වර්ෂ 2024 ක්වූ November 11 වැනිදා Monday
මාරඹ වැවේ නේක රටාවෙන් හැඩෙවන නෙත්මිගේ තොරණ
වැවක් මැද පුවක්ගස්වලින් නිර්මාණය කළ වේදිකාවක්. ඒ මත ගම් 18ක් එකතු වෙලා හදපු මහ තොරණක්. දශක ගණනාවක ඉතිහාස කතාවක්. මේක ටිකක් වෙනස් කතාවක්. ඔව්. මාතර අකුරැස්ස මාරඹ වැව මත ඉදිවන මේ මහ තොරණ රාජයා ගැන තියෙන්නේ අපූරු කතාවක්.
තොරණක් නැති වෙසක් ගැන හිතන්නවත් පුළුවන් ද? ජාතක කතා එක්ක බැඳිලා තියෙන තොරණ සංස්කෘතිය කවදත් නොනැසී ඒ විදිහටම වෙසක් සමය අලෝකවත් කරන්නේ ඒ නිසයි. ගොඩක් වෙලාවට මේ තොරණ සංස්කෘතිය එක්ක බැඳිලා ඉන්නේ... ඒ කියන්නේ තොරණ ගහන්නේ.. එහෙමත් නැත්නම් තොරණ එක්ක හරි හරියට වැඩ කරන්නේ පිරිමි පාර්ශ්වයයි. හැබැයි අද කියන්න යන්නේ තොරණක් එක්ක හරි හරියට වැඩ කරන ගැහැනු ළමයෙක් ගැන. එයාට තාම වයස 19යි. ඇය නෙත්මි භාග්‍යා දහනායක. මේ අපූරු තොරණ රාජයාගේ විදුලි ආලෝක රටා නිර්මාණය වන්නේ ඇය අතින්. ඉතින් ඒ අපූරු කතාව අපි ඇයගෙන් අසා දැන ගනිමු.
තොරණෙ වැඩකටයුතුවල තත්ත්වය දැන් කොහොමද?
සෑහෙන දුරට වැඩ කටයුතු අවසන්. චිත්‍ර ඇඳීම නිමකරලා ඉවරයි. එතකොට මාරඹ වැව මැද්දේ පුවක් කොට දාලා වේදීකාවක් නිමකර අවසන්. විදුලි රටා නිර්මාණයේ අවසන් අදියර කිහිපය තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වැඩ කටයුතුත් ඉක්මනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.
විදුලි රටා අලෝකකරණය කියන්නේ බොහෝ වෙලාවට පිරිමි පාර්ශ්වය සම්බන්ධ වෙන කාර්යයක්. ඉතින් ඔබ එවැනි ක්ෂේත්‍රයක් තෝර ගන්න හිතුවේ...
මූලිකම හේතුව තාත්තා. තාත්තා චමින්ද චානක. තාත්තා තමයි මේ තොරණට මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ. තොරණෙ සියලුම වයරින් වැඩ කරන්නේ තාත්තා. තාත්තා දිහා බලාගෙන ඉඳලම මටත් ඒ ආභාෂය ආවා කිව්වොත් හරි. හැබැයි ඒ කාලේ තොරණ්වලට යොදාගත්ත තාක්ෂණය ගොඩක් වෙනස්. දැන් තාක්ෂණය දියුණු නිසා හැමදේම පහසුයි.
මේ තොරණට යොදාගෙන තියෙන තාක්ෂණය ගැනත් අපි කතා කරමු...
