‘අරුමැසි ප්‍රේමය’ එළි දක්වමින් ගීත රචනා කලාවට පිවිසි කමල් ශ්‍රී ලියනගේ

ජනවාරි 24, 2022

සංගීත ක්ෂේත්‍රය තුළ ද විප්ලවීය වෙනස්කම් ඇති යුගයක සුභාවිත ගී කලාව අස්වැද්දීමත්, ශ්‍රාවකයාගේ රසවින්දනය ශක්තිමත් කරලීමත් අරමුණින් කමල් ශ්‍රී ලියනගේ විසින් රචිත ගී පද සංකල්පනා එකතුව ‘අරුමැසි ප්‍රේමය‘ නමින් සංයුක්ත තැටියක් ලෙස එළිදැක්වීම 15 වැනිදා පස්වරු 2.00ට බලපිටිය පාලම අසල ගඟබඩ අසිරිය ‘කැප්ටන් මරීනා‘ හෝටලයේදී පැවැත්විණි.

ඒ අවස්ථාවේදී ‘කමල් ගී මල්‘ නමින් සංගීත ප්‍රසංගයක් පැවැති අතර මේ ඒ නිමිත්තෙන් ඔහු සමඟ කළ කෙටි පිළිසඳරයි.

‘‘ මම අධ්‍යාපනය ලැබුවේ කොග්ගල බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයෙන්. සාමාන්‍යපෙළ හදාරන යුගයේදී ලේක්හවුස් ප්‍රකාශනයක් වුණු යොවුන් ජනතා පුවත්පතින් ධර්මසිරි ගමගේ මහතා කොග්ගල පැවැත්වූ ‘යොවුන් පහන් වැට‘ දෙවැනි වැඩසටහනට සහභාගි වුණා. නිර්මාණ එවීමෙන් ලේඛන කලාවට ප්‍රවේශ වුණා. එයින් ලැබුණු පන්නරය නිසා ලේක්හවුස් ආයතනයේ මිහිර, දිනමිණ වගේ පුවත්පත්වලට නිරන්තරයෙන් ලිපි නිර්මාණ එක්කරමින් කුසලතා වර්ධනය කරගත්තා. දහම් පාසල් මට්ටමේ සිට ගීත රචනා කරමින් ජයග්‍රහණ කර තිබෙනවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ ව්‍යාපාරයට සම්බන්ධ වීමෙන් මගේ හැකියාවන් එළිදක්වාගන්න කටයුතු කළා. නිවේදන, කථික, කෙටි නාට්‍යය පළාත් මට්ටමේ ජයග්‍රහණ හිමිකර ගන්නත් හැකිවුණා. 2001 වසරේ යෞවන සම්මාන තරගාවලියේදී ළමා සාහිත්‍යපති සම්මාන උලෙළේදී ලංකාවෙන් දෙවැනි ස්ථානය හිමි කර ගත්තේත් මමයි.‘‘

පසුව ගුරු වෘත්තියට පිවිසෙන ඔහු වර්තමානයේ විදුහල්පතිවරයකු ලෙස කටයුතු කරන අතර ලේක්හවුස් ප්‍රකාශනයක් වන විදුනැණ අධ්‍යාපනික පුවත්පතේ කර්තෘ වරයා ලෙස ද කටයුතු කරයි.

‘‘ගුරු වෘත්තියේ තිස්වසරක අත්දැකීම් ඇති ඔහු ඉන් වසර 14ක් පුරාවට විදුහල්පතිවරයකු ලෙස කටයුතු කරයි. ‘‘මම දැනට ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ කරන්දෙනිය හිපන්කන්ද කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනවා. දරුවන්ගේ නැණස පෑදීමේ කටයුතු නිසා කාර්යබහුල මට නිර්මාණකරණයට අවස්ථාව නොලැබෙණු නමුත් පසුගිය කොරෝනා සමයේ ලැබුණු විවේකය ආශීර්වාදයක් කරගනිමින් ගීත 50ක් පමණ රචනා කළා.

මේ ගීත විශාරද නන්දා මාලිනී, විශාරද ජගත් වික්‍රමසිංහ, අසංග ප්‍රියමන්ත පීරිස්, චන්දන ලියනාරච්චි, රෝහණ බෝගොඩ, සෝමසිරි මැදගෙදර, ස්වර්ණලතා කවීශ්වර, කීර්ති පැස්කුවල්, රොහාන් ශාන්ත බුලේගොඩ, සමන්ත පෙරේරා, ලක්ෂ්මන් හේවාවිතාරණ සහ සුභානි හර්ෂණී මුතුකුමාරණ යන ගායක ගායිකාවන් අරුමැසි ප්‍රේමය සංයුක්ත තැටියට ගායනා කළා. ආචාර්ය රෝහණ වීරසිංහ, මහින්ද බණ්ඩාර, නවරත්න ගමගේ, රෝහණ බෝගොඩ, සමන්ත පෙරේරා, ලක්ෂ්මන් හේවාවිතාරණ සහ ඉන්දික රජින්ත යන සංගීතඥයන් විසින් මේ ගීත සංගීතවත් කර තිබෙනවා.‘‘

ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම් මහතා මුලසුන හෙබවූ මේ අවස්ථාවේ මහචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කර්නල් නිමල් දිසානයක මහත්වරු කෙට් දෙසුම් පැවැත්වූහ. කමල් ගීමල් ප්‍රසංගය සංගීතවත් කළේ විශාරද රෝහණ බෝගොඩ ප්‍රමුඛ රූපවාහිනී, ගුවන් විදුලි වාද්‍ය ශිල්පීන් විසිනි. නර්තනයෙන් මෙය විචිත්‍රවත් කළේ ක්‍රිසි ඩාන්සින් ස්ටූඩියෝ ය.

මේ වන විට කමල් ශ්‍රී ලියනගේ විසින් 1 - 5 ශ්‍රේණිවල දූ දරුවන්ට පොත් 200කට ආසන්න ප්‍රමාණයක් රචනා කර ඇත.

ඡායාරූප අනුරාධ ප්‍රියදර්ශන කරන්දෙණිය සමූහ

 

සටහන සඳුනි අරුමප්පෙරුමාච්චි