වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පෞද්ගලික ජීවිතයයි ක්‍රීඩා ජීවිතයයි එකට පටලවා ගන්න මම කැමැති නැහැ
අන්තර් ජාතික කාන්තා දිනය හෙටයි. සමස්ත ලෝකවාසී කාන්තාව වෙනුවෙන්ම වෙන් වූ, කාන්තාව ගැන වැඩි අවධානයකට ලක් කෙරෙන දිනයකි මේ. කාන්තා පුවත්පතක් වූ නිසාම තරුණීට ද මේ දිනය වඩාත් විශේෂිත වේ. කවදත් ශ්‍රී ලාංකේය කාන්තාව පිළිබඳ මහත් අභිමානයෙන් කතා කරන, අගය කරන අප මේ කාන්තා දිනයේ දී ද වඩාත් සුවිශේෂී කාන්තා චරිතයක් සමඟ කතාබහ කරන්නට සිතුවා.
ඇය අපේ රට තුළ ජනප්‍රිය චරිතයක් පමණක් නොව ශ්‍රී ලංකා නාමය අන්තර් ජාතිකව ඔසවා තැබූ අපූරු කාන්තාවකි. විශේෂයෙන්ම මේ රට විදේශිකයන් අතර වැඩි අවධානයකට ලක් කළ ක්‍රිකට් ක්‍රීඩාව ඇසුරේ ඇයගේ නාමය ඉහළින්ම සනිටුහන් වේ.
එමෙන්ම ක්‍රිකට් තරගයකදී ශතකයේ සීමාව පසු කළ පළමු සහ එකම ලාංකික කාන්තාව වීමේ ගෞරවය හිමි කරගත් ඈ විදෙස් ක්‍රිකට් තරගාවලියක විදෙස් කණ්ඩායමක් නියෝජනය කිරීමට කැඳවූ ප්‍රථම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩිකාවද වන්නීය.
2014 වර්ෂයේ සිට ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය උසුලන චමරි අතපත්තු නම් වූ ඇයයි අද අපේ මේ සුවිශේෂී කතාබහට එක්වන්නේ.
* ක්‍රිකට් පිත්ත හරිහැටි ඔසවා ගන්නටත් බැරි වයසකදී තමයි චමරි කියන පුංචි කෙල්ල ක්‍රිකට් ගහන්නට පෙළඹෙන්නෙ. අන්න ඒ පුංචි කාලය ගැන මතකය අවදි කරමු.
“ඇත්තටම ඔව්. අවුරුදු හතරක් වාගේ පුංචිම කාලේ ඉඳන් තමයි මම ක්‍රිකට් ගහන්න පුරුදු වුණේ. සහෝදර, සහෝදරියන් කවුරුත්ම නැති පවුලේ එකම දරුවා වුණු මගේ මේ සෙල්ලමට එකතු වුණේ අහළ පහළ ගෙවල්වල හිටපු මගේ යාළුවෝ. මගේ මාමා කෙනෙක් හිටියා චන්ද්‍රා දිසානායක කියලා ක්‍රිකට් පුහුණුකරුවෙක්. පුංචි කාලේ ඉඳන් මගේ දස්කම් හඳුනාගත්තු ඔහු තමයි මේ තරම් දුරක් එන්නට මට උදව් වුණේ. අවාසනාවකට අද දවසේ මගේ දක්ෂතා දකින්න ඔහු ජීවතුන් අතර නැහැ.“
* ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්න ඔබට යම් උත්තේජනයක් සැපයුවේ මේ මාමා.
“පුංචි කාලේ ඉඳන්ම මට ක්‍රිකට් ගැන තිබුණේ පුදුමාකාර උණක්. විශේෂයෙන්ම 1996 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනාගනිද්දි ඒක රූපවාහිනියෙන් නැරඹුවේ හරිම ආසාවෙන්. දවසක් මාමා මට කාන්තා පුවත්පතක මගේ මතකයේ හැටියට තරුණී පත්තරේ තිබුණු අපූරු නිව්ස් එකක් පෙන්නුවා. එහි තිබුණේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙන්න සූදානම් වෙනවා කියලා. මේ නිව්ස් එක පෙන්නලා මාමා කිව්වේ ඔන්න චාන්ස් එක. ඔයත් මේ ටීම් එකට එකතු වෙලා ලෝකයට වැඩ පෙන්නන්න කියලා. ඇත්තටම ඒ වචන මට පුදුමාකාර හයියක් වුණා.“
* හැම වෙලාවෙම ක්‍රිකට් පිත්ත අතේ තිබුණට ඔබ ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වුණා.
