ඇයි කෙනෙක් තව කෙනෙක්ව හිර කරන්නේ?

මැයි 22, 2023

"ඔයාට කොටට ඇන්දහම කැතයි. අත්කපල අදිනකොට කිසි වැදගත් කමක් නෑ.

"ඒත් මං ඉස්සර ඉදන්ම ඇන්දෙ එහෙමනේ. මගෙ ළඟ තියෙන ඇඳුම් ගොඩක් ඒවා එහෙමයි."

"ඒ වුණාට ඔයාට තේරෙන්නෙ නෑ. ඔයාගෙ ඇඟට ඒවා කැතයි. ඒව ලස්සන අයත් ඉන්නවා. ඔයාට හරියන්නේ නෑ."

මේ වගේ දෙබස් ඔබ සමහරවිට අහල ඇති. මේ දෙබසින් කාරණා කිහිපයක් වටහාගන්න පුළුවන්. එකක්, ඔහු විශේෂයෙන් අකැමැතියි තම සහකාරිය එහෙම අදිනවට. අනිත් එක ඔහු ඔහුගේ මතයට ඇයව පාලනය කරන්න උපක්‍රමශීලී වෙනවා. ඇයගෙ ආත්මාභිමානය බින්දුවට ඇද දමන්න ඔහු සූක්ෂම ලෙස වචන හසුරුවනවා. ඒ තුළින් ඔහුට අවැසි දේ කරගන්න පහසු බව ඔහු දන්නවා.

ආදරේදී නීති දාන එක වැරැදියි කියලා මම කියන්නෙ නෑ.

ආදරණීය ලෙස දේවල් පහදා දීලා දෙදෙනාම අවබෝධයෙන් එකඟතාවයකට එන එකයි වෙන්න ඕනේ. නමුත් එහෙම වෙන අවස්ථා හරිම අඩුයි. බහුලව සිද්ධ වෙන්නෙ තමන්ට ඕනේ දේ කොහොමහරි කරගන්න අනෙකාගේ හැඟීම් ගැන කිසිම සහකම්පනයක් නැතුව ක්‍රියා කිරීම. සහකම්පනය කියල කිව්වෙ අනෙකාගේ හිතට දැනෙන දේ ගැන ඇති කාරුණික අවධානයට.

දැන් මම එන්නම්කො මාතෘකාවට. ඉහත උදාහරණයම අරගෙන ඒකෙ මනෝවිද්‍යාත්මක විග්‍රහය ඉදිරිපත් කෙළාත් අපිට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. හිතන්නකො, ඔහුගේ ප්‍රේමවන්තිය ලස්සනයි. සුදුයි. ඇය කොටට ඇඳලා අත්නැති ඇඳුමක් ඇන්දහම ඇය බොහෝදෙනාගෙ අවධානයට ලක්වෙන විදිහෙ පෙනුමක් ඇයට තියෙන්නෙ. හැබැයි විසසහිත සහකරු එහෙමත් නැතිනම් toxic පෙම්වතා කැමැති නෑ තමන්ගෙ ගෑහැණු ළමය දිහා කවුරුත් බලනවට. අපි මේවට කියන්නෙ relationship එකක red flags කියලා. මේ වගේ ගතිගුණ සාමාන්‍ය නැහැ. ඒත් ගැහැණු ළමයි හිතන්නෙ එයා මට ආදරේටනේ එහෙම කියන්නෙ කියලා. එයා තාත්තා කෙනෙක් වගේ මාව බලාගන්නවනේ කියලා. නමුත් එතැන හාත්පසින් සිද්ධවෙන්නෙ වෙනම දෙයක්. පිරිමි ළමයි උපතින්ම දක්ෂයි සැබෑ කාරණය හිත ඇතුළෙ තියාගෙන වෙනත් ස්වරූපයකින් ඒක එළියට දාන්න. මේ රැවටීමක්ම නෙමෙයි. ඒක පිරිමි ගතිය. ගෑනු ළමයි තමයි ගිරව් වගේ ඕනෙ එකයි එපා එකයි ඔක්කොම කියවන්නෙ. ඒකත් ඉතින් ගෑනු ගතිය.