කඨටහාරී ජාතකය තමයි මේ තොරණ හරහා ප්‍රදර්ශනය වෙන්නේ. අඩි 18ක් ගැඹුරු වැව් ජලය මතුපිට විශේෂ වේදිකාවක් මත නිර්මාණයවන මේ තොරණෙ ප්‍රමාණය උස අඩි 50ක් සහ පළල අඩි 50 ක් වෙනවා. එතකොට රූප රාමු 12ක් ඇතුළත් වෙනවා. තොරණෙ කතාව කියන්නේ ගුවන් විදුලි සංස්ථාවෙන් කරපු හඬ පටිගත කිරීමකින්. ජෙනරේටර් ආධාරයෙන් තොරණට විදුලිය ගන්න බලාපොරොත්තු වෙනවා. විදුලි අලෝක බල්බ් 46,000ක් යොදාගෙන තියෙනවා. මේ තොරණ ගොඩක් වෙලාවට ජලාශයක් මත ඉදිවෙන ලොකුම තොරණ වෙන්නත් පුළුවන්
ඔබේ අතින් නිර්මාණයවන විදුලි ආලෝක රටා කිරීම සිදු වන්නේ කොහොම ද?
මගේ ලැප්ටොප් පරිගණකයෙන් තමයි තොරණෙ ආලේක පද්ධතිය සකසන්නේ. සොෆ්ට් වෙයාර් දෙකක් ඇසුරෙන් ආර් ජී බී කලර්ස් යොදාගෙන මම ඒ ආලෝක පද්ධතිය නිර්මාණය කරනවා. වර්ණ 256ක් තියෙනවා. ඒ වර්ණවලින් ඕනෙ තරම් වර්ණ රටා නිර්මාණය කරන්න පුළුවන්. මම මේ හැමදේම ඉගෙන ගත්තේ යූ ටියුබ් එක ඇසුරෙන්. ඉතින් යූ ටියුබ් එකෙන් විස්තර හොයලා... මේ සම්බන්ධව ඉන්න ප්‍රවීණයන්ගෙනුත් විස්තර හොයාගෙන තමයි මේක මම ඉගෙන ගත්තේ. තාත්තත් මට සෑහෙන උදවු කළා.
මේ ගමන එන්න පාර කැපුවේ ඔබේ ආදරණීය පියාණන්...
තාත්තා මුලින්ම කළේ පහන් කූඩු හදන එක. 2011, 2017 වල එයා වෙසක් වෙනුවෙන් පහන් කූඩූ නිර්මාණය කළා. 2018 වසරේ එයා තොරණක් නිර්මාණය කළා. හැබැයි පාස්කු ප්‍රහාරය, කොරෝනා ඒ සේරමත් එක්ක ඒක ජනතාවට පෙන්නන්න ලැබුණේ නැහැ. ලක්ෂ 70 ක් විතර වියදම් කළා ඒකට. තාත්තගේ සල්ලි තමයි ඒකට වියදම් කළේ. ඊට පස්සේ තමයි මේ අවුරුද්දේ වැව මැද මේ තොරණ ගහන්න සැලසුම් කළේ. මේ තොරණ හදන්න පටන් අරගෙන මාස 4-5ක් වගේ වෙනවා. කරන්දෙණිය ඌරගස්මං හන්දියේ අජිත් කුමාර මෙහි චිත්‍ර නිර්මාණය කළා. වයරින් වැඩ ටික කළේ මගේ තාත්තා.
තොරණ හදන්න ගම් 18ක් එකතු වුණා කියන කතාව මොකක් ද?
තරුණ බෞද්ධ හා සුභසාධක සංගමය හා මාරඹ තොරණ කමිටුවයි සම්බන්ධ වෙලයි මේ තොරණ නිර්මාණය වෙන්නේ. අවට ගම් 18ක්ම මේ සංගම්වල සමාජිකත්වය අරගෙන ඉන්නේ. ඉතින් මොන වැඩක් කළත් ගම් 18 අය එකට ඉන්නවා. ගමේ හැමෝගෙම සහයෝගය මේ කට ලැබෙනවා. මේ අවට පන්සල් හතරක් තියනවා. ඒ පන්සල්වල නායක හාමුදුරුවරුත් මේ වැඩේට ලොකු සහයෝගයක් දෙනවා.
