සුරතල් දියණිය තනිකර දමා ජනප්‍රිය ඉංග්‍රීසි ගුරු පියා සහ බිරිය කෝවිඩ් මාරයාට බිලි වෙයි.

සැප්තැම්බර් 1, 2021

 

සැමියාගේ වියෝව ඇසීමෙන් මහත් කම්පනයට පත්වීබිරිය, අංජලීද අවසන් ගමන් ගොස් ඇත.

 

කොරෝනා මේ වෙනකොටත් අපේ රටම වසාගෙන, හිත්පිත් නැතිව ජීවිත අහිමි කරමින් ඉන්නවා. මේ වනවිට අපට අහිමි වී ඇති ජීවිත දහස් ගණනක්. පුංචි දරුවන්, තරුණ දරුවන්, වැඩිහිටියන් පමණක් නොව නූපන් දරුවකුත් මේ වනවිට මේ කෝවිඩ් මාරයා විසින් බිලිගෙන අවසන්. හිතක් පපුවක් නැති කුරිරු කොරෝනා ඒ විදිහට තවත් තරුණ අම්මකුගෙයි තාත්තකුගෙයි ජීවිත උදුරාගෙන ගිහින් තිබුණා. ඒ ඔවුන්ගේ පුංචි දරුවා මේ ලෝකේ තනිකර දාලා.

 

කොරෝනාවෙන් දිනකට අහිමිවන සිය ගණන් ජීවිත අතර කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ අසන්නට ලැබුණු ඒ අනුවේදනීය පුවත මුළු රටක්ම සංවේගයට පත්කරන සිදුවීමක් වුණා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කිරිබත්ගොඩ වාසිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරයකු ලෙස සේවය කළ 36 හැවිරිදි ධනංජය අනුරුද්ධ සහ 27 හැවිරිදි ඔහුගේ බිරියයි.

ධනංජය මහතා කොරෝනා ආසාදිතව ඉකුත් 22 වැනිදා මරණයට පත්වී ඇති අතර බිරිය අංජලී 25 දා අලූයම මෙලොවින් සමුගෙන තිබුණා.

ඔවුනගේ පස් හැවිරිදි දියණිය මේ වනවිට සිය ආදරණීය මව සහ පියා අහිමිව අසරණ වී සිටිනවා.

සිය හයවැනි විවාහ සංවත්සර සැමරුමට පෙර දින එනම් අගෝස්තු 24දා ජීවිතයට සමුදුන් දහස් සංඛ්‍යාත දරුවන්ට ඉංග්‍රීසි භා‍ෂාව ඉගැන් වූ අතිදක්ෂ තරුණ ගුරු පියකුගේ අභාවය සැලවීමෙන් ඔහුගේ මව්පියන්, සහෝදරයා සහ සහෝදරිය, සමීපතමයන් මෙන්ම දෙස් විදෙස් ශිෂ්‍යයන්ද විශාල කම්පනයකට පත්වී සිටී. කිරිබත්ගොඩ ජාතික  නිවාස ක්‍රමයේ පදිංචිව  සිටි ධනංජය අනුරාධ තරුණ ගුරු මහතා ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ප්‍රසිද්ධියට  පත්  අයෙකි. කිරිබත්ගොඩ  වාසිටියේ සතියේ දින පහේම අපොස සා. පෙළ හා උසස් පෙළ  සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන් වූ  ඔහු එම සිසුන් අතර වඩාත් ජනප්‍රිය චරිතයක් වී ඇත්තේ සැබැවින්ම  ඔහු තුළ තිබූ මානුෂික  ගුණාංගයන් නිසාය.

ධනංජය අනුරාධ මහතාගේ  වියෝව ඇසූ බිරිය එම කම්පනයෙන්ම ඔවුන්ගේ විවාහ සංවත්සරයදා එනම් 24 වැනිදා  අලුයම  2.00ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී  ඔවුන්ගේ එකම සිඟිති දියණිය තනිකර දමා මෙලොවින් සමුගෙන තිබීම සැබැවින්ම මේ දුක්බර සටහන තබන්නට හේතුවක්. මියගිය ධනංජය අනුරාධ මහතා සහ ඔහුගේ බිරියටත් පස් හැවිරිදි කුඩා දියණියටත් එකවරම උණ රෝගය වැලඳී ඇති අතර තිදෙනාම රාගම  ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් තිදෙනාටම

කොවිඩ්-19 වැලඳී ඇතැයි තහවුරු වී ඇත. එහිදී ලබාදුන් ප්‍රතිකාරවලින් දියණියට රෝගය සුව වූ නමුත් ඔවුන් දෙදෙනාට සුවයක් නොලැබුණු බැවින් ඔවුන් දෙදෙනා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට  තීරණය කර ඇත.

