වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ගිනස් පොතට ගිය කටුපොත රොසලින් නෝනා
මේ ලෝකයේ තියෙනවා ආදරය කරුණාව වැඩියෙන්ම එකතු වුණු අකුරු තුනක වචනයක්. ඒ තමයි අම්මා. ලෝකයේ කොතැනක හෙව්වත් අම්මගෙ ආදරයට විකල්පයක් හොයාගන්න නම් අපිට කිසිදාක හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මැක්සිම් ගෝර්කි කියනවා මේ ලෝකය හැදිලා තියෙන්නේ හිරුගේ කිරණින් සහ අම්මාගේ ස්නේහයෙන් කියලා. මේ ලෝකයේ මනින්න බැරි එකම ආදරය අම්මාගේ ආදරය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරය අඳුරන අම්මා කෙනෙක් කියන්නේ උපමා විරහිත අසමාන දෙයක් කියලා ඔයා විශ්වාස කරනවද? දරුවෙකුට ජීවිතය දෙන්න මනුෂ්‍යයෙකුට කරන්න පුළුවන් උපරිම පරිත්‍යාගය, කැපකිරීම කරන්නෙ අම්මා කෙනෙක්. දරන්න බැරි වේදනාවක් විඳින්නෙ අම්මා කෙනෙක්.
ඇත්තටම අම්මා කියන්නෙ හැමදාමත් අපූර්ව තිළිණයක්. මේ සොබාදහම මනුෂ්‍යත්වය තුළ නිර්මාණය කළ අපූර්වම ස්වභාවක්.
අද කතා කරන්න යන්නේ ගලේවෙල කටුපොත ගම්මානයේ පදිංචි එහෙම අම්මා කෙනෙක් ගැන. ඇය දරුවන් 20කගේ මවක්. දරු මුනුපුරන් 463 කගේ ආදරය ලබන ආදරණීය මවක්. පුංචි පවුල රත්තරන් කියලා කතාවට කිව්වට ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරපු ඇය එච්. එම්. රොසලින් නෝනා. ඇය ලෝක ගිනස් වාර්තා පොතටත් ඇතුළත් වුණේ ලොකුම පවුල එහෙමත් නැත්තම් ලෝකයේ වැඩියෙන්ම දරුවන් හදපු අම්මා විදිහට. අද අපි ඇවිත් ඉන්නේ ඒ ආදරණීය අම්මාව හොයාගෙන.
ඇගේ නිවෙසේ ඇතුළු බිත්තිය ඉදිරිපිට විශාල බැනරයක කුඩා දරුවකු මුහුණේ හොවාගෙන සිටින මවකගේ චිත්‍රයක් සහිත “ආදරයේ උල්පත අම්මා” යනුවෙන් සටහන්කර එල්ලා තිබෙනු දැක ගැනීමට හැකි වුණා. අපි අද කියන්න යන්නේ ඒ උත්තරීතර ආදරයේ කතන්දරයයි.
ඉතින් අම්මා කොහොමද..
අප්පේ හරිම සතුටින් තමයි ඉන්නේ.
රොසලින් අම්මේ කියමුකෝ බලන්න රොසලින් අම්මාගෙ තොරතුරු ටිකක්.
