුර නිරෝගී වේ. මේවායෙන් අපේ සිරුරේ තැන්පත් වන අහිතකර දේ ලිපිඩ එනම් කොලෙස්ටරෝල් ඉවත් වේ. එමෙන්ම අපේ සිරුරේ සීනි ප්‍රතිශතය පාලනය කිරීමේ හැකියාවක් ද මේ දේවල් සතුය. මේ දේවල් ආහාරයට ගැනීමත් නිසි ආහාර රටාවක් අනුගමනය කිරීමත් නිසා අපේ මුතුන්මිත්තන් උපරිම ආයුෂ ලබා ගැනීමට සමත් විය. අද ඇති බෝ නොවන රෝග ඒ කාලයේ නොතිබෙන්නට හේතුව එයයි.

බටහිර ආහාර රටාවට හුරු වීමට යාම අපේ සමාජයේ බොහෝ පිරිසක් රෝගවලට ගොදුරු වීමට හේතුවකි. ආහාර කල් තබා ගැනීමට ශීතකරණයක් අවශ්‍ය බව අද බොහෝ දෙනාගේ මතයයි. ශීතකරණය නිසා අපි අනවශ්‍ය ආහාර රටාවකට ගොදුරු වෙමින් සිටිමු. අපි එළවළු මාළු සති කිහිපයකට ම ගෙනවිත් තැබීමට පුරුදු වී ඇතත් එය එතරම් යෝග්‍ය වූවක් නොවේ. ශීතකරණයේ වැඩි කාලයක් ආහාර ගබඩා කිරීමෙන් ඒවායෙහි නැවුම් බව අඩුවන අතර ඒවායෙහි ඌෂ්ණ බවක් ද ඇති වේ. එවිට අප ආහාරයට ගන්නා ආහාරයෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යයි.

ආහාර කල් තබා ගැනීමට අපේ ම වූ ක්‍රම පෙර පැවැති අතර නැවතත් ඒවා ක්‍රියාත්මක කිරීමට කාලයයි මේ. නැවතත් අපේ දේ අගයමින් සිය රට දේ සිරි සැප දේ යන්න අරුත් ගැන්වීමට පැවැති වසංගත සමය ද ඉවහල් විය. නැවතත් දේශීය ආහාර රටාවට හුරුවෙමින්, කෘත්‍රිම දේ හැකි තරම් බැහැරකොට ස්වාභාවිකත්වයට ළං වී කටයුතු කිරීමෙන් ලැබූ නව වසර වාසනාවන්ත කරගැනීමට ඔබට හැකියාව ඇත.

 

 

 

උපදෙස් -

ආයුර්වේද වෛද්‍ය

දර්ශනී රාජේශ්වරී වත්තගේ