රැකියාව හරියට කළොත් ඔබත් දිනුම්

ලන්ඩනයේදී සම්මානනීය වූ ආචාර්ය සුනේත්‍රා ජයරත්න
සැප්තැම්බර් 23, 2024

 

තමන් රාජකාරී කරන ක්ෂේත්‍රයේ ඉහළම ඇගයීමක් ලැබුණා කියන්නේ එම සේවය පිළිබඳ සමාජය සහ වටපිටාව තෘප්තිමත් කියන එකයි. මේ එලෙස ජාත්‍යන්තර ඇගයීමක් ලද දිරිය කාන්තාවකි. ඇය නමින් සුනේත්‍රා ජයරත්න නුගවෙලයි. ඇය සුවහසක් දැයේ කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණින් තරුණීට හඬ අවදි කළේ මෙලෙසිනි.

 

ජාත්‍යන්තරය ජයගත් මේ ජයග්‍රහණය පිළිබඳ හැඳින්වීමක් කරන්න...

 

ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සහ ඉහළ පිළිගැනීමක් ඇති කාර්යාල කළමනාකාරිනී "ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු 2024" සම්මානයෙන් තමයි මා පිදුම් ලැබුවේ. ඒ පසුගිය ජූනි 20 වැනි දින ලන්ඩනයේ ග්‍රෑන්ඩ් කොනාට් හෝටලයේදී. මෙම උත්සවය මෙහෙයවනු ලැබුවේ එක්සත් රාජධානියේ කාර්යාල කළමනාකරණ ආයතනය විසින්. මේ ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට මහත් ආඩම්බරයක්වන අතර, මෙම සම්මානයට හිමිකම් ලත් ආසියානු පැසිෆික් කලාපයේ එකම නියෝජනය ද මෙයයි.

 

මේ ඇගයීම පිළිබඳ පැහැදිලි කළොත්...

 

මෙම සම්මානය ඕනෑම ව්‍යාපාරයක, මෙම ක්ෂේත්‍රය තුළ වෘත්තීමය වශයෙන් ගත් උත්සාහය, කැපවීම, සාර්ථකත්වය, ජීවන සමතුලිතතාවය, විනයානුකූලත්වය, සහ රට, කලාපය මෙන්ම ලෝක ප්‍රජාවට විශාල වශයෙන් ලබාදුන් සහ ලබාදෙන මෙහෙය ඇගයීමක් ද වෙනවා.

 

රටට, කලාපයට හා ලෝකයට මහඟු සේවයක් ඉටු කරන මෙම වෘත්තීන්හි දැවැන්තයකු මෙන්ම ශ්‍රී ලංකා මාතාවට ආඩම්බරයක් යැයි කීම අතිශයෝක්තියක් නොවෙයි කියලා මං සිතනවා.

 

 

ඔබ පැමිණි ගමනට පන්නරය ලැබුණේ කොහොමද?

 

ලීලා සහ සිරිසෝම ජයරත්නයන්ගේ කුටුම්බයේ දෙවැනි දරුවා ලෙස මා ජන්ම ලාබය ලබනවා. වැඩිමල් සොහොයුරකු, නැඟිණියන් දෙදෙනකු සහ මලණුවකු සමඟ සුන්දර ළමා වියකට හිමිකම් කියන්න හැකි වුණා. මගේ පවුල මට යෝධ ශක්තියක් මෙන්ම ආරක්ෂක පවුරක්. බෙන්තොට ප්‍රදේශයේ සිට විවාහයෙන් පසු මව්පියන් කොළඹට සංක්‍රමණය වන්නේ අපිට ඇවැසි අධ්‍යාපනය මූලිකත්වයේ තබා මිස වෙන කිසිදු අරමුණක් සදහා නොවේ. අනෙක් දරුවන් එකිනෙකා පරයා අධ්‍යාපනයේ පරතෙරට පැමිණි අතර, මා ලේකම්කරණ සහ කාර්යාල කළමනාකරණය දිග්විජය කළ, පරම්පරාවේ එකම පුරුක වුණා.

පාසල් කාලය පිළිබඳ සිහිකැඳවීමක් කරන්න.

