වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
කිරි උතුරන බලගතු රහස්
උදාවන 2025 වසර ජයග්‍රාහී වසරකි. මේ ජයග්‍රාහී වසරේ ඔබගේ ජයග්‍රහණය හිමිකර ගැනීමේ හැකියාව ඇත්තේ ඔබටමය. ඉවසීම තුළ ඔබට බොහෝ ජයග්‍රහණ හිමිවෙයි. ඉවසීම තුළ ශාන්ත භාවය උදාවෙයි.
කිසිවෙකුටත් කරදරයක් නොමැතිව ජීවත් වීමෙන් ඔබට මේ ඉලක්කය කරා පහසුවෙන් ළඟා විය හැකි වෙයි. විශේෂයෙන්ම උදාවන වසර වෘශ්චික ලග්න හිමියන්ට සුවිශේෂී වසරකි. මේ බව අප පසුගිය ලිපියකින් ද වඩාත් හොඳින් විමසුමට ලක් කළේ වෘශ්චික ලග්නය ගැන පුළුල් විග්රහයක්ද කරමිනි. වෘශ්චික ලග්න හිමියන්ට පමණක් නොව උදාවන වසරේ සැමටම වාසනාව ජයග්‍රහණය හිමිකර ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙත් ගණනාවක් පවතී. ඒ පිළිවෙත් අතුරින් උදාවන වසර සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් කිහිපයක් ඉදිරිපත් කරමු.
ඔබ ඉවසීම තුළ පිංවන්තව ආගම දහම තුළ ලැදිව කටයුතු කරයි නම්, පංචසීලය ආරක්ෂා කර ගනිමින් ඇසුරු කරන සෑම දෙනා සමඟම මෛත්‍රිය වපුරවමින් ජීවත් වෙයි නම්, 2025 වසර තුළ ඔබට ජයග්‍රාහී වසරක් ලෙසින් ගත කිරීමට වාසනාව ළඟා කර ගත හැකි වනු ඇත. ඔබ උදාවන වසරේ ජනවාරි 01 දා සිට උදයේ හිරු උදාවත් සමඟ බෞද්ධයකු ලෙස සබ්බ පාපස්ස අකරණං ගාථාව 09 වරක් ගායනා කරන්න. ඔබ අන් අයට කතා කරන ආකාරය අන් අයටත් ඔබටත් යහපතක් වෙන ලෙසින්ම අමතන්න. ඔබ ක්‍රියා කරන ආකාරය අනුව ඔබටත් අන් අයටත් යහපත උදා කර ගත යුතු වෙයි. මෙලෙස ඔබ ජීවිතය තුළ හැසිරෙයි නම් ඉබේම ඔබ පින් කරන අයකු බවට පත්වෙයි. ඔබ මෙලෙසින් ජීවත් වීම තුළ කරන්නේ තවත් අයෙකුට යහපතකි. ඒ නිසා 2025 වසර පුරාම හැකි සෑම අවස්ථාවකම මෛත්‍රී භාවනාව කරන්න. උදේ සවස බුදුන් වඳින්න. පංචශීලය රැකගැනීම සඳහා උපරිම උත්සාහ කරන්න. දාන, පුද පූජා පවත්වා පින් රැස් කර ගන්න. ඒ සඳහා ඔබගේ උපන් දිනය හොඳම අවස්ථාවකි.
මෙලෙස ඔබ පින් කිරීමේදී ඔබගේ ඉෂ්ට දේවතාවන්ට, නිෙවස ආරක්ෂා කරන දෙවියන්ට, සතර වරම් දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. එවිට එම දෙවියන් බලවත් වෙයි. එම දෙවියන් ඔබ දෙස ඉතාම කරුණාවෙන් දිවැස් හෙළයි. මෙලෙස කටයුතු කිරීමේදී නිරායාසයෙන්ම 2025 වසර ඔබට වාසනාවන්ත වසරක් වෙයි.