විවාහ වෙද්දි මට වයස අවුරුදු 16යි. 1956 අප්‍රේල් 16. බැඳලා මාස 8ක් මම ඉස්කෝලේ ගියා. ඊට පස්සේ තමයි මාව මහත්තයගේ ගෙදරට එක්කරගෙන ගියේ. 1957 සැප්තැම්බර් 27 තමයි මට පළමු දරුවා ලැබුණේ. ඒ මගේ ලොකුම දුව. විසි වැනි පුතා ලැබුණේ 1982 ජනවාරි 27 වැනිදා. එයා නිහාල් වීරසිංහ. ළමයි ඔක්කොමලාගේ උපන්දින දැන් මට මතක නෑ. හැබැයි මුල අග හොඳට මතකයි. ලොකුම දුවට දැන් වයස 66යි. බාලම පුතාට 42යි. දැන් මටත් වයස 85ක් වෙනවා. දැන් මට දරු මුනුපුරන් ඔක්කොම 463ක් ඉන්නවා. දිස්ත්‍රික් 25කම ඉන්නේ මගේ දරු මුනුපුරෝ. මේ දරුවන්ට මාස 10 ක් 11 ක් වෙනකල් කිරි දුන්නා. එතකොට අනෙක් දරුවා ලැබෙන්ඩ එනවා. එතකොට කැඳවලට, බත්වලට දරුවන් හුරු කරනවා. ඒ කාලේ කන්ඩ බොන්ඩ හරි හිඟයි හරි අමාරුවෙන් තමයි තාත්තා මේ දරුවෝ ජීවත් කෙරෙව්වේ. දරුවන්ගේ තාත්තා ජී. ජිනදාස. එයා එතකොට මොළගොඩ පොල් වත්තෙ මුර කරනවා. පොල් කඩනවා, පොල්ලෙලි ගහනවා, කුලී වැඩ කරනවා, ගොවිතැන් කරනවා, කුරහන් වපුරලා ගෝණි ගණන් ගෙදර අදිනවා. මම ඉතින් ඒවා කොට කොටා දරුවන්ට කන්ඩ දුන්නා. කොහොම හරි එයාලා ටික ටික ලොකු වෙනකොට ඉතින් නංගිලා මල්ලිලා බලාගන්නවා. හැබැයි මගේ දරුවෝ ඔක්කොම පුදුමාකාර බැඳීමකින් ඉන්නේ. අපි දෙන්නටත් ඒ වගේම ආදරෙයි. මම කියන්නේ මගේ දරුවෝ බුදුන් දැක නිවන් දැකපන් කියලා.
දැන් අම්මට දරුවන් විසි දෙනෙක් ඉන්නවා. තව දරුවන් හදන්න හිතුණේ නැද්ද?
මට දරුවෝ 19 දෙනෙක්ම ගෙදරදිමයි ලැබුණේ. වින්නඹු අම්මා තමයි ළඟ හිටියේ. මගේ විසි වෙනි පුතා හම්බෙන්න මාතලේ රෝහලට ගියානේ. එතකොට එහෙ හිටපු ලොකු දොස්තර කිව්වා තව අම්මට දරුවෝ හතර දෙනෙක් හදන්න පුළුවන්. අම්මට ඒ දරුවෝ හතරත් ඕනෙද කියලා. මම කිව්වා මම කොහොම හරි හදාගන්නවා කියලා.
ඉතින් හැදුවේ නැත්තේ?
ඒ දොස්තර මහත්තයා කැමැති වුණේම නැහැ මගේ ඇඟ දුර්වල වෙන නිසා. දරුවෝ 20ක් හදලා මගේ ඇඟ වෙනස් වෙලානේ තිබුණේ. ඉතින් දොස්තර මහත්තයා කිව්වා අම්මා දැන් දරුවෝ හැදුවා ඇති, මේ සැරේ අම්මාව ගෙදර යවන්නේ මේ අන්තිම දරුවා එක්ක කියලා ආයේ දරුවෝ හරියන්නේ නැති වෙන්න එයාලා එහෙම කරලා තමයි මාව ගෙදර යැව්වේ. අනේ එතකොට මගේ ඇස් දෙකෙන් කඳුළු වැටුණා.
මේ දරු පැටවු විසි දෙනත් අම්මාත් තාත්තාත් ජීවත් වූයේ මහා මන්දිරයක නොවේ. කුඩා පොල් අතු ගෙයින් රාත්‍රියට දැල්වෙන කුප්පි ලාම්පු එළිය මේ අඳුරු ජීවිත ආලෝක කළේය. ඉඳහිට ලාම්පු තෙල් ගන්නට මුදල් නොමැතිව ලාම්පු කුප්පිය නිවෙද්දී ජිනදාසත් රොසලිනුත් රාත්‍රී ආහාර ගත්තේද එළියේ හිඳ අහසේ හඳ එළියෙනි.