 

මා දෙහිවල සුබෝධ බාලිකා හා වැල්ලවත්ත ශාන්ත ක්ලෙයාර් බාලිකා විද්‍යාලයේ දීප්තිමත් සිසුවියක්. අධ්‍යාපනයට මෙන්ම පාසලේ බාහිර කටයුතුවලදී නායකත්ව චරිතයක් වූ මා පන්ති නායිකා, නිවාස නායිකා, විවාද කණ්ඩායම් නායිකා සහ පාසල් නායිකා යනාදී බොහෝ තනතුරුවලට ජීවය දුන්නා. එමෙන්ම පාසලේ සමිති සමාගම්වල කැපී පෙනෙන කර්තව්‍යයන් රැසක් සභාපතිනියගේ භූමිකාව හරහා ඉටු කළා. එමෙන්ම පාසලේ ක්‍රීඩා කටයුතු කෙරෙහිද අපමණ ඇල්මක් දක්වුවා. අදටත් මගේ ගුරුවරුන් හා භක්ති පූර්වකව සහ සම්බන්ධකම් පවත්වන්න මා අමතක කරන්නේ නැහැ.

 

රැකියා ලෝකයට අවතීර්ණ වූ අයුරු පැවසුවහොත්?

 

උසස් පෙළ ප්‍රතිථල ලැබෙන තුරු මගේ කාලය ඵලදායි ලෙස කලමනාකරණය උදෙසා ලඝුලේඛනයට යොමු කිරීමට මගේ වැඩිමහල් සොයුරා කටයුතු කළා. මෙම විෂය හෝ රැකියාව පිළිබඳ අල්ප මාත්‍ර හෝ හසරක් නොදත් මා ජීවිතයේ පරිවර්තන යුගයකට අවතීර්ණ වන්නේ ඉන් අනතුරුවයි. ලඝු ලේඛනය පිළිබඳ සහය ගුරුවරියක් ලෙස පළමු රැකියාවට පා තබා ඉන් අනතුරුව ලේකම්කරණය පිළිබඳ අධ්‍යයනය කළා. අනතුරුව කඩිලක් ගාමන්ට් ආයතනයේ ආධුනික ලේකම්වරියක ලෙස රැකියා ලෝකයට අවතීර්ණ වූවා. මේ වකවානුවේ වෘත්තීය අධ්‍යාපනය ප්‍රගුණ කළ මා මෙරට විශ්වවිද්‍යාලයට අඩු වූ ලකුණු ප්‍රමාණයෙන් නොසැලී ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපන උපාධියන් සපුරා ගත්තා. ඉන් සත් වසරකට පසු නවලෝක රෝහලේ විධායක ලේකම්වරිය ලෙස පත්වීම් ලබන්නේ පළපුරුද්ද උරගා බැලීමට ආයතනය සඳහන් නොකළ පත්තර දැන්වීමකට අයැදුම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. විවාහය වෙනුවෙන් වසර 21ක සේවා කාලයට සමුදෙන විට එහි අනුබද්ධ ආයතන දහහතක සම්බන්ධීකරණය කරමින් සිටියා. පළමු රැකියාවත්, නවලෝක රෝහලත් අදටත් සිහිපත් කරන්නේ මෙම ආයතන තුළින් ලද දැනුම් සම්භාරය සහ පළපුරුද්ද වෘත්තීය ජීවතයේ පෙරළිකාර යුගයකට අවතීර්ණ වීමට දායක වූ බව සෙනෙහසින් පවසමින්. අනතුරුව ඉච්ඕ බැංකුවේ විධායක ලේකම් ලෙස සේවයට එක් විී වෘත්තීය ජීවිතය තුළ සභාපතිවරුන් සහ ඉහළ කළමනාකාරිත්වය සමඟ සුහදශීලි අයුරින් මා රැකියාව කරනවා.

 

ආසියානු පැසිපික් කලාපීය ලේකම්වරුන්ගේ සංගමයේ පළමු කාන්තාව ඔබයි...

