වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සංවිධානාත්මක හැකියාව පොඩි පුතාට පෙර ආත්මේ ඉඳන් තිබුණ දෙයක්....
“මගේ මහත්තයා නැති වෙලා අවුරුදු 31ක් වෙනවා. එදා පටන්ම මේ දරුවෝ හයදෙනා ලොකු මහත් කරන්නෙ පුදුම මහන්සියක් ගත්තා. හැබැයි ඒ මහන්සියේ ප්‍රතිඵල මට ලැබුණා.
ඒත්... දරුවන්ගේ හැකියාව දැකලා සතුටු වෙන්න තරම් දැන් වාසනාවක් නැහැ. එක අතකින් මේ ගැන හිතනකොට හිත පැලෙන්න තරම් දුකක් දැනෙන්නේ... නමුත් මගේ පොඩි පුතා මේ තරම් දක්ෂයෙක් ද කියලා හිතෙනකොට හිතට දැනෙන්නේ අභිමානයක්. මේ සිද්ධිය ගැන ආපසු කල්පනා කරනකොට ජීවිතේ ලොකු හිස් බවක් දැනෙනවා.
රටක් රාජ්‍යයක් තරම් වටිනා තම පුතු අහිමිවීම හමුවේ ඇය තවමත් කම්පාවෙන් බලා සිටින්නීය. ලොවක් කම්පා කළ ප්‍රියන්ත කුමාරගේ ඝාතනයෙන් හරියටම සතියකට පසු මා ඔහුගේ දයාබර මෑණියන් වන දෝන මිලිනෝනා කිරිඇල්ල මාතාව සොයා ගියේ ඒ කඳුළට සැනසුමකි එක් කරමින් සත්‍ය ලොවට කියන්නටය. සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රවෘත්ති මවමින් සියල්කෝට් හිදී ඝාතනය කළ ප්‍රියන්ත කුමාර ගැන විවිධාකාර තොරතුරු පළවිය. එහෙත් ඔහු වැනි පරිපාලනයේ දක්ෂයකු ලොවට දායාද කරන්නට කැප වූ මෑණියන් හා දියවඩනගේ ජයවර්ධන පියතුමා ගැන සටහන් නොතැබීම විශාල අඩුවකි. වගකිවයුතු මාධ්‍යයක් ලෙසින් අප මේ සටහනක් තබන්නේ ඇයගේ කැපවීම හා උනන්දුවෙන් මෙවන් දරුවකු බිහි කිරීම ගැන සමස්ත මව්වරුන්ටම පූර්විකාවක් සපයන්නටය.
“මගේ සැමියා මිය ගියේ පිළිකාවකින්. එයා අවුරුදු දෙකක් ඒ රෝගය නිසා සෑහෙන්න දුක් වින්දා. මහත්තයා ඉන්න කාලේ නම් අපට ආර්ථික ප්‍රශ්න තිබුණේ නැහැ. එයා වාහනයක් හයර් කළා. ගොවිතැන් කරලා දරුවන්ට ඉගැන්නුවා. නමුත් ලෝකයම කඩා වැටුණා වාගේ එයා ලෙඩ වුණා. මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. දරුවන්ට උගන්වන්නත් තිබුණු නිසා මම ගාමන්ට් එකක රැකියාවට ගියා. ගිහින් තමයි දරුවන්ට ඉගැන්නුවේ. කිසිම දවසක කාගෙන්වත් වචනයක් අහන්නේ නැති වෙන්න දරුවන් හය දෙනාටම හොඳටම ඉගැන්නුවා. ඒ අයට සමාජයේ ඕනෑම තැනක ජීවත් වෙන්න පරිසරය හැදුවා. මගේ පුතාලා තුන්දෙනාම සිගරැට් එකක්, බියර් එකක්වත් බොන්නේ නැතිව හැදුවේ ඇස් දෙක වාගේ. ලොකු දුව මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණියක්. තව දුවක් ගෘහ නිර්මාණ ශිල්පිනියක්. දැන් මම ඉන්නේ පොඩි දුවගේ මේ ගෙදර. එයා රැකියාවක් කරන්නේ නැහැ. එයාගේ සැමියා වරායේ සේවය කරන්නේ. පුතාලා තුන්දෙනාම ගාමන්ට් ක්ෂේත්‍රයට යොමු වුණේ එයාලට ඉගෙනීමට ගැළපෙන රැකියාවක් ලැබුණේ නැති නිසයි. මුලින්ම දෙවැනි පුතා තමයි පකිස්තාන් ගාමන්ට් එකේ රස්සාවට ගියේ. ඊට