දෙව් ලොවක් ඇත මෙතැන එතැන පිටවලපතන

නොවැම්බර් 14, 2022

පෙරදා රාත්‍රියේ ඇදවැටුණු මද පුරුදු කෙඳි වැස්ස හරිත පලසට මුතුකැට පොදියක් එක් කොට තිබිණි. කුරුලු පිහාටුවක් වන් සුසිනිදු මෙන්ම අත්්‍යලංකාර වන මල් පලස මැදින් අපේ ගමන යෙදෙන්නේ මිහිදුම් සළුව ඉරා දමමිනි. හිරු එබෙන්නට කලියෙන් සදෙව් ලොව නැරඹීමට යාම අපගේ එකම අරමුණයි.ගමනේ අන්තය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ඇතත් අනපේක්ෂිත මිහිදුම් සළු මනාලියන් කුමන මොහොතේ අපේ බලාපොරොත්තුව සුන් කරලයිද යන්න සැක සහිතය.

කඳු මුදුනත සිට සකුණ ඇසකින් බලන්නකුට විචිත්‍රවත් චිත්‍රයක් මවන වංගු සහිත මං ඔස්සේ අපේ ගමනාන්තය වෙත ළඟාවිය යුතුය. මඟ දිග පිරි කුඩා දිය කඳුරු, සානු මෙන්ම නිම්නද ක්‍රමානුකූලව පසු කරමින් අප අපේක්ෂිත ගමනාන්තයටය යා යුතුය. ඔබද අප සමඟ මේ දෙව්ලොව සිරිය රිසිසේ විඳගැනීමට එක්විය යුතුමය.

අපේ ගමනාන්තය පිටවලපතනය.ශ්‍රී ලංකාවේ සුවිශේෂීම පරිසර පද්ධතියක් මෙන්ම අධි සංවේදී පරිසර කලාපයක් වන පිටවලපතනට ළඟා වීමට ඔබ පළමුවෙන් මාතලේ නගරයට පිවිසිය යුතුය. මාතලේ සිට පිටවලපතන සොයා ගැනීම දුෂ්කර නොවන්නේ ඒ තරමටම පතන මිනිසුන් අතර ජනප්‍රිය නිසාමය.මහියංගණය ප්‍රදේශයේ සිට පැමිණේ නම්, හෙට්ටිපොළ, ඇළහැර, ලග්ගල, පල්ලේගම හරහා ද පතන සිරි විඳගනු හැකිය. වෙනත් පරිසර කලාප පතන සුවිශේෂී පරිසර ලක්ෂණ විදහාපාන මෙන්ම ඓතිහාසික කරුණු කාරණා රැසක් සඟවා ගත් අමිල භූමියකි. හරිත විල්ලුද පලසක සිරි ගන්නා පතන සැබෑවටම කිවහොත් කඳු වළල්ලකින් වටවූ තැනිතලා අරුම පුදුම බිමකි. නකල්ස් කඳුවළල්ලේ පිහිටා ඇති මෙම පතන ශ්‍රී ලංකාවේ ඒකදේශික ශාක මෙන්ම සත්ත්ව වංශ රැසකට සුවදායී නවාතැන සපයයි. ශ්‍රී ලංකාවේ දුලබතම මාංශ භක්ෂක ශාක විශේෂ, වන කඳුලැස්ස, වටැස්ස, නිල් මොණරැස්ස මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික ගල්පර මැඩියා සහ මූකලන් හූණා මේ සුවිශේෂී බිමේදී අපට මුහුණට හමුවනු ඇත. නමුත් එළි බසින ගල්පර මැඩියන් හැර ගල්පර මැඩියන් සොයා ඔබ මේ බිම තුළ මෙහෙයුම් කිරීම බරපතළ වරදකි. මේ බිමේදී ඔබ අතින් විනාසවන ඕනෑම පැළෑටියක් හෝ සතකු මේ ලොව තුළ වාසය කරනා අවසාන ශාකය හෝ සත්ත්වයා විය හැකි බව මේ බිම තුළදී සිතට ගත යුතුමය.

