වර්ෂ 2024 ක්වූ December 16 වැනිදා Monday
මගේ තිබුණු එකම බලාපොරොත්තුව තාත්තා ගොඩදාන එක
බස් එක තමයි මගේ ජීවිතේ
පොලියට ගත්ත සල්ලි ගෙවන්න මං දුක් කන්දරාවක් වින්්දා
දහසක් කැපකිරීම් වෙනුවෙන්, රෑ දවල් දකින හීන බලාපොරොත්තු වෙනුවෙන්, මෙතෙක් නොලැබුණු වටිනාකම් වෙනුවෙන් දවසක සොබාදහම හොඳම දේ දෙනවා, සත්‍යවාදී මිනිස්සුන්ට. ඔව්, ජීවිත ඇතුළෙ ප්රාතිහාර්ය සිද්ධ වෙනවා හදවත් සුන්දර මිනිස්සුන්ට.
මේ කියන්න යන ඇයත් ඒ වගේම සුන්දර හදවතක් තියෙන හිත හයිය පුංචි කෙල්ලක්. ඇය කොන්දොස්තරවරියක්. පිරිමින්ට පමණක් උරුමයි කියන මේ විදිහේ රැකියාව තෝරගත්තෙත් ගෙදර තිබ්බ දහසකුත් ප්‍රශ්නවලට පිළියමක් විදිහටයි. හැබැයි එයාගේ හීනය වුණෙත් බස් එකක වැඩ කරන්න. රත්ගම පදිංචි ඇය අසේකලා මධුවන්ති. ගාල්ල - අම්බලන්ගොඩ බස් රථයේ වැඩ කරන මේ පුංචි කොන්දොස්තරවරියට තවම වයස අවුරුදු 21යි. නොලැබීම් ඉවසගෙන, ලැබීම් විඳිමින්, ප්‍රතික්ෂේපවීම් මැද හීන පරිස්සම් කරගෙන යන ලස්සන ගමනක් ඇයට තිබුණේ. පවුලෙම බර කරට ගත්ත ඇගේ කතාව ඇය තරුණීට දිග හැරියේ මේ විදිහටයි.. "මම පවුලේ එකම දරුවා. ඉතින් මගෙ ලෝකයම වුණේ මගේ අම්මයි තාත්තයි. මගේ හැමදේටම ඉන්නේ ඒ දෙන්නා විතරයි. තාත්තා කළේ තැඹිලි විකුණන එක. තාත්තා හිතපු නැති වෙලාවක අසනීප වුණා. තාත්තා කේ. නන්දසේන. එයාට පිත්තාශයේ රෝගයක් තිබුණේ. රෝගය හොයාගන්නත් සෑහෙන කල් ගියා. ප්‍රතිකාර ගන්නකොට පිත්තාශය පුපුරන්න ඔන්න මෙන්න තියෙන්නෙ කියලයි වෛද්‍යවරු කිව්වෙ. එතකොට රෝහලේ ලෙඩ්ඩු වැඩි කියලත් ප්‍රතිකාර කරන්න කල් ගියා. අන්තිමට මම තාත්තව හොඳ කරගන්න කියලා පොලියට ණයක් ගත්තා. ඒ විදිහට තැන් කිහිපයකින්ම පොලියට සල්ලි ගත්තා.
සල්ලි නැහැ කියලා තාත්තව අතහරින්න බෑනේ. තාත්තගේ අසනීපෙත් එක්ක මම සෑහෙන අසරණ වුණා. මොකද මම පවුලේ තනි ළමයා නිසා උදව්වටවත් කෙනෙක් නැහැනේ. ඉතින් මේ ණය ටික ගෙවාගන්න ඕනෙ නිසාමයි මම රස්සාවක් හෙව්වේ. කොන්දොස්තර රස්සාවක් මට අන්තිමට හම්බුණා. සෙනසුරාදා ඉරිදා විතරයි බස් එකේ වැඩ කරන්නේ. ඒ හම්බෙන සල්ලිත් අම්මගෙ අතට ගෙනත් දෙනවා. අම්මා එස්. ඥානවතී. අම්මත් පොඩි ආයතනයක ක්ලීනින් ජොබ් එකක් කරනවා. ගත්ත ණයත් දැන් ටික ටික ගෙවාගෙන යනවා.
ගැහැනු ළමයෙක් කොන්දොස්තරවරියක් වෙනවා කියන්නේ වෙනස් දෙයක්. ඇයි මේ වගේ රැකියාවක්ම තෝරගන්න හිතුවේ?
මේ මගේ මුල්ම ජොබ් එක නෙවෙයි. මම කජු කවර හදන පොඩි බිස්නස් එකක් මුලින් කළේ. එක කවරයකට සත 40යි ලැබෙන්නේ. මම ගාමන්ට් පවා ගිහින් තියෙනවා. මම පොඩි කාලේ ඉඳන්ම බස්වලට හරි ආසයි. මට හිතුණා බස් එකක වැඩ කරන්න තිබුණානම් හොඳයි කියලා. ඉතින් මං දවසක් මගී ප්‍රවාහන අධිකාරීයෙන් ඇහුවා ගැහැනු ළමයින්ට කොන්දොස්තර ලයිසන් ගන්න පුළුවන්ද කියලා. එහෙන් කිව්වා ගන්න පුළුවන්, හැබැයි ගත්ත ගමන් වැඩත් කරන්න ඕනේ කියලා. අපේ ගමේ බස් එකේ වැඩ කරන මල්ලි කෙනෙක් ඉන්නවා චලන කියලා. ඉතින් මං ඒ මල්ලිට කිව්වා මල්ලි මට ගෙදර මෙහෙම ප්‍රශ්න වගයක් තියෙනවා. ඉතින් මට වැඩකරන්න බස් එකක් හොයලා දෙන්න කියලා. එයා ලක්ෂිත බස් එකේ අයියට මගේ ප්‍රශ්න ටික කිව්වම එයා මට ඒ බස් එකේ කොන්දොස්තර වැඩේ පුරුදු කරන්න කැමති වුණා. ඉතින් මං ලයිසන් එකත් අරගෙන දවස් තුනක් කොන්දොස්තර වැඩේ පුරුදු වුණා. හතර වෙනි දවසේ ඉඳලා බස් එකේ වැඩ කරන්න පටන් ගත්තා.
