වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඔයත් නන්දා වගේ හිතන්න
ගැහැනිය මෙලොව අපූරුතම නිමැවුම් අතර ඉහළින්ම සිටී. ඈ විටෙක ආදරයෙන් පිපෙයි. ආදරයෙන් සුවඳවත් වෙයි. ආදරයෙන් පැහැගැන් වෙයි. ආදරේ නාමයෙන් පරව යයි. එසේම කාන්තාවක් ලොව ජීවනාලිය බඳුය. ලෝකයට ජීවය දෙන්නිය, ලෝකය හැඩ කරන්නිය, ලෝකය සුන්දර කරන්නිය වන්නේ ඇයයි. දියණියක,මිතුරියක, සහෝදරියක, බිරියක, මවක ලෙස ඇය ලබා දෙන්නාවූ සේවය මිල කළ නොහැකිය. එසේ වුවත් කාන්තාවකට ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය සතුද? කාන්තාවක් ස්වාධීනව කටයුතු කරන්නේ කොහොමද?
කාන්තාවක්, ළදැරියක්, තරුණියක්, මානවිකාවක්, පෙම්වතියක්, බිරියක්, මවක් මේ කොයි විදිහට ආවත් එයාගේ ජීවිතයේදී ස්වාධීනව තීරණ ගන්න එයාට ඉඩ දෙන්නෙ නැති ආසියාතික සමාජයේ රටවල් ගැන ඔබ කොතෙකුත් අහලා දැකලා ඇති.
අතීත කාලයේදී බමුණෝ මතයක් ඉදිරිපත් කරලා තිබුණා දියණියක් කුඩා කාලයේදී පියා යටතේත්, තරුණ කාලයේදී සැමියා යටතේත්, මහලු වියේදී පුතුන් යටතේත් ජීවත් විය යුතුයි කියලා. කිසිම කාලයක ගැහැනියට ස්වාධීන වෙන්න දෙන්න එපා කියලා මේ බමුණෝ කිව්වා. නමුත් වර්තමානයේදී ගැහැනියට එහෙම ඉන්න බැහැ. මොකද මම පුද්ගලිකව දන්න ගොඩාක් ලොකු සමාගම්වල අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ කාන්තාවන්. මේ කාන්තාවෝ ස්වාධීන තීරණ හොඳ නායකත්වයකින් වැඩ කරන අය. මේ තීරණ වරදින්නෙත් නැහැ. මොකද ගොඩක් වෙලාවට ඒවා ඒ සමාගම් වෙනුවෙන් ගන්න හොඳ තීරණ.
හැබැයි තවමත් කාන්තාවකට ස්වාධීනව තීරණ ගන්න දෙන්නේ නැති තැන් තියෙනවා. කාන්තාවට ස්වාධීනව තීරණ ගන්න පටන් ගන්න හොඳම තැන ගෙදර. පොඩි කාලේ ඉඳන්ම අම්මලා කරන්නේ ගැහැනු දරුවන්ව හැම පැත්තෙන්ම සීමා කරන එක. "ඕක කරන්න එපා. ඔයා ගැහැනු ළමයෙක්නේ" අපේ අම්මලා දුවලට කියන කතාවක් ඒක. මගේ ජීවිතය ගත්තොත් මම පොලිස් සේවයට බැඳෙන කොට.. මම වෙඩි තියන්න පටන් ගන්න කොට මගේ අම්මලා කැමැති වුණේ නැහැ. අන්තිමට මට එයාලා මඟ හෙළි කරලා දුන්නා. එක පරම්පරාවක් තිබුණා ගැහැනු ළමයින්ට උගන්වන්නේ නැහැ. මගේ අම්මලාගේ පරම්පරාවේ අයට තාත්තලා අකුරු ලියන්න උගන්නලා නැහැ. කොල්ලන්ට ලියුම් ලියයි කියලා. මම තමයි අපේ පරම්පරාවේ විශ්වවිද්‍යාලයට ගියපු පළමු ළමයා වෙන්නේ. හැබැයි තේරුණු පළමු ගැහැනු ළමයා වෙන්නේ මම නෙවෙයි. මගෙ අප්පච්චිලාගෙ නංගිලාට සිද්ධ වුණා ගුරු වෘත්තියෙන් විතරක් සතුටක් ලබන්න. ඒ කාලේ පවුල ලොකුයි. විස්කෘත පවුලක්නේ. ඉතින් ගැහැනු ළමයෙකුට තීරණ ගන්න හයියක් තිබුණේ නැහැ. තහංචිකරණ කියන එකේ මම හැමදාම හිටියා. මම හැමදාම ඒ වෙනුවෙන් අරගල කළා මගේ අයිතිවාසිකම් වෙනුවෙන්.