ජීවිතේ දුක සතුට සිනහව පිරුණු පුංචි කැදැල්ල දවසක අළු විය. ඒ ළිපේ තිබූ ගින්දර ළඟ තිබූ රීප්පයකට ඇවිලි පොල් අතු පැල ගිනි ගත්තේය. අහල පහල ගම්වාසීන් පිහිටට ආවත් ගෙපැල බේරාගන්නට නොහැකි විය. පුංචි දරුවෝ මර ළතෝනි දුන්හ. වැඩිමහල් දරුවන් පුංචි පැටවු උස්සාගෙන ගෙයින් එළියට පැන හිස් ලූ ලූ අත දිව ගියෝය. ජිනදාසත් රොසලිනුත් ගමේ මිනිස්සුත් එකතු වී ගින්න නිවන්නට උත්සාහ දැරුවද අවසානයේදී ඉතිරි වූයේ අළු ගොඩක් පමණි. යළිත් අලුතෙන් නිවෙසක් තැනුණේ ඔවුන් දෙදෙනාගේ මහන්සියේ ප්‍රතිඵලයෙනි.
අම්මට මතකද එක සැරයක් ගේ ගිනි ගත්තා...
ඒක මට අද ඊයේ වගේ මතකයි. පොඩි වුණුත් අරන් මං එළියට පැන්නා. මහත්තයයි ගමේ අයයි එකතු වෙලා ගින්න නිව්වත්.. ඒ වෙද්දී ගේ අළු වෙලා ඉවරයි. අනේ ඉතින් ඒ වෙද්දි ඒ ඉඩම එහා පැත්තේ අපි අලුත් ගේ කෑල්ල හදාගෙන යන ගමන් තිබුණේ. අපි වැස්සට තෙමි තෙමී ඒ ගේ කෑල්ලේ ඉඳලම පොඩියට ගේ හදාගත්තා.
අම්මා කොහොමද ඉතින් මේ තරම් කරදර ගොඩක් මැද්දේ දරුවෝ විස්සක් බලාගත්තේ...
අනේ දෙවියන්ගේ පිහිටෙන් මේ දරුවෝ ටික බලාගන්න ලොකු කරදරයක් වුණේ නැහැ. අවුරුද්දක් ගානේ දරුවෝ ලැබුණා. පුළුවන් විදිහට මං දරුවෝ ටික බලාගත්තා.
දරුවෝ 20ක් එක්ක ලෙඩක් දුකක් වුණාම කොහොමද ඉතින් මේ වැඩ කරගත්තේ...
අපි ඉස්පිරිතාලයක නැවතුණු කාලයක්වත් මතක නෑ. මේ දරුවෝ ඔක්කොම බිම තිබ්බේ. “නෝනි උන්දෑ” ඒ කියන්නේ ගමේ හිටපු වින්නඹු අම්මා. උන්දෑ මැරුණා. නිවන් දැකපන් අප්පා උන්දෑ. තාත්තාත්, මමත් පැරසිටමෝල් පෙත්තක් බීපු කාලයක් මතක නෑ. දැන් ඉතින් ඩිංගක් මට ඇස්දෙක පේනවා අඩුයි. ඒත් ඉතින් වැඩ ටික කරගෙන අපි සතුටින් ඉන්නවා. ජිනදාස මෙන්ම රොසලින් ද දරුවන් වෙනුවෙන් මහන්සි වූයේය. රොසලින්ද පිරිමියෙකු සේ හරි හරියට ජිනදාසට උදවු කළාය. රොසලින් පොල්වතුවල පොල් ඇහිඳින්නට ගියාය. වතු උදලු ගෑවාය. ගොයම් කැපීමට ගියාය. අද මෙන් එකල දියුණු නොවීය. හැමදෙයක්ම දෑතේ මහන්සියට පින්සිදු වන්නටය. ඇය අව්වට පිච්චුණාය. වැස්සට ඇති තරම් තෙමුණාය. නමුත් ඒ වැස්සට රොසලින්ගේ ධෛර්යය සෝදා දමන්නට හැකියාවක් නොලැබිණි.
