දවස් තුනකින් බොඳ වූ නිවුන් දියණියන් දෙදෙනකුගේ කිරි සිහිනය

ජනවාරි 31, 2022

 

“දුවලා දෙන්නාගේ මූණ දැකපු දවසේ මට දැනුණේ පුදුම සතුටක්. ලෝකෙම ඉන්න වාසනාවන්තම තාත්තා කියලයි මට හිතුණේ. දෙන්නම දුවලා නිසා හිතට බරකුත් දැනුණා. මම නිල්මිණීට කිව්වේ අපට මොන ආර්ථික ප්‍රශ්න තිබුණත් දුවලා දෙන්නට උගන්වමු කියලා. ඒත්... ඒ හීනය දවස් තුනෙන් බොඳවෙලා ගියේ හිතාගන්නත් බැරි විදිහකට.“

ලෝකයේ වටිනාම සම්පත වූ දරු සම්පත දෝත දරා නිවුන් දරුවන් දෙදෙනකු මෙලොවට දායාද කළ රිදීගම දිනුෂිකා නිල්මිණී කුමාරි මෙලොව හැර යන්නේ දරුවන් ඉපදී දින 14ක් ගත වූ පසුවය.

දහසක් වූ ආර්ථික ප්‍රශ්න මැද ආදර සෙනෙහසින් පිරී ගිය මාතලේ උල්පත මඩවල සුමිත් කුමාර කරුණාරත්න හා දිනුෂිකා නිල්මිෙණී කුමාරි යන දෙදෙනාගේ පුංචි පැල්පත කිරි සුවඳින් පිරී ගියේ සියලු ආර්ථික ප්‍රශ්න යටකරගෙනය. ආදර සම්බන්ධතාවයකින් හමු වු නිල්මිණි හා සුමිත් දෙදෙනා වයස අවුරුදු 32 දී විවාහ ගිවිස ගත්තේ පැමිණෙන ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ අපේක්ෂාවෙනි.

ඔවුන් පැතූ ලෙසින්ම ප්‍රාර්ථනා සඵල කරමින් දෙදෙනාගේ කැදැල්ලට දරු පැටව් දෙදෙනකුම එක්වරම එක්විය. කුලී රැකියා කරමින් ජීවත් වූ සුමිත් ජීවිත අරගලයට පණ දුන්නේ මහත් වීරියෙනි. ඇඟළුම් කම්හලක සේවය කළ නිල්මිණි ද රැකියාවෙන් ඉවත් වී දරුවන් වෙනුවෙන් කැප වෙන්නටම සිහින දැක්කේ දින සති මාස ගෙවමිනි. උඳුවප් මහේ සීතලත් සමඟ දරු පැටව් දෙදෙනා මෙලොව එළිය දුටුවේ දෙසැම්බර් 16 දින සීසේරියන් සැත්කමකිනි.

දෙදෙනාම දියණියන් වූ කැදැල්ලේ සිරිය උතුරා ගලද්දි මඩවල උල්පත නිවෙසට නිල්මිණි ආපසු පැමිණ ගතවූයේ දින තුනකි. ඉතාම නිරෝගීව සිටි ඇය හතරවැනි දිනයේ මධ්‍යම රාත්‍රියේදී අසනීප විය.

“හතරවැනි දවසේ නිල්මිණි හදිසියේම හොඳටම අසනීප වුණා. සුව සැරිය ඇම්බියුලන්ස් එකක් ගෙනැල්ලා ඉක්මනට එයාව මාතලේ මහ ඉස්පිරිතාලෙට ඇගෙන ගියා. හිතා ගන්න බැරි විදිහට එයා අසනීප වුණා. ඇහැක්වත් ඇරියෙ නැහැ. එයා දවස් 14ක් දැඩි සත්කාර ඒකකයේ හිටියේ. අන්තිම දවස් වෙනකොට එයා හුඟක්ම දුර්වල වෙලා ජනවාරි 14 වැනිදා දරුවෝ දෙන්නයි මාවයි තනි කරලා ගියා...“