මම ගන්නෙත් පිරිමි ළමයි ගන්න ලකුණු නම්, මම ඉදිරිපත්වෙලා තියෙන්නෙ පිරිමි ළමයිනුත් කැම්පස් යන විභාගයකට නම් ඇයි මට කැම්පස් යන්න එපා කියන්නේ. ඇයි මට තහංචි දාන්නේ. ඉතින් මම හිතුවා තීරණ ගන්න ඕනෙ තැනදි ස්වාධීනව තීරණ ගන්න ඕනේ කියලා. මම ඒ තීරණ ගත්ත නිසා විශ්වවිද්‍යාලයට ගියා. ඒ ඉගෙන ගත්ත දේවල්වලින් මම පෙන්නුවා මීට වඩා විශාල ලෝකයක් තියෙනවා කියලා. ඊට පස්සේ මට පෙන්නුවා ඔයා ගැහැනියක් වුණාට ඔයාට රට වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා කියලා. අන්තිමට මම ඒක කළා. ඒ එදා මම ඒ ස්වාධීන තීරණය ගත්ත නිසා. අද මගේම පවුලේ අයත් සතුටු වෙනවා මම එදා ඒ ගත්ත තීරණයට.
හැබැයි ඒ ගමන පරෙස්සමෙන් යන්නයි ගැහැනු ළමයින්ට කියලා දෙන්න ඕනේ. හැබැයි අද කාලේ මේ ගමන යද්දි පිරිමි ළමයිනුත් පරෙස්සම් වෙන්න ඕනේ. මොකද මේ සමාජයේ හමුවෙන හැමකෙනාම එක වගේ නැහැ. විකෘති ආශාවන්, විකෘති චේතනාවන් තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මේ හැමදේම එක්ක අපි මේ ගමන යන්න ඕනේ. හැබැයි මේ ගමනේදී තනියම තීරණයක් ගන්න බැරි ළමයෙක් හැදුවොත් අපි සදාකාලිකව අඳුරේ.
සැමියා මිය ගියාම සබන් කැටයක් කඩයට ගිහින් ගන්න දන්නෙවත් නැති සමාජයේ අතරමං වෙච්ච කාන්තාවෝ මට හමුවෙලා තියෙනවා. සැමියා අතහැරලා ගියාම කොහොමද මේ ගෙදර පරිපාලනය කරගන්නෙ කියලා ගොඩක් කාන්තාවෝ දන්නේ නැහැ. අද රෑට කන්නේ මොනවද කියලා හිතන්නවත් සමහර කාන්තාවෝ ස්වාධීන නැහැ. ඒකත් එයාලා මහත්තයගෙන් අහන්න ඕනේ. එහෙම අවශ්‍ය නැහැ. මමයි අම්මා. මමයි මේ ගෙදර ගෘහිණිය. මගේ අණ තමයි මේ ගෙදර තියෙන්න ඕනේ. හැබැයි පවුලක් ඇතුලේ පස් හය දෙනෙක් ඉන්නකොට එක එක්කෙනාගේ රුචි අරුචිකම් අනුව පුංචි පුංචි වෙනස්කම් කරන්න ගෘහිණියකට අයිතියක් තියෙනවා. ගම්පෙරළිය කතාවේ ජිනදාසට කෑම දෙන්නෙ නැතිකොට ජිනදාසගේ නෝනා උම්බලකඩ සම්බෝලයක් හදනවා. මම හරි ආසයි ඒ කොටසට. එතැනදී නන්දාට ස්වාධීනව තීරණයක් ගන්න පුළුවන්කම තිබුණා.
තමන්ගේ ඇඳුම ගැන, තමන්ගේ කොණ්ඩා විලාසිතාව ගැන, තමන් කන්න ඕනේ මොනවද, කන්නෙ කොයි වෙලාවටද කියන එක ගැන වගේම තමන් දරුවෙක් වැදීමේ අයිතිය ගැන කාන්තාවකට තනියම තීරණ ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මට පිට පිට දරුවෝ හදන්න බැහැ කියලා මහත්තයට තේරුම් කරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මගේ සිරුරේ අයිතිය තියෙන්නේ මට. මම ගර්භයක් දරන්නේ කොයි කාලෙද තීරණකරන්න ඕනේ කාන්තාව.
