‘මම ඒ දරුවගේ අම්මා’

ජනවාරි 24, 2022

බෙට්සි ස්ටර්න් සාක්ෂි අසුනින් නික්ම ගිය වහා ගැරී ස්කොලොෆ් කලින් සූදානම් කොටගෙන සිටි හඬ පටියක් උසාවියට ඇසෙන්නට සැලැස්වූයේය. ඒ මා ෆ්ලොරිඩා සිටියදි බිල් ස්ටර්න් සමඟ කළ දුරකථන සංවාදයකි.

මේ අතර ඔහු එම සංවාදයෙහි මුද්‍රිත පිටපත් මාධ්‍යකරුවන් අතටද පත් කළේය.

එදා රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ සෑම නාළිකාවකින්ම ප්‍රචාරය වූයේ මා හට අවාසි වන ආකාරයේ ප්‍රවෘත්තියකි. ඒ පුවත සැකසී තිබුණේ ගැරී ස්කොලොෆ් මාධ්‍යකරුවන් අතට බෙදා දුන් පත්‍රිකාව ආශ්‍රයෙනි.

මාස ගණනක් තිස්සේ ගැරී ස්කොලොෆ් උසාවියට ගෙනා හඬ පට ද රූපවාහිනී ප්‍රවෘත්ති ද යනාදී ඔවුන්ගේ නොයෙකුත් උපක්‍රම, විධික්‍රම හේතුවෙන් ඒ වනවිට මා සිටියේ හොඳටම හෙම්බත් වීය.

උසාවියේ පෙනී සිටින්නට නියමිත දිනට පෙර දිනය වනවිට මා සිටියේ මහත් වූ කලකිරීමකිනි. පසුදින, එනම් මා සාක්ෂි දෙන දිනයේදී පුවත්පත් වාර්තා දෙස බලන්නට පවා මම මැලිවූයෙමි. ඒවා කියවීමෙන් මා තවදුරටත් අධෛර්යමත් විය හැකිය.

මම සාක්ෂි සඳහා ඉදිරිපත් වී අදාළ ස්ථානයෙහි රැඳී සිටියෙමි. සෝර්කොව් විනිශ්චය අසුනේය. ඔහු දෙස බලද්දී මට දැනී ගියේ මගේ දෑත වෙවුලන්නා සේ ය. ඔහු ද එක එල්ලේ මදෙස බැලුවේය. මම වහා ඉවත බලා ගත්තෙමි. ඔහුගේ දෑසේ කිසිම තෙතමනයක් තිබුණේ නැත.

“ඔබේ දරුවා පිළිබඳව ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?“

මගෙන් විමසුවේ රැන්ඩි වුල්ෆ් ය. මගේ නීතිඥවරයා වූයේ ඔහු ය.

“මගේ දරුවා කියන්නෙ මගේ ජීවිතේ!“

මගේ කටහඬ පිටවූයේ ඉතා සෙමිනි. එය කෙඳිරිල්ලකට වඩා යාන්තම් ඉහළ තත්ත්වයකින් පැවතියා විය යුතුය.

“මම කතාවට ඒ තරම් දක්ෂ කෙනෙක් නෙමෙයි. නමුත් මම දරුවන්ට ඉතා හොඳ අම්මා කෙනෙක්. කිසි කෙනකුට ඒ හැකියාව මගෙන් අරගෙන ඉවතට වීසිකර දමන්ඩ බෑ. කිසි කෙනකුට බෑ.“ මම මගේ අදහස තිර කළෙමි. මා කතා කළේ මගේ හෘද සාක්ෂියට එකඟවය.

“ඉතා හොඳ මවක් හැටියට සාරාටත් අපූරු මවක් වීමේ හැකියාව සහ වුවමනාව මට තියෙනවා.“

“ඔය ඔබේ දරුවන් සමඟ සාමාන්‍යයෙන් යෙදෙන්නේ මොන වගේ ක්‍රියාකාරකම්වලද?

ඒ රැන්ඩිගේ දෙවැනි ප්‍රශ්නයයි.

“මම දේවස්ථානයට නිතිපතා දරුවන්ව එක්ක යනවා. අපි එහි පූජාවටත් සහභාගි වෙනවා. දරුවන් ආගමික උපදෙස් පන්තිවලටත්, පාපන්දු ක්‍රීඩා පුහුණුවටත් රැගෙන යනවා. මම නිතර දෙවේලේ දරුවන් ඉතා පිරිසුදුව තියාගන්නවා. මොන තරම් වැඩ තිබුණත් මම දරුවන් වෙනුවෙන් මවක් ලෙස කළයුතු යුතුකම් සියල්ල ඉටු කරනවා.

දරුවන්ට අසනීප වුණාම මම ඔවුන් ළඟින්ම ඉන්නවා. මම දරුවොත් එක්ක ගී ගයනවා. නටනවා. අපි එකතුවෙලා පියානෝ වාදනය කරනවා.