වැස්සට තෙමෙන තෙමෙන වාරයක් පාසාම ඇයට නව පන්නරයක් ලැබුණි. ඇතැම් දිනවල අම්මාගේ පස්සෙන් ගාටන පුංචි පැටවුද ඇති තරම් තෙමුණෝය. අම්මා වත්තක උදලු ගාන තෙක් ගස්වල ගෙඩි කා බඩ පුරවා ගන්නට තරම් පුංචි එවුන් මේ ගහකොළට උරුමකම් කීහ. ඇති පදම් මේ පොඩි එවුන්ගේ කුස පුරවන්නට ගහකොළවල එකල ගෙඩි හටගත්තේය. රොසලින්ටද කුලී වැඩ කරද්දී දවල්ට කුසගිනි නිවාගන්නට ඇතැම් කාලවලදී හරිහමන් කෑමක් නොතිබුණි. ගමේ කඩෙන් බටර් විස්කෝතු හතරක් පහක් පොඩි කොළ කෑල්ලක ඔතාගෙන යන රොසලින් එයින් තම කුසගින්න නිවාගත් දවස් අනන්තය. ඒ තරමටම ඇය දුක් වින්දාය. එහෙත් අද ඇය දරු මුනුපුරන්ගේ ආදරය ලබන අතුපතර විහිදුණු වෘක්ෂයක් වැනිය.
ඇයි ඇත්තටම රොසලින් අම්ම මෙතරම් දරුවෝ ප්‍රමාණයක් හදන්න හිතුවේ...
මම දරුවන්ට වගේම අදටත් තාත්තටත් හරිම ආදරෙයි. මම මේ හැමෝටම ආදරෙයි. ඒ අයත් ඒ වගේම තමයි. දරු සම්පතට ගහන්ඩ සම්පතක් නැහැනේ.
“ඔය මේ කාලයේ ප්‍රවෘත්තිවලට පෙන්වන අම්මලා ගැන නම් මතක් කරන්ඩවත් එපා. දැන් මේ ඇහැක් නොපෙනී සිටියත් දරුවෙක් ගෙනත් දුන්නොත් මම හදනවා. ඔය දරුවන්ට කරන අපරාධ සිද්ධි ඇහෙනකොටත් මට විඳින්ඩ බෑ ඕං”
එදා ඇය බිහිකළ දරුවන්ගෙන් අද ඉතිරිව සිටින්නේ දරුවන් 15කි. දරුවන් පස්දෙනෙක් කහ උණ, මැලේරියාව, වසූරිය වැනි රෝග වැලඳී අඩු වයසේදීම මෙලොව හැර ගියහ. අවසානයේදී ජිනදාසගේත් රොසලින් නෝනාගේත් පවුලේ ඉතිරි වූ දරුවන් ගණන පහළොවකි. මෙයින් නව දෙනෙකු පිරිමි දරුවන් වූ අතර හය දෙනෙක් ගැහැනු දරුවෝ වූහ. වියෝ වූ දරුවන් ගැන ඇයගෙන් විමසිය නොහැක්කේ ඇයගේ සිත පෑරීමට රිසි නොදුන් නිසාය.
රොසලින් අම්මාගේ අම්මාත් මේ වගේම දරුවෝ හදන්න ඇති නේද?
අපේ අම්මට දරුවෝ හත් දෙනයි. අපේ පුංචි අම්මට දරුවෝ 13 දෙනයි. මම තමයි විස්සක් හැදුවේ.
මට පුතාලා දහතුන්දෙනයි, දුවලා හත් දෙනයි තමයි ලැබුණේ. අපේ පවුලේ පිරිමි වැඩියි. මට ලොකුම සතුට එක දරුවෙක්වත් අපිට උඹ කියලවත් කතා කරලා නෑ. මොනවා වුණත් අපි හරි වාසනාවන්තයි කියලා හිතෙනවා අප්පා”.
ඉතින් කොහොමද සැමියාව මුලින්ම හමු වුණේ..
