වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
අත හෙල්ලුවොත් කට හොල්ලන්න පුළුවන්
සතර අතින් ම ඇහෙන්නේ ආහාර හිඟයක් ගැන කතා. මල්ලක් අරන් එළවළු කඩේ ට ගියත් එන්න වෙන්නේ හිස් අතින්. නැත්නම් වෙනදා ගන්න තරමින් අරික්කාලක් අරගෙන. එළවළු රත්තරන් තරමට ගණන් ගිහින්.
හෙට අනිද්දා වෙන කොට රත්තරන් දුන්නත් එළවළු ගන්න නැතිවෙයි කියලයි සමහරු කියන්නේ. මෙහෙම ගියොත් මගෙ පැණි කොමඩු ගෙඩිය, කැකිරි පළුව කියලා බාල බොලඳ විදියට ආදරවන්තිය ආමන්ත්‍රණය පෙම්වතුන් “ අපි කිව්ව හරි නේද ? එළවළු හරි ගණන්. රත්තරන්වලටත් වඩා වටිනවා නේද ? “ කිව්වොත් පුදුමයක් නැහැ.
මෙහෙම වුණේ ඇයි ? අපේ අතීත ගෘහණියන් සෑම දෙය ම මුදල ට ගන්න බලා සිටියේ නැහැ. අත හෙල්ලුවොත් කට හොල්ලන්න පුළුවන්. කියන කතාව ඒ කාලයේ ඇත්තන් ප්‍රායෝගිකව ම අත් දැක්කා.
එත් දැන් වටිනා දේ අමතක වෙලා ගිහින්. වවන්නෝ දිනන බවත් අමතක වෙලා. අපේ අම්මලාත් අතේ ඇඟිලි ටික හොල්ලන්නේ ස්මාට්ෆෝනයෙන් යූටියුබ් යන්න, මුහුණු පොතට යන්න විතරනේ. ඉතුරු වෙලාවෙදී මෝඩයා ගේ
පෙට්ටිය ඉදිරියේ කට ඇර ගෙන බලා ඉන්නෙ ගෙදර වැඩ උඩින් පල්ලෙන් ඉවර කරලා. ළඟදී එක් ස්වාමීන් වහන්සේ නමක් ළමයින් පූජා කරන්න මල් ගේන්නෙ නැති නිසා දහම් පාසලක් වහන බව දේශනයේදී සඳහන් කළා. මල් ගහක් වවන්න ඉඩක් නැති බව සමහර අම්මලා ඒ ස්වාමීන්වහන්සේ ට පවසා තිබුණා. තමන් ජීවත්වන්නේ මොනතරම් කුඩා නිවෙසක ජීවත් වුණත් ගෙමිදුලේ ප්‍රමාණය කුමක් වුවත් ගෙමිදුලක් නැතත් පුංචි වගාවක් කරන්න එය බාධාවක් නො වෙයි. පස් නැතුව ජලයේ පවා වගා කරන ක්‍රම දැන් ඔබේ ආදරණීය යූටියුබ් එකේ ම තියෙනවා. පොල් ලෙලි, සායම් ටින්, ප්ලාස්ටික් බෝතල්, පොල්කටු වගේ විසිවෙලා යන ගොඩක් දේ වගා කිරීමට යොදා ගන්න පුළුවන්.
කෝවිඩ් - 19 වසංගතය මිනිස් ජීවිතවලට පාඩම් ගොඩක් කියාදුන්නා. පහසුවෙන් ම කුඩා භාජනයක වවා ගන්න පුළුවන් ඉඟුරු, කහ පවා ඒ කාලෙ හිඟ වුණා. කහ ලැබෙන තුරු ඉන්දියාවට දත නියවා ගෙන බලා සිටින්න සිදු වුණා. එළවළු හිඟයක රතු එළියත් ඒ වගේ දෙයක්. ස්මාට්ෆෝනයේ ඇති පුහු දේවල් රස විඳින්නේ නැතිව හොඳම දේ සොයා යන්න. එහි ගෙවතු වගාවට නැති උපදෙසක් නැහැ.
එක තැන වාඩිවී තලුමරණ බොලඳ දේට වැඩි යමක් ගෙවතු වගා පාඩමකින් එළවළු හිඟ මේ කාලේ ජීවිතයට එක් කර ගන්න පුළුවන්. එළවළු හිඟ නැතත් ගෙවතු වගාව කියන්නේ අලුත් අවුරුද්දේ ජීවිතයට අලුතින් එක්කරගත යුතු හොඳ පුරුද්දක්.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දිනකට එළවළු , පලතුරු වර්ග පහ බැගින්වත් කෑමට ගන්නා ලෙසයි. වගා කිරීමේදී එය පහසුවෙන් ම කළ හැකියි. එළවළු ගිනි ගණන් කියමින් මුදල් පසුම්බිය දෙස බලා සුසුම් නො හෙලා ඒ මුදලත් ප්‍රයෝජනවත් දෙයක ට ඉතිරි කර ගන්න පුළුවන්.
අම්මා තාත්තා වගා කරන විට දූදරුවන් ද එහි කොටස්කරුවන් වෙනවා. පුංචි ඇටේ පැළ වෙලා ගසක් වෙලා පල දරද්දී පාඩම් පොතකට වඩා වටිනා දේවල් ජීවිත පොතට එක් වෙනවා. එපමණක් නොවෙයි අපව මෝඩයාට අන්දවන වැඩසටහනක් බලනවාට වැඩි සතුටක් වින්දනයක් ආත්මතෘප්තියක් ලබා ගැනීමට ද ඉන් අවස්ථාවක් උදා වෙනවා. වගාවෙන් ආතතිය හිරු දුටු පිනි සේ පලා යනවා. වසංගත සමයේදී බොහෝ දෙනෙක් ආතතිය දුරුකර ගත්තේ ගෙවතු වගාවෙන්.
පාසලේ ව්‍යාපෘතියක ට පවා වගා අත්දැකීම දරුවන් ට ප්‍රයෝජනවත්.
පමණට වඩා පල දැරුවොත් ඒවා අසල්වැසියන් නෑහිත මිතුරන් අතර බෙදා ගෙන සුහදත්වය වැඩි කරගන්නත් පුළුවන්.
පලිබෝධනාශක - කෘමිනාශක ගැන කතා වෙන මේ කාලයේ වසක් විසක් නැතිව කාබනික පොහොර යොදා හදපු එළවළු පලතුරු කෑමට ගන්නා විට නැති ලෙඩ ඇති වෙන්නේත් නැහැ. වගා බිමේදී ඇඟටපතට නො දැනී ලැබෙන ව්‍යායාම ද ශරීර සෞඛ්‍ය පවත්වා ගන්න ප්‍රයෝජනවත්. ගෙවතු වගාවේ සුන්දර යහපත් ප්‍රතිඵල ලබන්න ඕනෑම වයසකදී පුළුවන්. නිවෙසේ ගෘහණිය ට මුලු පවුල ම වගා සංග්‍රාමය ට එක්කර ගන්න හැකියාව තියෙනවා. එය අලුත් අවුරුද්දේ අලුත් ම අභියෝගයක්, ඉලක්කයක් කර ගන්න.