වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අසීරුම තීරණ හරි විදිහට ගන්න
ඇත්තටම ජීවිතේ කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා, ජීවිත කාලයෙන් හතරෙන් එකක් හරි මේ වෙනකොට ජීවත් වෙලා ඉන්න අය දන්නවා. පුංචි කාලේ ගොඩක් අයට එහෙම අසීරු තීරණ ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ජීවිතේ ගොඩක් දුරට ඔටෝ ගෙවිලා යනවා. තමන්ගේ මව්පියෝ, භාරකාරයෝ අපිව බලාකියා ගන්නවා. හැබැයි අපි වැඩිහිටි ජීවිතේට පය තියනකොට, මේ කියන විදිහේ අසීරු තීරණ ගන්න වෙන අසීරු අවස්ථාවන් මතුවෙනවා.
දැන් එහෙම අවස්ථාවකදී හරිම තීරණය ගන්නේ කොහොමද? ආන්න ඒක තමයි කාරණාව. හරිම තීරණය කියලා එකක් නෑ. අපි ඇත්තටම එහෙම මොහොතකදී ගන්න ඕනෙ වඩාත්ම ප්‍රායෝගික, වඩාත්ම ඵලදායී, අඩුවෙන්ම හානිකර තීරණය. ඒක අපි කැමති තීරණය නොවෙන්න පුළුවන්. හැබැයි අපි අපේ ජීවිතේ අත්දැකීම් එක්ක, සමහර වෙලාවට අපි වටේ ඉන්න අයගේ අත්දැකීම් එක්ක තමයි ඔය කියපු තීරණය ගන්නේ. හැබැයි එහෙම අසීරු තීරණ ගන්න වෙන අවස්ථා අපේ ජීවිතේ මතුවෙනවා කියලා කලින්ම දැනගෙන ඉන්න එකෙන්, එහෙම අවස්ථාවන් ආපුවහම අපිට කලබල වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපිට පෙර සූදානමකින් ඉන්න හැකියාව ලැබෙනවා. ආන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ ටික ලියන්නේ.
මට වෙන්න ඕනෙ කවුද?
දැන් අපි පුංචි කාලේ කවුරුහරි ඇහුවහම “පුතාට, දුවට ලොකු වෙලා කවුරු වෙන්නද ඕනේ?” කියලා, අපිට ඒකට කියන්න දහසක් දේවල් තියෙනවා. “මට අජටාකාශගාමියෙක් වෙන්න ඕනෙ, මට දොස්තර කෙනෙක් වෙන්න ඕනෙ, මට ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙ” වගේ නොයෙක් දේවල්. හැබැයි ඉතින් පුංචි කාලේ ආසාවට කියන කතන්දර වගේ නෙවෙයි, අපි විශේෂයෙන්ම ඕලෙවල්, ඒලෙවල් එහෙම ඉවරවෙනකොට, අපිට ඔය වෘත්තිය අනාගතය ගැන සීරියස් විදිහට හිතන්න වෙනවා. ආන්න ඒක අපි අනාගතය වෙනුවෙන් ගන්න ඕන වැදගත් සහ අමාරුම තීරණයක්. විශේෂයෙන්ම ගොඩක් දේවල්වලට දක්ෂ කෙනෙක්ට මේ තීරණය තවත් අසීරුයි. අන්න ඒ නිසා, ඒලෙවල් කරන්න පටන් ගන්න කළින්ම තමන්ට අනාගතේ වෙන්න ඕනෙ කවුද කියලා හිතන එක තමයි හොඳ. එහෙම බැරි නම් අඩු තරමින් කැම්පස් යනකොට හරි. එතකොට, ආන්න ඒ තැනට ෆෝකස් වෙලා, තමන්ගේ ගමන පටන් ගන්න පුළුවන්!