ඒක විවාහ යෝජනාවකින් සිද්ධ වුණ දෙයක්. එතකොට එයාට 23යි. අපි හරි ඉහළින් මඟුලක් ගත්තා. අප්පේ මට තවම මතකයි මම මඟුල් කාර් එකෙන් ඇවිත් ඉතුරු ටික යන්න හරියට පාරක් නැති නිසා එයාගේ ගෙදරට පයින්ම ගියා. අනේ ඉතින් බැඳපු දා ඉඳන් හරි ආදරයෙන් හිටියා කිසිම වෙනසක් නොකර. දැන් එයා නැතිවෙලා අවුරුදු 5ක් වෙනවා. අන්තිම අවුරුදු කීපය හිටියෙත් රෝද පුටුවේ. හරකෙක් බඳින්න ගිහින් කඹේ පැටලිලා වැටිලා කොන්දේ ආබාධයක් වෙලා. ඇවිදගන්න බැරුව හිටියේ. එයාට 89ක් ආයුෂ තිබුණා. එයා මට ආදරයට කිව්වේ කැරකොප්පු කියලා. එයා අන්තිම මොහොතෙත් මට තමයි කතා කළේ. කැරකොප්පු මගේ පපුව රිදෙනවා කිව්වා.. අනේ අප්පේ මට මතක් වෙද්දිත් වාවන්නේ නැහැ. රොසලින් නෝනා වචන ගළපා ගත්තේ නෙතඟින් රූරා වැටෙන කඳුළු බිඳු පිස දමමිනි.
දැන් ඉතින් රොසලින් නෝනා මේ දරු මුනුපුරන් එක්ක සතුටින් සැඳෑ සමය ගත කරනවා ඇති...
මම කවදාවත් මගේ දරුවෙක්ව එක වේලක්වත් බඩගින්නේ තිබ්බේ නැහැ. ගෙදර මුකුත්ම නැත්නම් මඤ්ඤොක්කා අලයක්, කොස් ගෙඩියක් හරි තම්බලා දුන්නා. උන් සේරටම හොඳට ඉගැන්නුවා. උන්ව බන්දලත් දුන්නා. අනේ දැන් ඉතින් උනුත් දරුවෝ හදාගෙන හරි අපූරුවට ජීවත් වෙනවා. මේ ටිකම මදැයි මට සතුටින් ඇහැ පියාගන්න.
මේ පවුලේ අයගෙන් වැඩියෙන්ම ආදරය ලබන පවුලේ බාලයා ජී. නිහාල් තමන්ගේ ආදරණීය මව ගැන කතා කරන්න පටන් ගත්තේ මේ විදිහට...
ඇත්තටම මම හරිම ආඩම්බරයෙන් ඉන්නේ. මොකද අපේ පවුලේ බාලයා මම. හැමෝම මට ගොඩක් ආදරෙයි. අදටත් ඒ ආදරය මම භුක්ති විඳිනවා. ඊට වඩා සතුටක් මට නෑ. අම්මයි, තාත්තයි හැමෝටම ආදරෙයි. ඉතින් ඒ හැමෝම එකතුවෙලා මට ආදරෙයි. මොකද මම පවුලේ බාලයා නිසා. අපි කවදාවත් අපේ මව්පියන්ට දුකක් දෙන්නේ නැහැ. නිතර නිතර අපි සොයා බලනවා.
නිශ්ශංක කුමාරතුංග රොසලින් අම්මාගෙ වැඩිමල්ම මුනුපුරෙක්. රොසලින් අම්මා ගිනස් වාර්තා පොතට ඇතුළත් වුණ කතාව ගැන වචනයක් දෙකක් කතා කරන්න ඔහුත් ඉදිරිපත් වුණා.