“අපේ තාත්තා මට කිව්වෙම අධ්‍යාපනයයි, ක්‍රීඩාවයි දෙකම බැලන්ස් එකේ කරනවා නම් විතරයි ක්‍රිකට් ගහන්න අවසර දෙන්නෙ කියලා. ශිෂ්‍යත්වය සමත් වෙලා ගොකරැල්ල විද්‍යාලයෙන් වෙනත් පාසලකට යන්න වුණහම මට ඕනේ වුණා කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කරන පාසලකට යන්න. ඒ වෙනකොට නුවර, කෑගල්ල පාසල්වල ක්‍රිකට් තිබුණත් පවුලේ එකම දරුවා වුණු මාව දුරබැහැරක තැනක නවත්වන්න අම්මයි, තාත්තයි කැමැති වුණෙත් නෑ. ඒ නිසා ළඟම ක්‍රීඩා පාසල වුණු ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට මම ඇතුළත් වුණා.
* ඒ ගමන ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්.
“ඇත්තටම ඔව්. ඉබ්බාගමුව පාසල තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. මට මතකයි මම ඒ පාසලට ගිය මුල්ම දවස. එදා පාසල් නිවාස තරගවලට ළමයි සූදානම් වෙනවා. මේ ළමයි අතරේ ක්‍රිකට් ගහන ගෑනු ළමයිත් හිටියා. ඒ කියන්නෙ පාසලේ පාසල් කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් තියෙනවා කියලා දැනගත්තු මොහොතේ මට දැනුණු සතුට කියාගන්න බෑ. අන්තිමට මම මේ ටීම් එකේ නායිකාව වුණා විතරක් නෙමෙයි පාසල් යද්දිම ජාතික සංචිතයට ඇතුළත් වෙන්නත් වාසනාවන්ත වුණා.“
* 2008 වසරේ දී තමයි ඔබ කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්නෙ. හැබැයි ඔබේ පළමු තරගය සියැසින් දකින්න තරම් පියා වාසනාවන්ත වුණේ නෑ.
“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වුණු මගේ අප්පච්චි පුදුම විදිහට මට ආදරය කළා. මා වෙනුවෙන්, මගේ ක්‍රිකට් වෙනුවෙන් මහන්සි වුණා. මාව කොළඹට පුහුණුවීම් වලට උදේ, සවස රැගෙන ආවේ ඔහු. දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය බලන්න හරිම ආසාවෙන් හිටියේ. ඒ දවස්වල අප්පච්චි මාව පාන්දර 3.00ට නාරම්මලට එක්කගෙන ඇවිත් චමරි පොල්ගම්පල අක්කාට බාර දෙනවා. එතැන ඉඳන් අපි දෙන්නා බස් එකේ කොළඹ එද්දි ඔහු නෑයකුගෙ ගෙදරට වෙලා ඉන්නවා. රෑ වෙලා මම ආවහම මාත් එක්ක ආපසු ගෙදර යනවා. එක දවසක් උදේ මාව බස් එකට ගොඩ කරපු අප්පච්චිට පපුවේ අමාරුවක් හැදිලා. මම ගෙදර යනකොට ඔහු අවසන් ගමන් ගිහින්.“
* ඒ මානසික පීඩාවත් එක්ක ඔබ තාවකාලිකව කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් සමුගන්නවා.