පස්සේ තමයි පොඩි පුතාත් ඒ රටටම යන්න තීරණය කළේ. පොඩි පුතා පොඩි කාලේ පටන්ම ඉගෙනීමට හරිම දක්ෂයි. ඒ නිසා පවුලේ අනෙක් අයත් හරියට උදව් කළා. සැමියා මිය ගියාට පස්සේ මට ලොකු ශක්තියක් වුණේ පොඩි පුතා. එයා හරිම සංවිධාන්තමකයි. හැම වෙලේම හැම දෙයක්ම කරන්නේ හරිම පිළිවෙළට. ගමේ ක්‍රීඩා සමිති හදාගෙන, ගෙදර පුස්තකාලයක් හදලා පුදුම දක්ෂ විදිහට කාගෙත් හිත් දිනාගෙන තමයි හිටියේ. පොකුණ හංදියේ අපේ මහ ගෙදර අවුරුද්දට දරුවෝ ඔක්කොම එකතු කරලා විනෝද චාරිකා යනවා. අවුරුදු උත්සව, පිංකම් හැම දෙයක්ම සංවිධානය කරන්නේ පොඩි පුතා තමයි. මම හිතන්නේ ඒ හැකියාව එයාගේ පෙර ආත්මේ ඉඳන්ම තිබුණ දෙයක්. එයා කැම්පස් එකෙත් ඒ වගේම දක්ෂ ශිෂ්‍යයෙක් කියලා එයාගේ යාළුවෝ අපට කියලා තියෙනවා.“
කාන්ති, ඉන්ද්‍රානි, වසන්ත, කමලසිරි, කුමුදුනී, ප්‍රියන්ත යන දරුවන් හය දෙනාගේ ආදරණීය මෑණියන් ලෙසින් ඇය කළ කැප කිරීම හමුවේ ප්‍රියන්ත විශ්ව විද්‍යාල වරම් ලබන්නේ ඉංජිනේරු පීඨයටය. තම බාලම පුතා ඉංජිනේරුවකු ලෙසින් දක්ෂයකු වන බව ඇය නිසැක ලෙසම දැන සිටියේය. ඔහුගේ දක්ෂතාව හා මනුස්සකම් තුළින් දියවඩන පවුල තුළවූ සැබැඳියාව තව තවත් ශක්තිමත් වුයේ සහෝදර ප්‍රේමය වඩාත් සමීප වෙමිනි. ඒ සහෝදරත්වය ගැන කියන්නට ප්‍රියන්ත කුමාරගේ බාල සහෝදරිය වූ කුමුදුනී දියවඩන මේ හැඟුම්බර සංවාදයට එක්වූයේ තම සහෝදරයා පිළිබඳ මතකය ආවර්ජනය කරමිනි.
“පොඩි මල්ලි මාත් එක්ක තිබුණේ පුදුම සමීපකමක්. ඒක මම විවාහවුණත් අඩු වුණේ නැහැ. සුදු හාමිනේ... මම ලස්සන කෙල්ලෙක් දැක්කානේ... කියාගෙන ගෑනු ළමයෙක් දැක්කත් මට ඇවිත් කියන්න තරම් සමීප වෙලා හිටියේ. ඇත්තටම අපි හය දෙනාගෙම තිබුණු සහෝදර බැම්ම කිසිම දවසක බිඳෙන්නේ නැතුව තිබුණේ පොඩි මල්ලි නිසයි.
එයා ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න දන්නවා. එකමුතු කරන් Trip යනවා. එයා මැරෙන්න පෙර හැම අවුරුද්දකම අපි විනෝද ගමන් ගියා. ඇත්තටම එයාගේ කැම්පස් එකේ යාළුවොත් එදා අවසාන දවසේ කිව්වේ මල්ලිගේ Computer එකෙන් තමයි batch එකේ ඔක්කෝම වැඩ කරලා විභාග පාස් වුණේ කියලා. ඒ වගේ හිතවත්කමක් හැමෝටම තිබුණා. මට මතකයි එදා කැම්පස් යන්න තේරුණාම මට ඇවිත් කිව්වා දැන් මම තෝරගන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හොඳ රස්සාවක් කරන්න නම් Production Engineering කරන්න ඕනේ කියලා. අපි කිව්වා ඔයා කැමැති දෙයක් තෝරා ගන්න. අපට ඒ ගැන තේරුමක් නැහැනේ. කළමනාකරණය කියන දේ මල්ලිගේ ඇඟ ඇතුළේම තිබුණ දෙයක්. රාජ්කෝ කියන ෆැක්ටරිය අයිතිකාරයා එයාගේ මල්ලි ඉඳිද්දී අපේ මල්ලිට තමයි ෆැක්ටරිය භාර දීලා තිබුණේ. ඒ තරම් මල්ලි එයාට විශ්වාසයි.