ඔහුට කියාගත හැකිවූයේ එපමණකි. නිල්මිණි මිය ගිය පසු ඇය මිය යාමට හේතුව මොලයට විෂබීජයක් ඇතුළුවීම බවට පශ්චාත් මරණ පර්යේෂණයෙන් හෙළි වී තිබේ. සැබැවින්ම තම බිරිඳට සිදුවූයේ කුමක්දැයි සුමිත්ට තවමත් සිතාගන්නවත් බැරිය. එහෙත් දරුවන් නොමැති වු දරු සිඟිත්තියන් දෙදෙනකුගේ වගකීම ඔහුගේ උරහිස මත පැටවී තිබේ. මාසයකුත් දින කිහිපයක් දැනට ගෙවී ඇති සිඟිත්තෝ දෙදෙනා කිරි ඉල්ලා හඬනවිට මව් සෙනෙහස ලබා දෙන්නේ සුමිත්ගේ සහෝදරයන් දෙදෙනාගේ බිරියන් දෙදෙනාය. එසේම සුමිත්ගේ මව ද රෝගාතුරව සිටියත් ඔහුට මහ මෙරක් සේ උදව් උපකාර කරයි. මව්කිරි සොයන දිනුති ආත්මා හා දිනෙති අසේරා දියණියන්ගේ පහස පිටිකිරි බෝතලයකින් නිවා දැමුවත් මවකගේ උණුසුම පුංචි අම්මලාට දෙන්නට නොහැකි වෙයි. දරු දුක දන්නා අසල්වාසී සියලු දෙනාම සුමිත් කුමාරට උපකාර කිරීමට ඉදිරිපත්වීම ඔහුට විශාල ශක්තියකි. හරිහැටි නිවහනක් නොමැති ඔහුට පුංචි කැදැල්ලක් තනා දෙන්නට ද පින්සිත් ඇති හිමිනමක් ඉදිරිපත්ව සිටින බව ඔහු අපට පැවසුවේ මහත් භක්තියෙනි.

“ඇත්තටම නිල්මිණි මියගිය දවසේ පටන්ම මට හැම කෙනෙක්ම උදව් උපකාර කරන්න ඉදිරිපත් වුණා. ඒක මට විශාල හයියක්. කුලීවැඩක් කර ජීවත් වුණු මට දරුවෝ හදාගන්නේ කොහොමද කියලා හිතනකොට හදවත පැලෙන්න වේදනාවක් දැනෙනවා. නිල්මිණි ජීවත්වෙලා මම මැරුණේ නැත්තේ ඇයි කියලා මම දෙයියන්ගෙන් උදේ හවස ඇහැව්වා. දැන් එයාගේ ලොකු ආසාවක් තිබුණා දුවලා දෙන්නාට උගන්වලා අපි වගේ දුක් විඳින්නේ නැතුව ජීවත්වෙනවා දකින්න. ඒ අපේක්ෂාව කොහොම හරි මම ඉෂ්ඨ කරනවා.“

ඔහුගේ ආත්ම විශ්වාසය අපමණය. එය දහසක් පියවරුන්ට ද ආදර්ශයකි. අම්මා නැති ලොව දරුවන්ගේ සුවය හදන්නට කැපවෙන මේ ආදරණීය පියාට ඔබත් වචනයක් කතා කරන්න. එය ඔහුට විශාල ශක්තියකි. හැකි පමණින් ඔහු හට උපකාරයක් කරන්න. එය ඔහුටත් කිරිකැටි සිඟිති දියණියන් දෙදෙනාටත් මෙවැනි කාලයක ඉතාම ශක්තියකි.

සුමිත් කුමාරගේ දුරකතන අංකය - 0773938802

 

 

තොරතුරු සහ ඡායාරූප

දඹුල්ල කාංචන කුමාර ආරියදාස