උත්තනාසන පෙණහලු සවිමත් කරනවා

ජුනි 9, 2021

 

*ස්වසන රෝගවලට ගොදුරු වීමට තිබෙන ඉඩ අඩුයි

*මේ ඉරියව්වේ යෙදිය යුත්තේ හිස් බඩින් පමණයි

*කොන්දට අනතුරක් සිදුවී ඇත්නම් මේ ව්‍යායාමයෙහි යෙදීම සුදුසු නැහැ

 

මාරාන්තික රෝගයකින් ලෝක වාසීන් බැට කද්දී තමන්ගේ පෙණහලු සවිමත්කර ගැනීම ඉතා වැදගත්. එය කෝවිඩ් සටන් බිමේ සියලු අවිවලින් සන්නද්ධ වීමක් වැනියි. පෙණහලු නිරෝගී නම් ආසාදන සතුරා පහසුවෙන්ම පරාජය කරන්න පුළුවන්.

නව කොරෝනා වෛරසය නැතත් විවිධ බාහිර දේ නිසා පෙණහලු ආසාදනය වීමේ ඉඩක් පවතිනවා. යෝගා අභ්‍යාස වල යෙදීමෙන් පෙණහලු සවිබල ගන්වනවා. එක් යෝගා ඉරියව්වක් සියලු ආයුධ එක් තැන් වුණු ආයුධ ගබඩාවක් වගේ.

හස්ත උත්තනාසන පෙණහලු සවිමත් කරන එක් ව්‍යායාමයක්. මෙය ඕනෑම කෙනකුට ඉතා පහසුවෙන් කළ හැකි ව්‍යායාමයක්. ඍජුව සිට ගෙන දෑත් හිසට ඉහළින් ඔසවන්න. අත්ල මුහුණට මුහුණලා සිටිනසේ තබා ගන්න. දණහිස් ඍජුව දෑස් විවෘතව තිබිය යුතුයි.

මෙය සූර්ය නමස්කාරයේ ද තිබෙන යෝගා ඉරියව්වක්. වෙනත් යෝගා ඉරියව්වක් කිරීමට පෙර සිරුර උණුසුම් කිරීමට ද උත්තනාසන යෝගා ඉරියව්ව යොදාගත හැකියි. මෙයින් ලබාගත හැකි ප්‍රතිලාබ බොහොමයි.

උත්තනාසන යෝගා ඉරියව්වෙන් උදරයේ මාංසපේශි හොඳින් ඇදෙනවා.

උරහිස් ඇදෙන අතර හොඳින් සවිමත් වෙනවා. දෑත් හා පාද ද සවිමත් වෙනවා.

පපු කුහරය විවෘත වෙන නිසා ස්වසන රෝගවලට ගොදුරු වීමට තිබෙන ඉඩ අඩුයි. උරහිස් සන්ධිය, ගෙල හා කොඳු ඇට පෙළ මනා ලෙස ක්‍රියාත්මක කිරීමට උදව් වෙනවා. දෙපා සවිමත් වෙනවා. කොඳු ඇට පෙළ සවිමත් වන අතර දෑත්වල ද නිරෝගී බව සුරැකෙනවා.

උදරයේ මාංසපේශීන් උත්තාසනයෙන් හොඳින් ක්‍රියාත්මක වන නිසා ජීර්ණය වැඩි දියුණු වෙනවා. පෙණහලු ක්‍රියාකාරී වීමෙන් ආසාදන වළක්වනවා. මෙය බර අඩුකර ගැනීමට උදව් වෙන ව්‍යායාමයක්. වෙහෙසට පත්වූ විටක උත්තනාසනයේ යෙදෙන්න. වෙහෙස සැණෙකින් දුරු වෙයි. උරහිස් එල්ලා වැටෙන ලෙස තබා ගැනීමට පුරුදු වූ අයට ඒ වැරැදි ඉරියව්වෙන් ඈත් වන්න මේ යෝගා ඉරියව්ව උදව් වෙනවා. රුධිර සංසරණ වැඩි දියුණු වීම රෝගවලින් ආරක්ෂා වීමේදී ඉතා වැදගත්. දවස පුරාම සවිමත්ව සිටින්න උත්තාසනය ප්‍රයෝජනවත් වෙනවා. මතක ශක්තිය දුර්වල වීම බොහෝ දෙනකුට ගැටලුවක්. ආතතිය දෛනික අර්බුදයක්. මේ සියල්ලටම උත්තාසනය හොඳ පිළිතුරක්.

මේ ඉරියව්වේ යෙදිය යුත්තේ හිස් බඩින් පමණයි. කොන්දට අනතුරක් සිදුවී ඇත්නම් මේ ව්‍යායාමයෙහි යෙදීම සුදුසු නැහැ. උකුළු සන්ධියේ, වළලුකරේ වේදනාවක් ඇත්නම් හර්නියා තිබෙයි නම් උත්තාසනයේ යෙදීමෙන් වළකින්න.

 

 

ප්‍රවීණ යෝගා උපදේශක

මෝහන හා මනෝ චිකිත්සක ආචාර්ය

චාමින් වර්ණකුල