මෙතැනදි පිරිමි කෙනා කැමති තම සහකාරියව තමාට පාලනය කළහැකි සීමාවක රඳවා ගැනීමට. ඒකට හේතුව තමයි තමාගේ මනසට වදයක් වෙන්නෙ නැති විදිහට අදාළ කාන්තාව තබා ගැනීම. එතැනදි ඔවුන් අඟවන්නෙ ඔයාට මගේ ආදරය ඕනෙ නම් මම කියන විදිහට ඉන්න කියන condition එක නොහොත් කොන්දේසිය. ඉතින් ගැහැනු එයාව නැතිවෙයි කියන බයට තමාගේ ආත්මය පීඩාවට පත් කරගෙන ඒ කොන්දේසියට එකඟ වෙනවා. මේක වෙන්නෙ ඍජු වචනවලින් නෙමෙයි. ගොඩක් වෙලාවට වෙන්නෙ වක්‍රාකාරයෙන්.

ඒ පුද්ගලයා mentally comfort zone එකක ඉන්නයි try කරන්නේ. මොකද එතකොට එයාට බයවෙන්න දෙයක් නෑ. අවධානම අඩුයි. ඉතින් තමන්ගෙ මානසික සුවපහසුව වෙනුවෙන් අනෙක් කෙනාව හිරකරලා තියාගන්න තමයි මෙහෙම කතා කිය කිය ඒ කෙනාව මනසින් වට්ටන්නෙ. මේ මානසික සුවපහසුව අත්විඳින්නේ ඔහු පමණයි. කාන්තාව ඉතා අසරණ තත්ත්වයට පත්වෙනවා.කාන්තාවගේ හැගීම් ගැන අල්පමාත්‍රයක්වත් නොහිතා තමන්ගේ මානසික නිදහස් බව විතරක් හොයන මේ වගේ පුද්ගලයො අපිට ඕනෙ තරම් මුණගැහෙනවා. මනෝ උපදේශන වෘත්තියේදි. ඇත්තටම මෙහෙම හිරවෙලා හිරවෙලා ජීවිතය එපා වුණ කාන්තාවන් සියදිවි නසාගත් අවස්ථා, මානසික අවපීඩනයට පත් වුණ අවස්ථා , කසාදයට තිත තියපු අවස්තා මෙන්ම අනියම් ආදරයක පැටලුණ අවස්ථා බොහෝ සෙයින් වාර්ථා වෙලා තියෙනවා. මේ කිසිම විකල්පයක් ඒ හිත්වලට සහනයක් ගේන විකල්ප නෙමෙයි. තවත් දුක්ඛිත අත්දැකීම් ලැබෙන මාර්ග විතරයි. මේ සියල්ලටම හේතුව red flag එක නොහොත් රතු එළි දැක දැක අනුවණකම නිසා වැරදි තීරණ ගැනීම.