 

ඔව්, මම විවාහයට පිවිසෙන්නේ නුගවෙල පරණ වලව්වේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වන නලින් නුගවෙල සමඟින්. මේ වන විට ශ්‍රී ලංකාව කලාපයට ගෙන යෑමේ ගෞරවය මා ලබා සිටියා. ශ්‍රී ලංකා පරිපාලක හා ලේකම්වරුන්ගේ සංගමයේ සභාපතිනිය වූ මම ආසියානු පැසිපික් කලාපීය පරිපාලක හා ලේකම්වරුන්ගේ සංගමයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිනිය ලෙස පළමු ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වූවා. අනතුරුව එම සංගමයේ යාවජීව සභාපතිනියක ලෙස සාමාජිකත්වය පිරිනැමුණු අතර, එදා මෙදා තුර පුරා වසර 25ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එහි විධායක කමිටු නියෝජිතවරියක ලෙසද කටයුතු කරන්නට ලැබුණා. මේ වන විට සම්මේලන 15ක් සහ විධායක කමිටු 14කට දායකත්වය දී තිබෙනවා.

 

ජගත් සම්මානය සඳහා නිර්දේශ වීමට බලපෑ සාධක මොනවාද?

ජගත් සම්මානය සඳහා නිර්දේශ වීමට බලපෑ ප්‍රබල සාධකයක් වනුයේ මා රටට දායාද කළ පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යා‍යතනයයි. (Academy for Administrative Profeesionals- AAP) එහි දශක දෙකක සේවාවේ මතක සටහන් අතර පරිපාලක වෘත්තිකයන්, ලාංකේය, කලාපීය සහ ලෝක ප්‍රජාව වෙත ඉටුකරන ලද අනුපමේය සේවාව ප්‍රශස්ත බව නිර්නායක තුළින් මනා ලෙස ඔප්පු කොට තිබෙනවා. එතුළින් ජනිත වූ රැකියා ප්‍රමාණය, ශිෂ්‍යත්ව, විදේශ රැකියා ප්‍රවණතාවන් ජන මන සන්තර්පණය කළා. AAP ආයතනය මේ වන විට තම ස්වාධීනත්වය මොනවට කියාපාන ආයතනයක් ලෙස පුහුණු කිරීම් ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටින අතර, මෙම වෘත්තීය සුදුසුකම් දේශීය සහ විදේශීයව රැකියා ලෝකයට නිර්දේශ කළා.

 

 

ඔබ තවත් සුවිශේෂ කර්තව්‍යයන් සිදු කරනවා නේද? ඒ පිළිබඳවත් කිවුවොත්

 

බොහෝ රටවල මුද්‍රිත හා විදත් මාධ්‍ය හරහා දැනුම බෙදාගන්නා අතර, අධ්‍යාපනික හා කාන්තා සඟරා සඳහා ලිපි සපයනවා. ජාත්‍යන්තර දේශකවරියක් ලෙසින් සමාජ මාධ්‍ය හරහා අභිප්‍රේරණ සාකච්ඡාවන් ද මෙ‍ෙහයවනු ලබනවා.

 

* ජයග්‍රණයන් අතර ලැබූ තනතුරු පිළිබඳ සැකෙවින් සඳහන් කළොත්..

 

මා පරිපාලක වෘත්තික විද්‍යායතනයේ සභාපතිනිය ලෙස දේශකවරියක්, උපදේශකවරියක, පුහුණු හා සංවර්ධන සම්පත් දායිකාවක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතියට, මූල්‍ය හා බැංකු ක්ෂේත්‍රයන්ට හා ව්‍යාපාර ලෝකයට අමිල සේවයක් ලබා දෙනවා. ප්‍රධාන විභාග පරීක්ෂකයකු සහ ප්‍රශ්න පත්‍ර සකසන්නියක ලෙසද අනන්‍යතාවය ගොඩනඟා සිටිනවා.

 

මෙතෙක් ලබාගත් ජයග්‍රහණ හා සේවාවන් මොනවාද?

 

ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු සම්මානය 2024 ලෝක පරිපාලක වෘත්තීය සංසදය විධායක සභික (ආසියානු පැසිපික් කලාපීය නියෝජනය).