'ලෝකයේ වැඩිම දරුවන් සිටින පවුල විදිහට ගිනස් පොතට ඇතුළත් වෙන්න මගේ අාච්චිටත්, සීයටත් අවස්ථාව ලැබුණා. හැබැයි ඒ සුබ ආරංචිය අපිට දැන ගන්න ලැබුණේ සීයගේ වියෝවෙන් පසුවයි. ඉතින් මේ වගේ ආඩම්බරකාර පවුලක ලොකුම මුනුපුරා වෙන්න ලැබීම මට ලැබුණු වාසනාවක්. මගේ අම්මා තමයි මගේ අාච්චි අම්මගෙ වැඩිමල්ම දියණිය. මට අක්කා කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්නවා. දරුවෝ 20 දෙනාගේ දරුවන් විදිහටත් ඒ දරුවන්ගේ දරුවෝ විදිහටත් පවුල ගොඩක් විසිරිලා තියෙන්නේ. එහෙම නෑදෑකම් බලද්දි මට වඩා බාල මට නෑකමින් මාමලා, නැන්දලා වෙන අය ඉන්නවා.
මම 1982 දෙවැනි මාසේ 5 වැනිදා ඉපදුණේ. මගේ බාලම මාමා 1982 ජනවාරි දෙවැනිදා ඉපදුෙණ්. පුංචිගේ දුව 1982 ජනවාරි ඉපදුනේ. උඹයි, උඹලගේ බාල මාමයි, උඹලගේ දෙවැනි පුංචිගේ දුවයි තුන්දෙනාම හමුවෙන්න මමයි, කිරි අම්මයි, උඹලගේ පුංචියි එකට හොස්පිටල් එකේ හිටියේ කියලා අම්මා කියනවා. ඉතින් අම්මයි, දුවලා දෙන්නයි, තුන්දෙනාම එකට හොස්පිටල් එකේ හිටියා කිව්වාම ඒක හරි වෙනස් දෙයක්.
දරුවෝ පිරුණු ලොකු පවුලක්නේ. දරුවෝ දරුවෝ අතරේ රණ්ඩු එහෙම ඇති වෙලා නැද්ද?
අනේ මේ අයගේ රණ්ඩු ඉතින් ටික වෙලාවයි. හැබැයි හැමෝම තාත්තට නම් බයයි. ඉරටු ගහලා තියෙන්නේ වහලේ අස්සේ. දඟ වැඩ කරද්දි ඉතින් පාරක් දෙකක් ගහනවා. නැත්තම් කට්ටියව හදාගන්න බැහැනේ.
කිරිඅත්තා නැති වුණේ මේ මෑතකදී. ඒ නැති වෙද්දිත් අපි කිරිඅත්තට මාරම බයයි. ඒ වෙද්දිත් කිරිඅත්තා සැරෙන් වචනයක් කතා කළත් අපේ හිතට ලොකු ගැස්මක් දැනෙනවා. ඒ තරම් ගරුත්වයක් කිරිඅත්තා ගැන තිබුණේ.
ඒ කාලේ අපි හරි දුෂ්කර ජීවිතයක් ගත කළේ. දරුවෝ 20ක් කියන්නේ ආර්ථික පැත්තෙන් ගත්තොත් හරි අපහසුවකින් ජීවත් වුණේ. අධ්‍යාපනයට, කෑම බීමට, ඇඳුම් පැලඳුම්වලට ලොකු වියදමක් දරන්න ඕනෙනේ. හැබැයි අපේ තාත්තා ඒ හැමදේම කොහොම හරි කළා. අප්‍රේල් 14 අපි හැමෝම කිරිඅම්මලාගෙ ගෙදර එකතු වෙනවා. ගමේ අය මේ ගෙදරට කියන්නේ කෑම්ප් එක කියලා. මොකද සිංහල අලුත් අවුරුද්දට ක්‍රීඩා කරන්න අවුරුදු උත්සවවලට ගමේ වෙන තැන්වලට යන්නේ නැහැ. ඔක්කොමලා එකතු වෙලා මේ ඉඩමේ තමයි ඒ සියලු දේ වෙන්නේ. එදා ඒ තිබ්බ සමගිය අදටත් ඒ විදිහටම තියෙනවා. කිරිඅම්මලා කිරිඅත්තලා මාමාලා නැති වුණ දවසකටත් ඒ සමඟිය වෙනස් නොවී ඉදිරියටත් ඒ විදිහටම තියේවි. ඒ සහෝදරත්වය කවදාවත් බිෙඳන්නේ නැහැ. එක ගෙදරක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මුළු පවුලම එනවා. අපේ ගෙදරක මළගෙයක් මඟුල් ගෙයක් වුණොත් ගමේ පිට අයට කියන්න වෙන්නේ නැහැ. මොකද ඒ තරම් ජනගහනයක් පවුලෙම ඉන්නවා. ඒ තරම් පිරිවරක් අපිට ඉන්නවා. පොඩිම දෙයක් වුණත් අපේ පවුලේ අය එකතු වෙනවා.
