විනෝදාංශයෙන් ආදායමක් උපයමු

සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත්වෙමු
ජනවාරි 10, 2022

 

පවුල් කුටුම්බය තුළ ගෘහණියගේ භූමිකාව ඉතා ගැඹුරින් දැනෙන කාලයක් උදාවී තිබේ. ආදරණීය මවක් ලෙස තම පවුලේ ආර්ථික ශක්තිමත් කරන්න දායකවීම සෑම ගෘහණියකගේම අපේක්ෂාවය.

ගෙදර දොර දහසක් රාජකාරි මැද මල් වගාවක් කරන්නේ විනෝදය පිණිසය. එසේම එළවළු වගාවක් හෝ පලතුරු වගාවක් කිරීමට අපේ ගෘහණියන් නිරතුරුවම උනන්දුවන්නේ ගෙදර වියදම සුළු මුදලකින් හෝ අඩුකර ගන්නටය. ඔබ එලෙසින් විනෝදාංශයක් ලෙස සිදු කරන වගාව හෝ කුඩා කර්මාන්තය තම පවුලේ ආර්ථිකයට විශාල ශක්තියක් වේ නම් එය බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය. තමුන්ගේ ගෙදර ප්‍රයෝජනයට කහ ගස් කිහිපයක්, ඉඟුරු වගාවක්, වෙනත් සුළු අපනයන භෝගයක්, කෝපි, ගම්මිරිස් වැනි දෙයක් හෝ බිම්මල් වගාවක්, නිවෙසේ ප්‍රයෝජනයට බිත්තර ලබාගැනීමට කිකිළියන් දෙතුන් දෙනෙක් හදා ගැනීම, කිරි එළදෙනෙක් ඇති කිරීම වැනි දේ අප හුරුවී සිටියේ බොහෝ කාලයක සිටය. මෙලෙසින් නිවෙසේ ප්‍රයෝජනයට පමණක් ඔබ ආරම්භ කළ කටයුත්ත සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගත හැකි නම් එය මුදල් ඉතිරියක් පමණක් නොව තම පවුලේ පෝෂණයට ද දායකත්වයකි. ඒ වෙනුවෙන් අත්වැලක් සපයන්නට හැකි මඟක් ලෙස SAPP ආයතනය පිළිබඳ ඔබට හඳුන්වා දුන්නේ මෙවැනි කාලයක ඉතාම කාලෝචිත ව්‍යාපෘතියක් බව අප හඳුනාගත් බැවිනි.

ස්වයං රැකියා හා ගෘහස්ථ කර්මාන්ත සඳහා මඟ පෙන්වන ව්‍යාපෘති ආරම්භ වෙන්නේ විශාල උනන්දුවකිනි. එසේම ඒ සදහා ණය ආධාර හා සහන මුදල් ද ලබාදෙන වැඩසටහන් විශාල සංඛ්‍යාවක් ලංකාවේ ක්‍රියාත්මක විය. ඒ හැම වැඩසටහනක්ම අවසානයේ ම වගා අස්වැන්න හෝ ඵලදාව විකුණා ගැනීමට මඟ පෙන්වීමක් නොවීය. ඒ නිසාම වගාකරුවන්ද උනන්දුව ටික කලකින්ම නැති විය. නැතිනම් ණයකරුවෙකු වී තවත් අසරණ තත්ත්වයට පත්විය.

මෙලෙසින් එම වැඩසටහන් අසාර්ථකවීමේ ප්‍රධාන හේතුව වන්නේ වෙළෙඳපොලක් සොයා ගැනීමට නොහැකිවීමයි. මෙයට විසඳුමක් සැපයීමට SAPP ආයතනය ඉදිරිපත්වීම විශාල ශක්තියකි. එසේම එම ආයතනයට කාන්තාවන් සහ තරුණ තරුණියන් සඳහා වැඩි ප්‍රමුඛත්වයක් දැක්වීම ද විශේෂත්වයකි.

මේ යටතේ තරුණ ව්‍යවසායකයන් 2500ක් බිහි කිරීමේ විශේෂ වැඩසටහනක් SAPP ආයතනය ආරම්භකර ක්‍රියාත්මක කරගෙන යයි. මේ ව්‍යවසායකයන් තෝරා ගැනීම සහ පුහුණු කිරීම මේ වසර තුළදී නිම කිරීම ද ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ. තරුණ ව්‍යවසායකයන්ට ව්‍යාපාරික දැනුම හා පුහුණුව ලබාදීම සදහා ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනක් ද එම ආයතනය සැලසුම් කර තිබේ. මෙහි පළමු වැඩසටහන තව දින කිහිපයකින් පැවැත්වීමට නියමිතය. ආරම්භක පුහුණු වැඩසටහන ලෙස දැනට SAPP ආයතනය මඟින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන සඳහා තෝරාගත් තරුණ තරුණියන් හට දින තුනක පුහුණුවක් ලබාදීම සිදු කරනු ලබන්නේ දක්ෂ විශේෂ පළපුරුදු සම්පත් දායකයන් රැසකගේ සහභාගිත්වයෙනි.

මේ වැඩසටහන මඟින් ව්‍යවසායකත්ව පුහුණුවට අමතරව පෝෂණය පිළිබද දැනුම ද එම තරුණ පිරිසට ලබාදීම තවත් අංගයකි. ඒ සඳහා විශ්ෂ පුහුණු උපදේශනය සපයන සංවර්ධන නිලධාරි පුහුණු කිරීමේ කටයුත්තක් ද මේ ව්‍යාපෘතියට සමගාමීව සිදුකෙරෙයි. එම නිලධාරින්ගේ මඟ පෙන්වීම යටතේ පවුලේ ආර්ථිකය කළමනාකාරණය කර ගැනීම පිළිබද පුහුණුවක් ද ව්‍යවසායකයන්ට ලබාදීමට SAPP ආයතනය කටයුතු කරයි.

මෙලෙසින් මේ වැඩසටහනට එක්වන ව්‍යවසායකයන්හට ගුණාත්මක කෘෂි නිෂ්පාදනයක් වෙළෙදපොළට හඳුන්වාදීමේ වගකීම ද අවබෝධ කරදීම තවත් අරමුණකි. ලංකාවේ දැනට පවතින සුපිරි වෙළෙඳසල් ජාලය සඳහා එම කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට අවස්ථාව උදාකර දෙන්නේ ද එම සංකල්පය වඩාත් සාර්ථක කර ගැනීමේ අපේක්ෂාවෙනි. තරුණී පුවත්පතේ ඇති කූපනය පුරවා එවීමෙන් ඔබටත් මේ පුහුණු වැඩමුළුවලට සහභාගි වීමේ අවස්ථාව උදාකරගත හැකියි.

 

 

 උපදෙස් - SAPP ආයතනයේ ඌව, නැගෙනහිර, දකුණු පළාත්

වැඩසටහන් උපදේශක

අනිල් ජයවර්ධන මහතා