හරි වෘත්තිය හරි වෙලාවට
මේකත් ඇත්තටම උඩින් කියපු කතන්දරේට සම්බන්ධයි. දැන් අපි හිතමු, ඒ ලෙවල් ඉවරවෙලා, සෙට් වෙන ස්ට්‍රීම් එකකින් කැම්පස් ගිහින්, ඊට පස්සේ ඩිග්රියට අදාළව හරි අදාළ නැතුව හරි සෙට් වෙන ජොබ් එකකට යනවා කියලා. මුලින් හම්බවුණු ජොබ් එකනේ. ආතල්. හැබැයි ඔය ආතල් එකේ ඔතනම දිගටම ඉන්නවා කියන්නේ, ක්‍රම ක්‍රමයෙන් අපි ඒකට හුරුවෙන්න පටන් ගන්නවා කියන එක. දැන් අර උඩින් කියපු අපිට ඇත්තටම වෙන්න ඕනෙ කෙනා කවුද වගේ සීන් නෑ. මේ ජොබ් එකෙන් පඩියක් ලැබෙනවා. ඒ පඩියෙන් ජීවත් වෙලා තමන්ගෙ ආතල් එකත් ගන්න පුළුවන්. ඒ නිසා ඒකම කරගෙන ඉන්නවා කියන ලයින් එකේ ජීවිතේ යන්නේ. හැබැයි ඔහොම යනකොට එක තැනකදී හරි තේරුණොත් හොඳයි, තමන් ඇත්තටම දක්ෂ, ආස දේ නෙවෙයි කරන්නේ කියලා. එහෙම නැතිනම්, තමන්ට සාර්ථකත්වයේ ඉහළටම යන්න පුළුවන් ජොබ් එක නෙවෙයි කරන්නේ කියලා. අන්න එතකොට, එතැනින් මිදිලා, අවදානමක් අරගෙන හරි තමන්ට කරන්න ආස දේ, තමන් කරන්න දක්ෂ දේ, තමන්ට සාර්ථක වෙන්න පුළුවන් දේ කරන්න තෝරගන්න ඕනෙ. ඒක අමාරු තීරණයක්. හැබැයි ඒ තීරණේ ගන්න එක තමන්ගේ අනාගතේට වටිනවා!
අපි බඳිමුද?
මේක ඉතින් කොයි තරම් ජීවිතේට වැදගත්, ඒ වගේම ගන්න අමාරුම තීරණයක්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. විවාහය කියන්නේ තමන්ට අඩු තරමින් ජීවිතේ සැලකිය යුතු තරම් කාලයක් එකට ජීවත් වෙන්න පාට්නර් කෙනෙක්ව තෝරගන්න එක හරි, දික්කසාද කියලා ජාතියකුත් ලෝකේ තියෙනවා තමයි, හැබැයි අපි කසාද බඳින්නේ, ට්‍රයි එකක් දීලා බලලා, අවුරුද්දකින් විතර බැරි වුණොත් දික්කසාද වෙනවා කියල නෙවෙයිනේ. ආන්න ඒ නිසා එතකොට විවාහ වෙන්න නම් ඇත්තටම හිතලා බලන්න කාරණා ගොඩක් තියෙනවා. ඒකෙන් ප්‍රධානතම කාරණාව තමයි දෙන්නට දෙන්නා එකට ජීවත් වෙන්න පුළුවන් තරමට අනුකූල ද, කම්ෆටබල් ද කියන එක. ඊළඟට, දෙන්නට දෙන්නා එකට ජීවත් වෙන්න ආසාවක්, ෆැෂන් එකක් තියෙනවද කියන එක. ඔන්න ඔය විදිහට ලිස්ට් එක බොහොම දිගයි. ඉතින් ඔය හැමදේම හරියට අවබෝධ කරගෙන, ගැළපෙනවා, වැඩේ සෙට් වෙනවා කියලා ෂුවර් නම්, අපිට කිසිම ගැටලුවක් නැතුව ඔය තීරණය ගන්න පුළුවන්.
එහෙම ලිස්ට් එකේ තියෙන ඒවා මොනවද කියලා ෂුවර් නැතිනම්, අපි කලිනුත් කියලා තියෙනවා කසාද බඳින්න කලින් දෙන්නත් එක්ක කතාබහ කරලා තියාගන්න ඕනෙ දේවල් ගැන, එක කොටස සහ දෙක කොටස විදිහට!
ලයිෆ් ස්ටයිල් චේන්ජ්!