ඉතින් පුංචි කාලෙදිම දරුවන්ට ස්වාධීනව තීරණ ගන්න මවුපියෝ පුරුදු කරන්න ඕනේ. අම්මේ මම විද්‍යා විෂයයන් කරන්නද? කලා විෂයයන් කරන්නද කියලා ඇහුවම අම්මට කියන්න පුළුවන් වෙන්න ඕනේ. දුව දක්ෂ සිංදු කියන්න නේද? හැබැයි දුවට විද්‍යා විෂයයන් කරන්න පුළුවන්නම් ඔයා විද්‍යාව කරන්න. හැබැයි ඔයාට බාහිරව ඔයාගේ සතුටට කලාව කරන්නත් පුළුවන්. ඉතින් අම්මලට පුළුවන් ඒවගේ තැන්වල ඉඳලා ළමයට තීරණ ගන්න උදව් කරන්න.
අනිත් එක පවුලක් ඇතුලෙදී කාන්තාවක් ස්වාධීනව තීරණ ගන්න කොට සමාජයේ කැපී පේනවා. හැබැයි ස්වාධීන තීරණ ගන්නවා කියන්නේ ගේ ඇතුළෙදී තමන්ට ඕනේ දේ විතරක් ක්‍රියාත්මක කරන එක නෙවෙයි. මම දන්න එක පවුලක් ඉන්නවා. ඒ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි දුවලා දෙන්නයි. මඟුල් ගෙදරක ගියත් මුළු පවුලම එක වගේ අඳිනවා. සිංහල අලුත් අවුරුද්දට ඔක්කොම කතා වෙලා කොට්න් ඇඳුම් අඳිනවා. ඒ ඔක්කොම අම්මගේ තීරණ. හැබැයි ඒ අම්මා අනිත් අයගෙනුත් කැමැත්ත අහලා එකමුතු වෙලා තීරණ අරගෙන තමයි ඒ විදිහට ලස්සනට පවුල ගෙනියන්නේ.
දරුවෝ දාන්නේ මොන පාසලටද කියන්න එක අම්මා තීරණය කරන්න ඕනෙ දෙයක්. මඩකලපුව පැත්තේ කුස්සිය තියෙන්නේ ගේ ඉස්සරහා. ඉතින් සමහර පැතිවල ගෘහිණියට පවුල ඇතුලේ ලොකු තැනක් දීලා තිබුණා. අපි අදටත් ගෙදර ගියාම අම්මගෙන් ප්‍රශ්න ගොඩක් ඇහුවත් තාත්තගෙන් අහන්නේ එක ප්රශ්නයයි. "තාත්තේ කෝ අම්මා?" කියලා. ගෙදර ගියාම අම්මා ඉන්න තැන තමයි අපි ඉන්නේ. වැඩි හරියක් අම්මත් එක්ක කුස්සියේ තමයි අපි වැඩෙන්නේ. අම්මා උයද්දි අපි දවසේ විස්තර කිය කිය අම්මත් එක්ක ඉන්නවා. අම්ම තේ හදද්දිත් අපි එතැන ඉන්නවා.
ඒ වගේම පවුල තුළදී කාන්තාවක් ගන්න තීරණයට අනිත් අය විරුද්ධ වෙනව නම් ඒක සාධාරණීයකරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. මහත්තයා කියනවා නම් ළමයව චෙස් ක්ලාසුත් දාන්න ඕනේ. නැටුම් ක්ලාසුත් දාන්න ඕනේ. චිත්‍ර ක්ලාසුත් දාන්න ඕනේ කියලා. එතකොට අම්මා කෙනෙක්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ දරුවෙකුට අපිට වගේම විවේකයක් ඕනේ. ඒ නිසා ඒක කරන්න බැහැ කියලා. හැබැයි ඒක කියන්න ඕනේ සැමියාගේ අභිමානයට, පවුලේ ගෞරවයට හානි නොවෙන විදිහට.
එතකොට ගන්න තීරණයට අනිත් ඔක්කොම විරුද්ධ නම්.... ඔයා කිව්වොත් නැහැ මම ඒක කරනවා කියලා ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒ තීරණය ගන්න එකෙන් වෙන වාසිය ගැන හොඳ පැත්ත ගැන ඒකේ සාධාරණය ගැන කතා කරන්න. මොකද ඔයා ගන්නේ වැරදී තීරණයක් නම් ඔයා ස්වාධීනව ගන්න තීරණයෙන් වැඩක් නැති වෙනවා වගේම අනතුරක් වෙන්නත් පුළුවන්.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව