වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
වතුර උගුරක්වත් නොබී බෑග් විකුණපු දවස් තිබුණා
අංක 3/15, අලවත්ත, කුරිකොටුව, වේයන්ගොඩ. මේ මගේ සිනහව කඳුළ පිරි නිවහන පිහිටි තැනයි. සිනහවටත් වඩා කඳුළු පිස දැමූ තෝතැන්න කීවොත් මා නිවැරැදියි. එතරම්ම මගේ ජීවිතය කටුකයි. මගේ ළමා කාලය, තරුණ කාලය, අනෙක් ගැහැනු දරුවන්ගේ මෙන් සොඳුරු වූයේ නැහැ.
මම මනෝරි ඩයස්. මගේ තාත්තා පෞද්ගලික ආයතනයක ඉතා සාමාන්‍ය සේවකයෙක්. අම්මා ගෘහණියක්. මට බාල සහෝදරියක් විතරයි ඉන්නේ. පුංචි පවුලක් වුණත් එදිනෙදා ජීවත්වෙන්නත් ලොකු වෙහෙසක් දරන්නට වුණා.
ඒ කාලෙ අපිටම කියලා වැටිලා ඉන්න තැනක්වත් තිබුණේ නැහැ.
කොළඹ නගර සීමාවේ කුලී ගෙවල් කිහිපයකම අපේ කාලය ගෙවී ගියා. අපිට අපේ කියලා ගෙයක් නැතිකමට ඥාතීනුත් හිනාවුණා.
මේක මගේ හිතට තදින්ම බලපෑවා. පිරිමි පුතෙක් නොසිටි අපේ ගෙදර පවුලේ බර වැඩිමහල් දෝණි වූ මට කරට ගන්න සිද්ධ වුණා.
ඒ හින්දම උසස් පෙළින් පසුව තවත් ඉහළට ඉගෙන ගන්න හිතුවේ නැහැ.
ගෙදරට සහනයක් වෙන්න මොකක්හරි රස්සාවක් කරන්නයි ඕනේ වුණේ. ඒ නිසාම රැකියා කිහිපයක්ම කළා.
රැකියාවෙන් ලැබෙන පඩියෙන් කෑම බීමවලට වෙන්වුණාම ඉන්න හිටින්න අපේම තැනක් හදාගන්න වෙන්කරන්න බැරි වුණා. ඒ හේතුවෙන් මා විදෙස් ගතවුණා.
නැවතත් අවුරුදු හතකට පසු මා ලංකාවට ආවා. ඒ වේයන්ගොඩ ප්‍රදේශයේ ඉදිකළ මගේම නිවහනටයි.
එහි අම්මා, තාත්තා, නංගී, මම බොහොම සතුටින් කාලය ගත කළා. ඒත් අම්මා හදිසියේ නැතිවුණා.
තාත්තට දරුණු රෝගයක් වැලඳුණා. ඒ අතර මම නංගීව විවාහ කරදීමේ වගකීමත් ඉටුකළා.
මම තනිවෙයි කියන බය තාත්තාගේ හිතේ තිබුණා.
හිතවතකුගේ යෝජනාවකින් ජෙරාජ් පෙරේරා සමඟ විවාහ වුණා. ඒත් එක්කම තාත්තාත් මියගියා.
විවාහ වූ මුල් කාලයේම සැමියාත් අසනීප වුණා. ඔහුට රැකියාවක් කිරීමට නොහැකියි.
මම කබලෙන් ළිපට වැටුණා වගේ. ඒත් මගේ සැමියා බොහොම ගුණ යහපත් අයෙක්. අතේ තිබුණු පුංචි මුදලකින් මා බෑග් මහන්න පටන් ගත්තා.
දවසක් බෑග් විකුණන්න ගිය මට කිසිම බෑගයක් අලෙවි කරගන්නට පුළුවන් වුණේ නැහැ. අතේ තිබුණේ රුපියල් 10 යි. වතුර උගුරක්වත් නොබී ඒ රුපියල් 10 ඉතිරි කරන් ගෙදර ආවා.
ඒ අතර දෛවය මට අවස්ථාවක් දුන්නා. ඒ ගම්පහ බෑග් අලෙවි සැලක ඇණවුමක් ලැබීමයි. ඒ සඳහා මම කුඩා ව්‍යාපාර අංශය හා එක්වී විවිධ පුහුණු වැඩසටහන්වලට සහභාගි වුණා.
මට හොඳ ශක්තියක් වුණේ, මගේ එකම පිහිට වුණේ ගම්පහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයයි. එයින් ව්‍යවසායකත්ව ප්‍රදර්ශන බොහොමයකට සහභාගි වුණා. මගේ බෑග් අන්තර්ජාලයෙන් අලෙවි කරගැනීමට අවස්ථාව ලබාදුන්නා.
වේයන්ගොඩ නගරයේ 'මැවික්මා සෙන්ටර්' නමින් පුංචි බෑග් අලෙවි සැලක් විවෘත කළා. එහි අලෙවි කටයුතු සැමියාට බාරදුන්නා.
මේ අතර මම තව බොහෝ ස්වයං රැකියා ඉගෙන ගත්තා.
කොරෝනා පළමු රැල්ලේ දී ව්‍යාපාරය නැවතත් කඩා වැටුණා. අතේ සතේ නැතිවුණා. එවිට ගෙවත්තේ වගාවට යොමුවුණා. රටේ තත්ත්වය යහපත් වූ මාස කීපය තුළ බත් පැකට් අලෙවි කළා. දැන් නැවතත් කොරෝනා වසංගතය හමුවේ මම අසරණයි.
ඒත් උත්සාහය අත්හරින්නේ නැහැ. ඉවත දමන ප්ලාස්ටික්වලින් නිර්මාණ බිහි කරනවා. ඒවා අන්තර්ජාලයෙන් අලෙවි කරන්න කටයුතු කළා. කාලයක් මම නුගසෙවණ සම්පත් දායිකාවක් ලෙස සම්බන්ධ වූවා. එයින් ලැබූ ජනප්‍රියත්වය අදටත් එලෙසමයි.
ඒ ප්‍රේක්ෂක ඉල්ලීමට අනුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, වේයන්ගොඩ, නුවර යන නගරවල බෑග් නිර්මාණ පිළිබඳ පංති මෙහෙවනු ලබනවා.
වැටුණ තැනින් නැගිටපු ජීවිතේ ලොකු පන්නරයක් ලැබුවා.
සැබැවින්ම මා දිරිය ගැහැනියක් වීම මටම ලොකු ආත්ම ශක්තියක් ඇති කළා. ගැහැනියට දරාගත නොහැකි දෙයක් නැහැ. අවශ්‍ය වන්නේ නොපසුබස්නා උත්සාහය පමණි.