 

ආසියානු පැසිපික් කලාපීය ලේකම් සහ පරිපාලක වෘත්තීය සංගමයේ යාවජීව සභාපතිත්වය, තායිලන්ත ලේකම් සහ පරිපාලක වෘත්තීය සංගමයේ උපදේශිකා

පරිපාලක කලමනාකරණ ආයතනය (UK), ව්‍යාපාර විධායකයන්ගේ සංගමය (UK, වෘත්තීය ලේකම්වරුන්ගේ ආයතනය (UK), ලන්ඩන් වාණිජ මණ්ඩලය ඇතුළු බොහෝ වෘත්තීය අායතනයන්හි සාමාජිකත්වය, අෙමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ බොහෝ බටහිර රටවල් සමඟ කරට කර සේවය කරන්නට ලැබීම. රටවල ද පරිපාලන කළමනාකරණ ආයතනයන්හි සාමාජිකත්වයන් ලබා තිබෙනවා. ශ්‍රී ලංකා වරලත් කාර්යාල කළමනාකරණ ආයතනය, කාන්තා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය, සාමදාන විනිශ්චයකාර සංගමය හා ශ්‍රී ලංකා ලේකම් සහ පරිපාලක වෘත්තිකයන්ගේ සංගමයේ ද ක්‍රියාකාරී සේවයක් ලබා දෙනවා.

 

කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ර්ඕඒ, ලේකම්කරණය සහ කාර්යාල කළමනාකරණය, අචාරධර්ම පිළිබඳ උපාධිය, ඉංග්‍රීසි භාෂා ප්‍රගුණත්වය, රැස්වීම් හා උත්සව කළමනාකරණය පිළිබඳ නිර්දේශයන් ලෝකයේ ප්‍රචලිත විශ්ව විද්‍යාවලින් ලබා ඇත.

 

මේ සියලු ජයග්‍රහණයන් සඳහා ජීවිත උද්දෘත පාඨය “අභියෝගයට අභියෝගය” යන්නයි. එමෙන්ම මහත්මා ගාන්ධි තුමන්ගේ “මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” යන සංකල්පයට ඉමහත් ගරුත්වයක් දක්වනවා. අධ්‍යපනය ජීවිතයේ විශේෂ දෙයක් ලෙස සලකන දැනුම හා නිපුනතා නිරන්තරව හඹා යනවා පමණක් නොව එය බෙදාහැරීමට මා කිසි විටෙක පසුබට වෙයි.

 

පාඨක ඔබට ඇයගේ ජීවිතයෙන් ලැබිය හැකි දේ බොහෝ අතර අධ්‍යාපනිකව සන්නද්ධ වීම, කාලයට නිසි වටිනාකමක් දීම, අද දේ හෙටට කල් නොදැමීම, ඝෘණවාදී සිතුවිලිවලින් බැහැර වීම, අනෝන්‍ය සුහදතාවය, එකිනෙකාට ගරු කිරීම, ප්‍රිය වචනය, ඉවසීම යනාදී අංගවලට නිසි තැන ලබා දීමෙන්ට ජීවිතය දිනන්නට හැකි බවත්, ජීවිතය විදවන්නට නොව විඳින්නට හැකි බවත් පවසන්නීය.

 

ජාත්‍යන්තර වශයෙන් අවස්ථා කිහිපයකදීම ඇය ශ්‍රී ලංකා නාමය ඉතිහාස ගතකර ඇති අතර ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු සම්මානය ඇයට තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වනු ඇත. ජීවිතය සුන්දර කරගන්න සුබවාදී ආකල්ප ප්‍රගුණ කරන අතර අපේ වගකීම් සඳහා වගවන ලෙසද ඔබෙන් ඉල්ලා සිටින්නීය. ජයග්‍රහණය වනාහී චරිතවත්බව, ශික්ෂණය, සාමුහික ක්‍රියාකාරීත්වය හා වඩා උදාර අරමුණු අරභයා තම පෞද්ගලික කාලය මිඩංගු කිරීම තුළින් තවත් කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කිරීම ඇයගේ පරමාදර්ශයයි.