මේ වගේ රස්සාවක් කරන එක ගැහැනු ළමයෙක්ට අභියෝගයක් ද?
මේ ජොබ් එක පටන් ගනිද්දී ගොඩක් අය එක එක දේවල් කිව්වා. හැබැයි මේ රස්සාව කරද්දි ඒ කියපු තරමේ ප්‍රශ්න නම් නැහැ කියලා හිතුණා. හරිම කලාතුරකින් තමයි ප්‍රශ්නයක් ඇති වුණොත් ඇති වෙන්නේ. මං ඉන්න බස් එකේම යන්න ආසාවෙන් ඉන්න පිරිසක් ඉන්නවා. මිනිස්සු මට හරි ආදරෙයි. මෙහෙම්ම බස් එක පදින්නත් ඉගෙන ගන්න කියලා එයාලා කියන්නේ. දැන් මාස හතරක් වෙනවා මම මේ රස්සාව පටන් අරන්. මම වෘත්තීය පුහුණු අධිකාරියේ ඔටෝ මොබයිල් ටෙක්නිෂිියන්(මෝටර් රථ කාර්මික ශිල්පය)පාඨමාලාව හදාරන ගමන් ඉන්නේ. සතියේ දවස්වලට කෝස් එකට යනවා. සති අන්තයේ බස් එකේ වැඩ කරනවා. මම රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ඉගෙන ගත්තේ. උසස් පෙළ වෙනකම් ඉගෙන ගත්තා. උසස් පෙළට කලා අංශයෙන් පෙනී හිටියේ. සී සාමාර්ථ තුනක් තියෙනවා.
රැකියාව නිසා අධ්‍යාපන කටයුතු මඟ හැරෙන්නේ නැද්ද?
අධ්‍යාපනය නැතුව අනාගතයක් නැහැ කියලා මම දන්නවා. ඒ නිසා අධ්‍යාපනයයි රැකියාවයි මම හරියට කරනවා. මම වැඩ කරන්නේ මම ආසම වාහනේ. හරිම ආසාවෙන් වැඩ කරන්නේ. ඉතින් මට අපහසුවක් දැනෙන්නේ නැහැ ආසාවෙන් කරන නිසා. අපි අකමැති දෙයක් කළොත්නේ අපහසුයි කියලා දැනෙන්නේ. මම වාහන හදන එක වුණත් කරන්නේ හරිම ආසාවෙන්. මම දැන් බස් තුනක වැඩ කරනවා.
මම කෝස් එකේදී කරන්නෙත් වාහන හදන එක ඉගෙන ගන්න එක. මට කවදාහරි මගේම බස් එකක් ගන්නයි ඕනේ. දැනට ඒකට වත්කමක් නැති වුණාට, මට දවසක ඒ තැනට යන්න පුළුවන් කියලා මං දන්නවා.
මේ රැකියාවත් එක්ක වැඩියෙන් ගැටෙන්න වෙන්නේ පිරිමි පාර්ශ්වයත් එක්කනේ. ඉතින් එයාලා එක්ක වැඩ කරන එකම ගැහැනු ළමයා වීම ගැන මොකද හිතෙන්නේ?
ඒ හැමෝම හරි ආදරෙයි. බස් එකේදි කන්න බොන්න ටික පවා එයාලගේ ගාණේ මට අරන් දෙනවා. කාටවත් මට වචනයක් කියන්න බැරි වෙන්න එයාලා මාව බලා ගන්නවා. කවුරු හරි වචනයක් හරි කිව්වොත් එයාලට කියන්න කියලයි මට නිතරම කියන්නේ. මම පොඩි කාලේ ඉඳලම කොල්ලෙක් වගේ ඉන්නෙත්. ඒ නිසාම වෙන්න ඇති මට එයාලව මගේම අය වගේ දැනෙන්නේ. මේ කෝස් එක ජනවාරිවලින් ඉවරයි. ඒ ඉගෙන ගත්ත දේවල් වලින් ගරාජ් එකක් දාලා මගේම කියලා බස් එකක් පාරට දාන්න තමයි බලාගෙන ඉන්නේ. මම කරන කෝස් එකත් එක්ක පිටරට ජොබ්වලට ඕෙන තරම් අවස්ථා තියෙනවා. ගොඩක් අය කියනවා ඒවට ඉල්ලුම් කරන්න කියලා. ඒත් අම්මා තාත්තා දාලා මට යන්න බැහැනේ. තාත්තා සුවවෙන ගමන් ඉන්නේ. ඒත් ඒ අමාරුකම් පැත්තකට දාලා සමහර අවස්ථාවල තාත්තා තැඹිලි විකුණන්න යනවා. අම්මා මට හැමදාම කිව්වේ තමන්ගේ දහඩිය මහන්සියෙන් හම්බකරගෙන කන්න කියලා. ඉතින් මේ රස්සාවෙන් කොහොම හරි ගේම ගහලා දවසක ගොඩ යනවා.