මේක ඇත්තටම ගොඩක් දෙනෙක් තීරණය කරන්න ඕනෙ දෙයක් කියලා පවා නොදන්න දෙයක්. දැන් අපි ජීවත් වෙනවනේ. එහෙම ජීවත් වෙනවා කියන්නේ, නාඩි වැටෙන නිසා ඔහේ ඉන්නවා කියන එක නෙවෙයි. අපිට තියෙන්න ඕන කොලිටි ඔෆ් ලයිෆ් කියලා දෙයක්. ඒ කියන්නේ ඔය බෝ නොවෙන ලෙඩ රෝගවලින් ජීවිතේ වැඩි කාලයක් දුක් පීඩා විඳින්නේ නැතුව, ජීවිතේ ගැටගහගන්න තුට්ටු දෙකක් හම්බු කරගන්න හරක් වගේ මැරෙන්නේ නැතුව, තමන්ට ජීවිතේට වුවමනා ආස දෙයක් කරලා කියලා, හිතේ සැනසිල්ලක් ඇතුව ජීවත් වීම කියන එක. අන්න ඒක කරන්න නම්, ගොඩක් වෙලාවට අපිට දැන් ජීවත් වෙන ක්‍රමය වෙනස් කරගන්න වෙනවා. උදාහරණයක් විදියට, අපිට නාස්තිකාර පුරුදු තියෙනවා නම්, ඒවා අතාරින්න වෙනවා. අපේ ජීවිතේ කොලිටි එක ලබාගන්න කරන්න ඕනෙ දේවල් කරන්න තරමට අපිට ආදායම මදි නම්, ආදායම වැඩිකර ගැනීම සහ අනවශ්‍ය වියදම් අඩුකර ගැනීම කියන තැනට යන්න වෙනවා. වෙන එකක් තියා, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අපි දැන් ඉන්න සෞඛ්‍ය සම්පන්න නොවෙන ජීවන රටාව වෙනස්කර ගැනීම පවා කරන්න වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ගොඩක් දෙනෙක් මේ දේවල් කරන්න තීරණය ගන්නෙ නෑ. ඒ අය හිතනවා, මේවා ලොකු ලොකු තීරණ කියලා. උදාහරණයක් විදිහට, සෞඛ්‍ය වෙනුවෙන් ගන්න ඕනෙ තීරණය ජිම් එකට යෑම වගේ සීන් එකක් කියලා. ඇත්තටම ඊට කලින් අපිට වේලාසන නිදාගැනීම, ආහාරපාන සමබල විදිහට ගැනීම වගේ සරල තැන්වලින් පටන් ගන්න පුළුවන්. ආන්න ඒකට ගන්න තීරණයත් බොහොම වැදගත්!
මේකයි මගේ මතය
මේක ඇත්තටම ගොඩක් අය අමාරු තීරණයක් කියලා නොහිතන දෙයක්. ඒ තමයි, තමන්ගේ මතය, අදහස නැතිනම් ඔපීනියන් එක ලබාදෙන්න ඕනෙ කොතැනකදීද කියලා තීරණය කරන එක. විශේෂයෙන්ම මේ සෝෂල් මීඩීයා යුගයේ හැමෝම හැමදෙයක් ගැනම ඔපීනියන් දෙන්න, අදහස් හෝ මතයන් දක්වන්න සැදීපැහැදී ඉන්නේ. නරකම දේ තමයි, ගොඩක් දෙනෙක් මෙහෙම අදහස් දක්වන්නේ, අදහස් දක්වන දේ ගැන හරියට දැනුමක් ඇතුවත් නෙවෙයි. එතකොට ගොඩක් වෙලාවට එහෙම දක්වන අදහස් පිරිසක් අතරට ගියත්, ඒකෙන් වැරදි අවබෝධයන්, වැරදි වැටහීම් ඇතිවෙන්න පුළුවන් ඉඩ වැඩියි. ඒ වගේම, සමහර වෙලාවට ඒ අපි අදහස් දක්වන දේ ගැන හරියටම දන්න අය එතැන හිටියොත්, අපි බයිට් එකක් වෙන්න, ජෝක් එකක් වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, අපි මතයක් දක්වන්න ඕනෙ කොයි මොහොතේ කොයි දේ සම්බන්ධයෙන්ද කියලා තීරණය කරන එකත් සෑහෙන්න වැදගත්!
