ගෙදරක් කියන්නෙ මැජික් එකක්

සැප්තැම්බර් 30, 2024

 

ගෙදර ඉන්නකොට කොහේ හරිම යන්න ඇත්නම් කියල හිත කිව්වට, කොයිතරම් තරු පහේ තැනකට ගියත් දවසෙන් දෙකෙන් අපිට ඕනෙ ආපහු ගෙදර එන්න.

 

නාලා කරලා පරණ සනීප ඇඳුමක් ඇඳගෙන හුරුපුරුදු පුංචි ඇඳ උඩින් ඇලවෙන්න.

සති ගාණක මහන්සිය එක නින්දකින් නැති කරගන්න.

කට පෙත්තටම පුරවපු කෝප්පෙත් අරගෙන අඹ ගහ යට බංකුවෙන් ඉඳගන්න.

 

කොහේ හිටියත් 'හෙට ගෙදර යනවා' කියන හැඟීම හිතට දැනෙනකොට,

හුරුපුරුදු නම් ගහපු බස් එකක් දෙකක් දකිනකොට,

හුරුපුරුදු සීතල හුළඟක් ජනේලෙන් මූණෙ දැවටෙනකොට,

හිතම පිරිලා යන අමුතු උණුසුම් හැඟීම දැනිලා තියෙනවද?

 

ගෙදර කියන්නේ ලෝකෙ කොතැනකින්වත් ගන්න බැරි අමුතුම සතුටු උණුසුමක් පිරුණු තැනක් !

ඔයාගෙ ගෙදර කොච්චර පුංචි වුණත්. ඒ උණුසුම් හැඟීම අඩුවක් නෑ නේද?

ඉතිං පුළුවන් තරම් ලස්සනට එයාව තියාගෙන එයා වෙනුවෙන් අපේ හදවතේ තියෙන ස්තූතිවන්ත බව පෙන්වන්න.

 

ඉවුම් පිහුම්වලට වැදගත් ටිප්ස් ටිකක් දෙන්න හිතුවේ මේ ලස්සන කැදැල්ල තවත් ආදරණීය කරන්නයි.

 

රම්පෙ, කරපිංචා( නටුව ඉවත්කර ) මිංචි , කොත්තමල්ලි , පාස්ලි කොළ හොඳින් සෝදා හොඳින්ම වතුර ඉවත් වූ පසු බොක්ස් එකක යටට ටිෂූ කඩදාසියක් දමා කොළ ටික දමා ටිෂූ කඩදාසියකින් ආවරණය කර කල්තියාගන්න පුළුවන්..

 

රම්පෙ , කරපිංචා නැවුම්ව කල්තබා ගැනීමට භාජනයට අබ ඇට හෝ උළුහාල් ටිකක් එකතු කරන්න.

 

මිංචි කොළ නැවුම්ව දින කිහිපයක් කල්තබා ගැනීමට හොඳින් සෝදා කූල් වතුර එකක පැය භාගයක් තබා වීදුරු භාජනයකට දමා ශීතකරණයේ තබන්න.

 

පාස්ලි කොළ සතියක පමණ කාලයක් තබා ගැනීමට හොඳින් සෝදා ටිෂූ කඩදාසියක් දැමූ භාජනයකට දමා උඩින් නැවත ටිෂූ කඩදාසියක් දමා ශීතකරණයේ තබන්න.

 

පලා වර්ග මැලවීම වැළැක්වීමට කඩදාසියක ඔතා ශීතකරණයේ තබන්න.

 

දෙහි කල්තබා ගැනීමට ,පත්තර කොළවල ඔතා ශීතකරණයේ තබන්න.

 

දෙහි ගෙඩි වටේට පොල්තෙල් ආලේප කර ටිෂූ කඩදාසියක් දැමූ බොක්ස් එකකට දමා ශීතකරණයේ තබන්න.

 

මාළු කල්තබා ගැනීමට දෙහි යුෂ , කහ, ලුණු මිශ්‍රිත ජලයෙන් හොඳින් සෝදා ලුණු අතගා ශීතකරණයේ තබන්න.

 

බිත්තර කල්තබා ගැනීමට බිත්තර කට්ට වටේට පොල්තෙල් ටිකක් ගාලා තබා ගන්න.

 

මස්වල දුඟද අඩුකර ගැනීමට හොඳින් සෝදා දෙහි බින්ඳු ටිකක් , කහ, ලුණු දමා කලවම් කර අධිශීත කරන්න.

 

ශීතකළ මස් මෘදු කර ගැනීමට පොල්වතුර හෝ විනාකිරි මිශ්‍ර වතුරේ බහා තබන්න. එවිට ඉක්මනින් මස් ටික මෘදු වේ.

 

තම්බපු බිත්තරයක කහමදය නොකැඩී දෙකට කපා ගැනීමට යොදා ගන්නා පිහිය අයිස් වතුරේ ටික වෙලාවක් තබා කපන්න.

 

මාළු පිළීගඳ නැති කර ගැනීමට හාල් වතුරෙන් සෝදන්න. කහකුඩු , දෙහි , ලුණු එකතු කර සෝදන්න.