විශේෂයෙන් කියන්න ඕනේ මෙහෙම වෙන්නෙ පිරිමි අතින් කාන්තාවන්ට විතරක් නෙමෙයි. කාන්තාවන් විසින් පිරිමින්ව මෙහෙම අපහසුතාවයට පත් කරන අවස්ථත් බහුලයි. තමන්ගෙ comfortable mentality එක වෙනුවෙන් පිරිමින්ව අනවශ්‍ය ලෙස පීඩාවට පත් කරනවා. යාලුවොත් එක්ක ගමනක් යන්න තහනම්. යාළුවො එක්ක සෙට් වෙනවට ඒක වළක්වන්න weekend එකේ හස්බන්ඩ්ව අරගෙන මහගෙදර යනවා. Office trip එකක් තනියම යන්න දෙන්නෙ නෑ. ඔෆිස් එකේ ගෑනු උදවිය එක්ක ගනුදෙනු බෑ. ගෑනු යාළුවො බෑ. මෙහෙම එක එක විදිහට කාන්තාවනුත් තමන්ගෙ mental comfort zone එකේ පිරිමි කෙනාව හිරකරගන්න එක එක උපක්රම යොදනවා. මෙතැනදි වෙන්නෙත් සබඳතාවය දුර්වල වීම. පිරිමිනම් හැබැයි මේ ආදරේටනෙ කරන්නෙ කිය කිය මනස්ගාත හිතන්නෙ නෑ. කෙළින්ම තේරුම් ගන්නවා මේ ගෑනු කෙනා toxic කියලා. එහෙම තැන්වල ගොඩක් පිරිමි ගිහින් නවතින්නෙ තාවකාලිකව හරි මනස සුවපත් කරන ආදරණීය වේශයෙන් දැනෙන ස්පර්ශයක් හා වචන ළඟ. එතකොට ආපහු බිරිය කන්කෙඳිරි ගාන්න පටන් ගන්නවා මං දරුවොත් එක්ක දුක් විඳිනවා. ගෙදර හැම දෙයක්ම කරනවා.මේ මනුස්සය වෙනුවෙන් මං නොකරන්නෙ මොනවද? ඇයි මේ මිනිහ වෙන ගෑනු පස්සෙ යන්නෙ ? කියලා.

ඔන්න ඔහොම ජීවිත පටල ගන්නෙ අපි අනෙකාගේ හැඟීම් සහ ඕනෑ එපාකම් ගැන නොසිතා තමන්ගේ comfort zone එක විතරක් හරියට maintain කරගන්න යෑමෙන්. මේක නොහිතාම සිද්ධවෙන දෙයක්. අපේ සහකරු හෝ සහකාරිය කියන්නෙ අපේ දේපළක් නෙමෙයි. අපිත් එක්ක ජීවිතේ බෙදාහදාගන්න ආදරණීය ගිවිසුමකට පැමිණි චරිතයක්. එයාගෙ මුළු ජීවිතේම පාලනය අපේ අතට ගන්න ගියහම සියල්ල අවුල් වෙනවා. අඳින විදිහ, ගමන් බිමන් යන විදිහ, කන බොන විදිහ, කතා කරන විදිහ, ආශ්‍රය කරන අය, රැකියාව කරන විදිහ, දෙමාපිය නෑදෑ බැඳීම් වගේ හැම දේටම අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න යෑම ඉතා නරක තත්ත්වයක්.

එහෙනම් වෙන්න ඕනෙ මොකක්ද? ආදරය හිතේ තිබූ පලියට, ඒ හැඟීමට ඇබ්බැහි වූ පලියට ජීවිතේ ගැන වැරදී තීරණ නොගෙන සිටීම. ඔබට දැනෙනවා නම් සබඳතාවය තුළ යම් අපහසුතාවක් දෙවරක් නොහිතා මේ පිළිබඳව වෘත්තීය සුදුසුකම් ලත් පුද්ගලයකුගෙන් උපදෙස් ලබාගන්න යොමුවෙන්න. එතැනදි ඔබට තේරුම් ගත නොහැකි දේ සඳහා උත්තර හොයා ගැනීමට පහසු වෙනවා. තවදෙයක්, බැන්දට පස්සෙ ඔක්කොම හරියයි කියන මතය සම්පූර්ණයෙන් හිතින් අයින් කරන්න. බැන්දට පස්සෙ තමයි ඔක්කොම නරක අතට හැරෙන්නෙ. මොකද ඒ කෙනාගෙ comfort mentality එක වෙනුවෙන් ලැබෙන හොඳම ආයුධය තමයි කසාද සහතිකය. එතකොට බය නැතුව තමන්ගෙ උවමනා වෙනුවෙන් කසාදය කියන ලියවිල්ල misuse වෙනවා.

 

 

අංජලි බුදවත්ත ජයවර්ධන

මනෝවිද්‍යා උපදේශිකා මාධ්‍යවේදිනී