හැමදාම රෑට මගේ දරුවො කුස්සියේ මේසෙට වාඩිවෙලා ඒ අයගෙ ගෙදර වැඩ කරනවා. වුවමනා වුණාම මම එයාලට උදව් වෙනවා.“

“මේරි බෙත්.“

රැන්ඩි කතා කළේ කාරුණික හඬිනි.

“යම් විදියකින් ඔබට දරුවාගේ භාරකාරත්වය නොලැබුණොත් ඔබ දරුවා දකින්නට අවශ්‍ය බව කියා හිටිනවද?“

“ඔව්.“

මා කතා කළේ හැඟුම්බරවය.

“මම ඒ දරුවගේ අම්මා. මේ උසාවිය මට ඇයව දකින්න ඉඩදෙන කාලය සතියට මිනිත්තු දෙකක් වුණත් පැය දෙකක් වුණත්, දවස් දෙකක් වුණත් මම සාරාගේ අම්මා. මට ඇය නොදැක ඉන්ඩ බෑ.“

ක්‍රමයෙන් මගේ සිත ශක්තිමත් වෙමින් තිබිණි. ඒ අතර මගේ සාක්ෂි අවසන් වන්නටත් පෙර උසාවි ලිපිකරු, ලොරේන් ඒබ්‍රහම් අතට ලිය කියවිලි කිහිපයක් පත් කරනු මම දුටුවෙමි. ඒ ඇය විසින් කැඳවා තිබූ විශේෂඥවරුන් ගොනු කළ අදහස්ය.

එහි බලපෑම දෙයාකාරයකින් අහිතකර විය. උසාවිය මෙන්ම වාර්තාකරුවන් ද මගෙන් ප්‍රශ්න අසන්නට හෝ තව දුරටත් මට සවන් දෙන්නට උනන්දුවක් නොදැක්වීම ඉන් එකකි. මුද්‍රිත මාධ්‍යයෙන් පිටවූ පුවත්පත් වාර්තා සහ අනෙකුත් ලියකියවිලි ද හැමවිටම උත්සාහ කළේ මා හට අවමන් කරන්නටය.

පසුදා උදෑසන ‘වොෂිංටන් පෝස්ට්‘ පුවත්පත පවසා තිබුණේ මා මානසික ආබාධයකින් පෙළෙන ගැහැනියක් බවය.

පෙන්සිල්වේනියා වෛද්‍ය විද්‍යාලයෙහි මහාචාර්යවරයකු වූ මාර්ෂල් ඩී ෂෙච්ටර් මා පිළිබඳව මෙසේ පවසා තිබිණි.

“මේරි බෙත් දරුවන් නොමැති පවුලක් වෙනුවෙන් දරුවකු තනා දෙන්නට පොරොන්දු වූ නමුත් ඇය නැවතත් ඒ දරුවා ආපසු ඉල්ලා සිටී. ඇයට මිශ්‍ර පෞරුෂ ආබාධයක් ඇති බව පෙනී යයි. එය ප්‍රතිකාර කළ නොහැකි තත්ත්වයේ ආබාධයකි.“

'The Newark Star-Ledger' පුවත්පත් පළ කොට තිබුණේ මෙවැන්නකි.

“උසාවිය විසින් ඊයේ නිකුත් කරන ලද වාර්තා අනුව විශේෂඥවරුන් තිදෙනකුම පවසන්නේ ‘ස්ටර්න් යුවළ‘ වෙත දරුවාගේ භාරකාරත්වය හිමි විය යුතු බවය.

වයිට්හෙඩ් මහත්මියට, දරුවා දකින්නට ඉඩ ලබා දිය යුත්තේ ඇයට වසර පහක් පිරුණායින් පසුව බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.“

මා සාක්ෂි දීම හමාර කළ විගස ස්කොලොෆ් කණ්ඩායම අප වෙත තවත් පහරක් එල්ල කළේය.

ඔවුහු ‘ලී සෝක්‘ නමැති මනෝ වෛද්‍යවරයකු සාක්ෂි සඳහා කැඳවූහ.

‘ලී සෝක්‘ යනු 1975 වර්ෂයේදී ජනතාව අතර තදින් විවේචනයට බඳුන් වු පුද්ගලයකි.

ඔහුගේ පවුල් දරුවන්ගේ අයිතිය පිළිබඳව විභාග වූ නඩුවකදී ඔහු වෙත දියණියගේ සහ පුතාගේ යන දෙදෙනාගේම භාරකාරත්වය හිමි කෙරිණි. නඩු තීන්දුව දෙනු ලැබුවේ නිව්යෝර්ක් විනිශ්චයකරුවකු වූ ගයි රිබවුඩො විසිනි.

‘දරුවාගේ අනාගත රැකවරණය සහ සංවර්ධනය සඳහා මව්පියන් අතුරින් වඩාත් සුදුසු පුද්ගලයා‘ යන සංකල්පය යටතේ දෙදරුවන් හිමිවූයේ ඔහුටය. ඔවුන් එකී නිගමනයට එළැඹියේ ඔහු සතු වත්කම් තක්සේරු කරමිනි.

මීළඟ දිගහ ැර ැම ලබන සතියේ