ඔබ මෙසේ කටයුතු කිරීමේදී ඔබ නියුතු ක්ෂේත්රයේ ද දියුණුවක් ඇති වෙයි. ඔබ ව්‍යාපාරයක් කරන්නේ නම් එහි දියුණුව නියත ලෙසම උදා කරයි. එසේම වෘත්තිය හැකියාවන්ට දියුණුව ලැබෙයි. මේ දියුණුව ඔබට කිසිවෙකුත් ලබා නොදෙයි. මේ දියුණුව ඔබ විසින්ම සොයා යා යුතුයි. ඔබගේ නාවාංෂය බලවත් නිසා දියුණුව සොයා යා යුතුය. මෙසේ ඔබට දියුණුව ළඟා කර ගැනීමට නම් තම යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු වෙයි. ඔබගේ මව්පියන්ට හොඳින් සලකන්න. ඒ අයට ගෞරව දක්වන්න. එවිට ඔවුන් හදවතින්ම ඔබට ආශීර්වාද කරයි. තම මව, පියා යනු ජීවමාන බුදුන් ය. ඒ අයගේ ආශීර්වාදය නොමැතිව කිසිවක් සඵල නොවෙයි. එසේම ඔබගේ සහෝදර සහෝදරියන්ගේ කටයුතු වෙනුවෙන් උදව් කරන්න. ඒ අය කරන ආශීර්වාදය ඉතා ප්‍රබලයි.
ඔබ වෘත්තීය මට්ටමෙන් කරන රැකියාව ඉතාම කැපවීමෙන් කරන්න. එවිට ඔබට ආයතන ප්‍රධානියා හා අනෙකුත් සියලු දෙනා ආශීර්වාද කරයි. එයද ඔබේ ඉදිරි වසරේ දියුණුවට බෙහෙවින්ම හේතුවන්නකි.
2025 වසර ව්‍යාපාරික ක්ෂේත්රයේ ඔබට දියුණුව ළඟා කර ගැනීම සඳහා ක්‍රම රාශියක් පවතී. විදේශීය රටවලින් භාණ්ඩ අානයනය කිරීමෙන් ඔබට හොඳ ආදායමක් ලැබීමට හොඳම වසරකි. සත්ත්ව නිෂ්පාදන එළකිරි නිෂ්පාදනය තුළින් හොඳ ආදායමක් උපයා ගැනීමට හැකි වෙයි. එසේම සේවකයන් කළමනාකරණයේ හොඳ ආදායමක් ලබා ගැනීමට අවස්ථාව උදා කර ගන්න. ව්‍යාපාරික ක්ෂේත්රය තුළ ශාන්තව ගත කිරීමට හැකි කාලයක් ලෙස උදාවන 2025 වසර සනිටුහන් කරයි.
ඔබට උදාවන වසර තුළ ජීවිතයේ විවිධ ගැටලුවලට මුහුණ දීමටද සිදුවන අවස්ථා උදා වෙයි. ඔබ වෘත්තීය මට්ටමේ රැකියාවක නියුතු වේ නම් එම ගැටලු සඳහා විසඳුම් ලැබෙන වසරක් ලෙස උදාවන වසර විශේෂිත වෙයි. වෘත්තීය මට්ටමෙන් උසස් නිලධාරීන් ඇසුරටත් තම වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට හැකි සාමකාමී පරිසරයක්ද උදාවනු ඇත. උදාවන නව වසර තුළ ඔබගේ අධිෂ්ඨානය ඔබව දියුණුවෙන් දියුණුවට පත් කරයි. කිසිම ආකාරයකින් ඔබව පරාජය කළ නොහැකි ලෙසින් මේ ජයග්‍රහණ හිමිකර ගැනීම සඳහා ජනවාරි පළමු දිනයේ හැකි නම් ආගමික ස්ථානයකට ගොස් වත් පිළිවෙත් කර ආගමික නායකයින්ගේ ආශීර්වාදය හිමිකර ගන්න. එසේ කිරීමට ඔබට නොහැකි නම් අඩුම වශයෙන් උදෑසන මල් පහන් පූජා කර නිවෙසේ පහනක් දල්වා කිරිබතක් සකස් කර පවුලේ සෑම දෙනා සමඟ සතුටින් නව වසර ආරම්භ කරන්න. නියත ලෙසම උදාවන වසර කිරි උතුරන නව වසරක් වනු නියතය.
උපදෙස් ප්‍රවීණ ජ්යොතිශවේදීනි අංක විද්‍යා විශාරද
සුජීවා කරුණරත්න