අත් හැරීම
මේක ඉතින් ඔය සෑහෙන්න ආගම්වල, දර්ශනයන්වල තියෙන ගැඹුරු කාරණාවක්නේ. එච්චර දුර යන්න ඕනෙ නෑ. අපේ ජීවිතේ අපි ගත කරනකොට, අපිට යම් යම් දේවල් අත්හරින්න සිද්ධ වෙනවා. හැබැයි අපි ඒ අත්හරින තීරණය ගන්න බැරුව සෑහෙන්න දුක් විඳිනවා, එල්ලිලා ඉන්නවා. උදාහරණ කිහිපයකින් පැහැදිලි කරගමු. අපිට වෙන විකල්පයක් නෑ, රට යන්න වෙනවා කියන තැනට ආවොත්, අපිට ඒ තීරණය අරන්, මේ රටේ තියෙන දේවල් අත්හරින්න පුළුවන්ද? අපේ ජීවිතේට විෂ එකතු කරන යාළුවෙක් හිටියොත්, තවදුරටත් මෙයාව තියාගෙන තමන්ගේ ජීවිතේට හානියක් කරගන්නෙ නැහැ කියලා හිතලා, එයාව අත්හරින්න පුළුවන්ද? අපේ සමීපතමයෙක් මරණාසන්න වෙලා නම්, ජීවිතේ හැටි මෙහෙමයි කියලා හිත හදාගෙන එයාව අත්හරින්න පුළුවන්ද? අපේ දරුවෙක් දීග දුන්නට පස්සේ, එයාට දැන් වෙනම ජීවිතයක් තියෙනවා, මම දෙමාපියෙක් විදියට එයාගෙ ජීවිතේට ඕනෑවට වඩා ඇඟිලි ගහන්න හොඳ නෑ කියලා හිතලා, එයාව අත්හරින්න පුළුවන් ද? මේ ඇත්තටම ජීවිතේ දේවල් අත්හරින්න වෙන අවස්ථා ගැන උදාහරණ කිහිපයක් පමණයි. කොටින්ම කියනවා නම්, අපිට එක තැනකදී අපේ ජීවිතය පවා අත්හරින්න සිද්ධ වෙනවා. ආන්න ඒ නිසා, හරි තැනදී අවශ්‍ය දේ අත්හරින එකත්, අපිට ජීවිතේ ඇතුළේ විටින් විට ගන්න සිද්ධ වෙන බොහොම වැදගත් තීරණයක්!
අලුත් දෙයක් පටන් ගමුද?
මෙන්න මේක ගොඩක් දෙනෙක්ට ජීවිතේ ගන්න අතිශයින්ම අමාරු තීරණයක්. ඒ තමයි, අලුත් දෙයක් පටන් ගන්නේ කොයි වෙලාවටද කියන එක. ඇත්තටම වෙන්නේ ගොඩක් දෙනෙක් අලුතින් දෙයක් පටන් ගන්න අවශ්‍ය වෙලාවෙදී පටන් ගන්නෙ නෑ. ඒ වෙනුවට වැඩේ අදිනවා, කල් දානවා, අල්ල අල්ල ඉන්නවා. අන්තිමට පටන් ගත්තු වැඩකුත් නෑ, ගතවුණු කාලේ ආයෙ ගන්නත් නෑ. මේකට ගොඩක්ම වෙලාවට හේතු වෙන්නේ, කම්මැළිකම, වැඩ කල්දැමීම, අලුතින් දෙයක් පටන් ගන්න තියෙන බය වගේ දේවල්. ආන්න ඒ නිසා, දෙයක් කරන්න පටන් ගන්න, අලුතින් දෙයක් කරන්න හොඳම වෙලාව මොකක්ද කියන තීරණය සහ ඒක පටන් ගන්නවා කියන තීරණය අතිශයින්ම අමාරුයි, හැබැයි ඒ තීරණය ප්‍රමාද නොවී ගන්නවා කියන එක හිතාගන්න බැරි විදියට ජීවිතේට වාසියි.