මේ තොරණට ලොකු ඉතිහාස කතාවකුත් තියෙනවා නේද?
1960 ගණන්වලටත් කලින් තමයි මාරඹ වැවේ තොරණ ගහන්න පටන්ගෙන තියෙන්නේ. ඊට පස්සේ හැම අවුරුද්දකම වෙසක් පෝයට එතැන තොරණ ගහලා තියෙනවා. ඒක අපේ සීයලගේ පරම්පරාවෙන් ආපූ දෙයක්. 1962 දී තොරණට මුදල් ආධාර දුන් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් තවමත් අපි ළඟ තියෙනවා.
හැම අවුරුද්දෙම වැව අයිනේ ගහපු තොරණ මෙදා සැරේ වැව මැදට ගේන්න හිතුවේ ඇයි?
ඒක වෙසක් සමරන, වෙසක් බලන්න එන අයට වෙනස් විදිහේ අත්දැකීමක් ගෙන දේවී කියලා අපි හිතුවා. හැමදාම හදපු තොරණට විශේෂත්වයක් එකතුකර ගන්නයි ඒ විදිහේ අදහසක් ක්‍රියාවට නැංවුවේ. වෙසක් ලබන්න කලින් ඉඳලම ඒ වැඩේට හොඳ ප්‍රතිචාර තියෙනවා. තාත්තගේ එකම ආසාවත්, එකම බලාපොරොත්තුවත් වැව මැද්දේ තොරණ ගහන එක.
ගමේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොම ද?
ගම් 18 හැමෝගෙන්ම සහයෝගයෙන් හැදෙන මේ තොරණ ඉදිකරන්න දවසට අවම වශයෙන් මිනිස්සු 50ක් පමණ වැඩ කරනවා. ඒ අය එන්නේ මුදල් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒ අය හරිම කැමැත්තෙන් තමන්ගේ ශ්‍රමය ඒ වෙනුවෙන් යොදවනවා. මේ වෙනුවෙන් පෞද්ගලිකව අපි මුදල් ප්‍රමාණයක් යොදවලා තියෙනවා. ඊට අමතරව ගමේ අය, අනුග්‍රාහකයින් සහ විදේස ගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුත් මුදල් පැත්තෙන් උදව් කරනවා. බෝඩ් සිදුරු කරන එකේ ඉඳන් බල්බ්වල තීන්ත ගාලා බල්බ් සවි කරන එක දක්වා හැමෝගෙන්ම උදව් ලැබෙනවා. හැබැයි මේ තොරණ තරම් මහන්සි වෙලා ගහන තව තොරණක් මේ ලංකාවේ නැතුව ඇති. මොකද මේ තොරණ ගහන්නේ වැව මැද්දේ. මැයි 23 වැනිදා සිට ජුනි 1 වැනිදා දක්වා මෙය මහජන ප්‍රදර්ශනයට විවෘතයි.
නෙත්මිගේ පවුලේ විස්තරත් මතක් කරමු.
තාත්තා චමින්ද ජානක දහනායක. අම්මා සංජීවනි සුභද්‍රා. මට නංගි සහ මල්ලි කෙනෙක් ඉන්නවා. එයාලා පාසල් අධ්‍යාපනය ලබනවා. මම උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. මුලින්ම මාරඹ ජාතික පාසලටත් ඉන් පස්සෙ මාරඹ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම මම පුංචි ව්‍යාපාරයක් කරගෙන යනවා ZIVINUS Craft නමින්. රේසින් අයිටම් ගිෆ්ට් බොක්ස් සහ බර්ත්ඩේ කේක් නිර්මාණය කරනවා. මගේ හීනය ව්‍යාපාරිකාවක් වීම. හැබැයි ඒ සියල්ලම අතරේ මගේ විදුලි රටාවලින් ආලෝකවන තොරණක් හැම අවුරුද්දක දැකගන්න ලැබෙයි.