ටිකට් පතක් මිලට ගැනීමෙන් පසුව ඔබ කුඩා පෙත්මං ඔස්සේ පතනේ අඩි තැබිය යුතුමය. වරෙක සුවදායක අනවසර සුළං රැළකින් අපට සංග්‍රහ කරන පතන තවත් වරෙක අපට ඔච්චම් කරන්නේ තුහිනයක් ගත මත පතිත කරමිනි.

මේ සියලු ආනන්දයන් විඳිමින් ඔබ මේ බිමේ ඔබමොබ රිසිසේ සැරි සැරිය යුතුමය. මෙම ගමනේදී හැකිතාක් ඔබේ හඬ පාලනය කළ හැකිනම් පරිසරය මැවූ බොහෝ සුසිනිදු නිමැවුම් ඔබට විඳගනු හැකිවනු ඇත.

මෙම ඓතිහාසික බිම බොහෝ ජනප්‍රවාද සඟවා ගත් බිමකි. රාවණා කතාව සමඟ සමීප නෑකමක් දක්වන පිටවලපතන රාවණාගේ දඬුමොණරය ගුවන්ගත කිරීමට යොදා ගත් බව ඉතිහාස ජනකතාවල කියැවේ. මේ ගැන දැන ගැනීමටත් ගමක සිරිය විඳ ගැනීමටත් ඔබ ඇටැන්වල ගම්මානයට යා යුතුවේ. එහි හමුවන නිර්ව්‍යාජ ගැමියන් පිටවලපතන ගැනත් රාවණා ගැන මෙන්ම ඔවුනගේ පරපුර ගැනද රස කතා ඔබට කියනු ඇත.

පිටවලපතන දිගේ ඇවිදින ඔබට කෙළවර තුරුවලින් වටවූ අඳුරු ප්‍රදේශය පසු කරත්ම පුංචි ලෝකාන්තය හමුවේ. ශ්‍රී ලංකාවේ පුංචි ලෝකාන්ත අතර විශේෂ තැනක් ගන්නා මේ පුංචි ලෝකාන්තය අසල ඔබ ප්‍රවේසම් විය යුත්තේ පරිසර සිරිසර ඔබ සිටිනා උස තැන පිළිබඳ අමතක කළ හැකි බැවිනි.

මේ සුන්දර නොකිලිටි බිමෙහි බොහෝ වේලා ගත කරන ඔබට කිසි දිනෙක නොවිඳි අමිල දුලබ දසුන්‍ රැසකින් නෙත් කූඩය පුරවා ගැනීමට අවකාශය ලැබේ.එසේ ගත මෙන්ම සිතද රිසිසේ සැහැල්ලු කරගන්නා ඔබ එය තවත් අයකුට දැක විඳගනු පිණිස ඉතිරි කළ යුතුවේ. මේ බිමට මෙන්ම අපගේ ධරණිතලයට ආදරය කරන ඔබ එම වගකීම අකුරට ඉටු කළ යුතුම වෙයි.

ඔබත් පවුලේ සැමත් එක්ව මෙම ගමන සංවිධානය කරනවිට ආහාර පාන ඇතුළු අවශ්‍ය සියලු දේ රැගෙන යාමට අමතක නොකරන්න.කුඩා දරුවන් රැගෙන යනවිට කුඩයක් සහ වැහි කබායක් අනිවාර්යයෙන් රැගෙන යන්න. අනවශ්‍ය පරිදි නොදන්නා මං ඔස්සෙ ගමන නවතන්න. එමෙන්ම අධික බෑවුම් සහිත බැවින් පුංචි ලෝකාන්තය අසල ප්‍රදේශයේදී ඉතාමත් සැලකිලිමත් වන්න. මේ කරුණු ද සිත තබාගනිමින් අපේ ඉඟිය ඔස්සේ ගමන අරඹන්න.ඔබට සුබ ගමනක්....

 

චාරිකාව චතුර ගීතනාත් බණ්ඩාර

 සමන්ත වීරසිරි