අද රොසලින් තම දරුවන්ගේ ආදරය, සෙනෙහස ලබමින් නිහඬ ජීවිතයක් ගත කරයි. සෑම උදෑසනකම අවදි වී තම කටයුතු තනියම කරගන්නා රොසලින් නෝනා මල් පහන් පූජා කොට බුදුන් නැමදීම සිරිතකි. තම දහතුන්වන දියණියගේ නිවසේ ජීවත්වන රොසලින් නෝනාට ඒ අවට සිටිනා තවත් දරු මුනුපුරන් කීපදෙනෙකුගේ රැකවරණය නිරන්තරයෙන්ම හිමිවෙයි.
ඇස් පෙනීම මඳක් දුර්වල වුවද අදටත් රොසලින් නෝනා හදන කෑම බීම පුදුමාකාර ලෙස රසවත්ය. රොසලින් සාදාදෙන ගලේ අඹරණ ලුණු මිරිසයි බතයි වුවද තවමත් මෙම දරුවන්ට රජ බොජුන්ය. අද අක්කර පහක පොල්වත්තක දරුවන් පස් දෙනෙකු ළඟ ළඟ ගෙවල් සාදා ජීවත්වීම රොසලින්ගේ සැනසිලිදායක ජීවිතයට මහත් සැනසුමකි. ඔවුහු නිතර නිතර රොසලින් ගැන සොයා බලති. සෑම පෝයකටම ගමේ පන්සලට ගොස් රොසලින් නෝනා සිල් සමාදන් වන්නීය.
අද රොසලින් නෝනාව බලාගන්නේ ඇයගේ 13 වැනි දියණිය. ජී. අනුලා ය. ඇය රොසලින් නෝනව බලාගන්නේ දරුවෙක් වගේ. අනේ මගේ අම්මා තමයි මගේ හැමදේම. අපෙ අම්මා හරි සංවේදියි. පොඩ්ඩ ඇත්නම් කඳුළු පුරෝගන්නවා. ඉතින් හැමවෙලාවෙම අම්මව සතුටින් තියන්නයි අපි උත්සාහ කරන්නේ. වයස අවුරුදු 85ක් වුණාට අම්මට තාම හයි හත්තිය තියෙනවා. ඒත් අපි අම්මට වැඩ කරන්න දෙන්නේ නැහැ“ අද රොසලින්ගේ ජීවිතය සැහැල්ලුය. දරුවන් විසි දෙනකු එක්ක මහා ජීවිත අරගලයක් කොට ජීවිතේ වෙහෙසවුණ, අප්‍රමාණ කටුක අත්දැකීම් ලැබූ ඒ ගැහැනිය සිය ජීවිත අරගල වෙනුවෙන් හෙළූ දහඩිය, කඳුළු කොයිතරම් නම් ප්‍රමාණයක් මේ මහපොළොව දරාගන්න ඇත්ද...? දරුවන් මහමඟ දමා යන අම්මලා හා පවුලට දරුවන් වැඩියි කියමින් වෛද්‍ය ක්‍රම මඟින් දරුවන් පාලනය කරන අම්මලා සහ ඇඟේ ෂේප් එක යනවා කියමින් දරුවන් සීමා කරන අම්මලා අතර රොසලින් නෝනා මව් රැජනකි.
ගලේවෙල මධ්‍යම සමූහ
පී.ජී. ගුණතිලක