 

රාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික  රෝහලකට ඉකුත්දා 19දා නේවාසිකව  ප්‍රතිකාර ගැනීමට ඇතුළු වී ඇති ධනංජය සහ බිරිය 22 වැනිදා තෙක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර  ගෙන ඇත. 22 වැනිදා සවස 6.00ට පමණ ධනංජයට  හුස්ම ගැනීමේ  අපහසුතාව වැඩිවී ඇති අතර  ඔහුව රාගම පෞද්ගලික රෝහලෙන් වැලිසර කොවිඩ්-19 රෝහලට මාරු කර යවා ඇත. දහස් සංඛ්‍යාත දරුවන්ට පුරා වසර 15ක් ඉංග්‍රීසි  භාෂාව ඉගැන් වූ ආදරණීය ධනංජය සර් ජීවිතයෙන් සමුගෙන ඇත්තේ එදිනම රාත්‍රි  10.30ට වැලිසර  රෝහලේදී.

 

ඒ වන විට කොවිඩ්-19  රෝගියකු ලෙස සිය නිවෙසේ නිරෝධායනය වෙමින් සිටි අංජලී පෙරේරා සිය සැමියාගේ වියෝව ඇසීමෙන් මහත් කම්පනයට පත්වීමෙන් ඇයව ශ්‍රී ජයවර්ධනපුර  රෝහලට ඇතුළත් කර ඇති අතර 24 වැනිදා අලුයම 2.00ට පමණ  ඇයද අවසන් ගමන් ගොස් ඇත. මියගිය ධනංජය අනුරාධ ගුරු පියාණන්ගේ අවසන් කටයුතු 24 වැනිදා බියගම උඩුපිල, සියඹලාපෙවත්ත ආදාහනාගාරයේදී සිදුකර ඇති අතර ඔහුගේ බිරිය අංජලී පෙරේරාගේ ආදාහන කටයුතු 26 වැනිදා උදේ 10.30ට තලවතුගොඩ ආදාහනාගාරයේදී සිදුකර ඇත.

ධනංජය අනුරාධ මහතාගේ වියෝවෙන් තැවෙන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ හිතවතුන්  අතර සිටින ප්‍රවීණ ගණිත ගුරුවරයකු මෙන්ම මාධ්‍යවේදියකුද වන පියල් සෙනෙවිරත්න මහතා පැවැසුවේ “කොවිඩ්-19  මාරයා රැගෙන ගිය ධනංජය මිනිසත්කමින් පරිපූර්ණ  වූ අයෙක්. ධනංජය  කියන්නේ සුවහසක් දරුවන්ට තාත්තෙක්. එයා ඉගැන්නුවේ අපේ රටේ අනාගතේ භාරගන්න ඉන්න තරුණ පිරිසට. ඒ දරුවො අතර මගේ පුතා චමෝද් එක්කෙනෙක්.

වසර 15ක් කැප වුණේ දරුවන් අකැමැති වෙන ඉංග්‍රීසි භාෂාව ඔවුන්ට දෙන්න. දැනුම බින්දුවෙන් එන දරුවත් සුද්දෙක් වගේ භාෂාව හසුරුවන තත්ත්වෙට ගේන්න එයා දක්ෂයි. මේ පාඩුව මකන්න කාටවත් බැරිවේවි. අද මේ වෙනකොට ධනංජයගෙන් ඉගෙන ගත්ත ළමයි ලෝකේ රටවල්  පුරාම ඉන්නවා.

රටේ ලක්ෂ ගාණක්  දරුවන්ට උගන්නපු  මේ ගුරු පියාගේ එකම පුංචි සිඟිති ‍දෝණිට අද අම්මත් නෑ. තාත්තත් නෑ. කෝවිඩ්-19 ඇත්තෙන්ම  මාරයෙක්. මේ වගේ වටිනා ජීවිත රටට අහිමි වීම දරාගන්න බැරි පාඩුවක්” යැයි පියල් සෙනෙවිරත්න  මහතා පැවැසුවේ නෙතට කඳුළක් එක්කරමින්.

පුංචි දුවෙක් මේ ලෝකයේ තනි කරලා තරුණ මවයි පියයි යන්නම ගියා. ඒ අම්මා පණ අදින වාරයක් ගානෙම පුංචි දෝණිගෙ ඇස් දෙක මැවෙන්න ඇති. අම්මගෙයි තාත්තගෙයි මිනියවත් බලාගන්න බැරි වුණු මේ පුංචි දියණිය ගෙදර දොර ගාව තවමත් බලන් ඇති. මේ මේ ලෝකයේ තනිවුණු එකම දියණිය නොවේ. එකම දරුවාද නොවේ. තවත් කොතෙක් නම් දරුවන් මේ අපේ රටේ, මේ ලෝකයේ තනිවෙලා ඉන්නවද? කෝවීඩ් මාරයා තරා තිරම නොබලා අපගේ ආදරණීයන් බිලි ගනිමින් සිටියි. ඒ නිසා සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම සැමගේ යහපතට හේතුවක් වේවී.