“තාවකාලික සමුගැනීමකට වඩා ඇත්තටම කිව්වොත් මට කර කියාගන්න දෙයක් නැති වෙනවා. මොකද පාන්දර 6.00 වෙනකොට මම කොළඹ තියෙන පිට්ටනියක පුහුණුවීම් කරන්න ඕනේ. අප්පච්චි තමයි ඒ වෙනකම් මාව ගෙනාවේ. ආපසු ගෙදර යනකොට මහ රෑ වෙනවා. මාව හැමදාම කොළඹට අරන් එන්න අම්මාට බැහැ. පාසල් යන ළමයෙක් නිසා තනියෙන් එන්නත් බෑ. ඔය වාගේ ප්‍රශ්න නිසා මට ජාතික සංචිතයේ පුහුණුවීම්වලට එන්න බැරි වුණා.
අවුරුද්දකට විතර පස්සෙ ආපසු ඔබට කණ්ඩායමට කැඳවනවා.
“ඔව්. මම කොළඹට නාවත් පාසල් කණ්ඩායමට සෙල්ලම් කළා. කුරුණෑගල තරුණ කණ්ඩායමට සෙල්ලම් කළා. දක්ෂතා දක්වද්දි මට ජාතික කණ්ඩායමට නැවත කැඳෙව්වා. ඉතින් ලැබුණු දෙවැනි අවස්ථාව මඟහරින්න මම කැමැති වුණේ නෑ.“
* හැබැයි ඒ ගමන ලෙහෙසි පහසු වුණේ නෑ.
“ඒ දවස් ගෙවුණේ කොහොමද කියලා තාම මම හිතනවා. පාන්දර 2.00ට නැඟිටලා අනුරාධපුරයේ ඉඳන් එන බස් එකක එල්ලිලා මම කොළඹ එනවා. ආපහු කොළඹින් පිටත් වෙන්නේ හවස 6.30ට විතර. ගෙදර යනකෙට රෑ 9.00 - 10.00 වෙලා. ආයෙත් පාන්දර 2.00ට එනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ටී ෂර්ට් එකයි, බොටමයි ඇඳලා උස්සගන්න බැරි තරම් ලොකු බෑග් එකකුත් අරගෙන දවස ගානේ කොළඹ එන මාව ඒ කාලේ බස්වල රියදුරන්ට සුපුරුදු දසුනක්. ඒ අය මට හරියට උදව් කරනවා බෑග් එක පවා දමාගන්න. සෙනඟ වැඩි දවස්වලට සමහර රියැදුරන් එයාලගේ සීට් එක පැත්තෙන් නැඟලා ඇතුළට රිංගාගන්න ඉඩ දුන්නු අවස්ථාත් බොහෝමයි.
* ඔබේ පළමු විදෙස් සංචාරය සිදු වෙන්නෙ අ. පො. ස. උසස් පෙළ විභාගය ආසන්නයේ.
“මගේ පළමු සංචාරය එංගලන්තයට ගියේ විස්සයි විස්ස මැච් එකට. මම සංචාරයට කළින් අපේ විදුහල්පතිතුමිය හමුවුණහම ඇය කීවෙ “චමරි ක්‍රිකට්වල ඔයාගේ දක්ෂතා පෙන්වන්න තියන අවස්ථාව නැතිකරගන්න එපා. හැබැයි පොත් ටික අරන් ගිහින් විවේක වෙලාවට පාඩම් කරලා විභාගයට ලැහැස්ති වෙන්න කියලා.“ ඉතින් විභාගයට දවස් තුනක් තියෙද්දි ලංකාවට ආපු මම වාණිජ අංශයෙන් සම්මාන තුනක් සහිතව විභාගය සමත් වුණා.“
* ඔබේ හොඳම ඉනිම ගැනත් අපි කතා කරමු.
“ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් ලබා ගත්තා. බෝල 144කට තමයි මම ඒ ලකුණු ලබා ගත්තේ. ඒ මා ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය. ඊට අමතරව විස්සයි විස්ස තරගයකදී බෝල 63කට ලකුණු 113ක් ලබා ගත්තා. එයත් ඔස්ට්‍රේලියාවට එරෙහිව.“
* නිරන්තරයෙන් ක්‍රිකට් පිත්තට, පන්දුවට ආදරය කරන ඔබට වෙනත් විනෝදාංශ එහෙමත් ඇති.