පාකිස්තානයේ සියල්කෝට්වල මල්ලි හරි ප්‍රසිද්ධයි. දක්ෂතාව රබර් බෝලයක් වගේ මතුකරගෙන මල්ලි උඩට ආවේ පුදුම විදිහට. කමලසිරි අපේ පොඩි අයියා. එයාත් ලංකාවට ආවේ මාස දෙකකට කලින්.“
ප්‍රියන්තගේ අහිමිවීම හමුවේ ඔහුගේ බිරියට හා දරුවන්ට මෙන්ම දයාබර මෑණියන්ට ද දැනෙන දුක හා පාඩුව ඔහුට ලැබෙන වන්දි මුදලින් හෝ ශෝක ප්‍රකාශ හා කනගාටුව පළ කිරීමෙන් මකා දමන්නට නොහැකිය.
එදා දුක් විඳිමින් තම සැමියා ද නොමැතිව ඇති දැඩි කළ තම පුතු ඉතා කුරිරු ලෙස ඝාතනය කළ බව ඇය තවමත් රූපවාහිනියක දැක නොමැතිය. එසේ දැක්කොත් ඇතිවන හැඟීම කෙතරම්දැයි අප ඔබට පසක් කළ යුතු නොවේ. ඒ උදාර මිනිසා ගැන ඇය තුළ වූ හැඟුම් වාවා ගත නොහැකිව වචන එකිනෙක පිට කළේ මහමෙරක් තරම් වූ ගැඹුරු ස්වරයෙනි.
“මගේ පුතා ලෝකයට පාඩමක් ඉගැන්නුවා. පිට රටකින් පැමිණෙන කෙනකුට ආරක්ෂාව දීම ගැන ඒ රටට දැනෙන්න ඇති. එයාගේ වටිනාකම කොයිතරම් ද කියලත් පාකිස්තානයේ මිනිස්සුන්ට දැනුණා.
අවුරුදු 11ක් එකට හිටපු කෙනකුට මේ වගේ දෙයක් කරයි කියලා මගේ පුතා හිතන්න නැතුව ඇති. ඒ අයට නිසි දඬුවම් ලැබේවි.
පුතා මට පුදුම විදියට සැලකුවේ. එයා තමයි මගේ දුක සැප වැඩිපුරම බැලුවේ. ඒක අම්මා කෙනකුගේ ලොකු වාසනාවක්.
ඒත් එයා අපට අහිමි වුණු පාඩුව මකන්න බැහැ. අපි ඒ වෙනුවෙන් පිං අනුමෝදන් කරනවා. එයාට මේ දෙසැම්බර් 30 දාට අවුරුදු 49 යි.
එදාට පවුලේ ඥාතීන් එකතුවෙලා ජය ශ්‍රී මහ බෝධිය අසල පිංකමක් කරනවා. රුන්වැලිසෑය ළඟ බණක් කියනවා. කිරි පිඬු පූජාවක් තියලා, වියළි ආහාර පාර්සල් බෙදා දෙන පිංකමක් කරනවා. ඒ සඳහා රජයෙන් මඟපෙන්වීම ලැබෙනවා.
ඇත්තට අපේ පුතාගේ මරණය වෙනුවෙන් මුදලක් වියදම් කරන්න අපට තිබුණේ නැහැ. සියලු දේ පාකිස්තාන රජය සහ ශ්‍රී ලංකාවේ රජය විසින් ඉටු කළා. ඒ වගේම සියලු ආගමික නායකයෝ ශෝකය ප්‍රකාශ කරන්න පැමිණියා. මහා සංඝරත්නය විතරක් නෙවෙයි කතෝලික පියතුමන්ලා පවා විශාල පිරිසක් පැමිණීම ගැන අප ස්තුතිය පළකරනවා. අවසාන වශයෙන් අපේ පුතාගේ මරණයෙන් පස්සේ මේ මිනිසුන් පාඩමක් ඉගෙන ගත්තා නම් එය තමයි වටිනාම දේ.“ එසේ පවසමින් ඇය කඳුළු පිරි දෙනෙත ඈත අහස් කුස දෙස වෙත යොමා ගත්තේ ය.