“ක්‍රිකට් ගහනවා හැරුණු විට මගේ ලොකුම විනෝදාංශය තමයි සංචාරය. මට පුංචි විවේකයක් ලැබුණොත් කොහේ හරි ඇවිදින්න යනවා. සංචාරයකට ගියත් කොහොම හරි රටතොට බලන්න යන්න මම ආසයි. ඊට අමතරව මම හරියට චිත්‍රපටි බලනවා. පරණ ක්‍රිකට් මැච් බලනවා.
* ඉවුම් පිහුම් හැකියාව එහෙම කොහොමද?
“බොහොමයක් ගැහැනු ළමයි උයන්න, පිහන්න, මහන්න, ගොතන්න, මල් වවන්න වාගේ දේවල්වලට කැමැතියි. හැබැයි මගේ කැමැත්ත කවදත් තිබුණේ ක්‍රීඩාවට. පුංචි කාලේ නම් මට කිසිම දෙයක් උයා පිහාගන්න බෑ. අම්මා හරි තාත්තා හරි තමයි බත්ටික කැව්වෙත්. පස්සෙ රට රටවලට යන්න වෙද්දි, තනියම ඉද්දි උයාගෙන කන්න පුරුදු වුණා. බොරු කියන්නෙ මොකටද ඔය පොළොස් වාගේ දේවල් නම් හදන්න බෑ. අල, පරිප්පු, බිත්තර, පොල් සම්බෝල, නූඩ්ල්ස්, පැස්තා වාගේ දේවල් හදාගන්න පුළුවනි. කොහොමටත් මම විදෙස්ගත වෙලා ඉන්න කාලයේ මට අවශ්‍ය විදිහට කෑම සකස් කරගන්නවා.“
* ඔබේ ජීවිතයේ තෙවැනි දශකයත් දැන් උදාවෙලා. බොහොමයක් ගැහැනු ළමයින් මේ වයසේදී විවාහ ජීවිතවලට එකතු වෙලා. චමරිට මංගල සීනු හැඬවෙන්න තවත් කාලයක් යාවිද?
“පෞද්ගලික ජීවිතයයි ක්‍රීඩා ජීවිතයයි එකට පටලවා ගන්න මම කැමැති නැහැ. මොකද එතකොට මේ දෙකම හරියට කරගන්න බෑ. විවාහ ජීවිතයට ගියහම සැමියා, දරුවෝ, ඥාතින් ආදී වශයෙන් තවත් පිරිසක් අපේ ජීවිතවලට එකතු වෙනවා. ඔවුන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම්, වගකීම් තියෙනවා. එතකොට ක්‍රීඩාව පැත්තෙන් අපි අසාර්ථක වෙන්න පුළුවනි. ඒ නිසා මේ දෙකට හානි නොවෙන්න කටයුතු කරන්නයි මට අවශ්‍ය. ඉතින් තව වසර දෙකකින් වාගේ ක්‍රිකට්වලින් මම සමුගන්නවා. ඊට පස්සේ හොඳ බිරියක්, මවක්, ගෘහණියක් වේවි.“
* ඊට කලින් ක්‍රිකට් දිවිය තුළ ලබාගන්න දේවල් තියෙනවාද?
“මම‑ කාලයක් ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමුවැනියා වෙලා හිටියා. ඉතින් ක්‍රිකට්වලින් සමුගන්න කොට නැවතත් ඒ ස්ථානයේ රැඳෙන්න මම කැමැතියි. ඒ වාගේම ICC ‘වසරේ හොඳම ක්‍රීඩිකාව‘ වෙන්නත් ආසාවක් තියෙනවා. අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්වන මහේල, සංගක්කාර සහ මාලිංග අයියලා මේ සම්මානය හිමි කරගෙන තියෙනවා. ඉතින් ඒ ලැයිස්තුවට මගේ නමත් එකතු කරන්න පුංචි ආශාවක් තියෙනවා.“
සටහන
චම්පා වරුසප්පෙරුම