වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ආතතියෙන් පිරුණු සිතට සැනසුම ගෙන එන ක්‍රම
අද කාලයේ අසන්නට දකින්නට ලැබෙන්නේ අහස පොළොව උහුලන සිදුවීම් නොවෙයි. එසේ වුණත් නැතත් රාජකාරි ස්ථානයේදී පවුල් සංස්ථාවේදී අත්දකින්න වන ගැටලු ද ආතතිය අහස උසට ඉහළ නංවන්න හේතු වෙනවා. කවරාකාරයකින් ආතතිය ඇතිවුණත් එය අපේ සිත පමණක් නොව ගත ද රෝගී වීමට හේතුවක්.
ආතතිය මඟින් අපේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තියට හානි සිදුවෙනවා. ප්‍රතිශක්තිය කියන්නේ අපේ ශරීරයේ වෛරස, බැක්ටීරියා, දිලීර, පරපෝෂිත හා පිළිකා සෛලවලින් ආරක්ෂාකර ගැනීමට ඇති ශක්තියි.
මානසික ආතතිය මඟින් ප්‍රතිශක්තියට ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය වන ඉයොසොනෆිල සහ වසා සෛලවලට හානි සිදුවෙනවා.
සෘනාත්මක, අසුබවාදී හැඟිම්වලින් ද ආතතිය උග්‍රවී හෘද ස්පන්දනය, රුධිර පීඩනය, රුධිර ග්ලූකොස් ප්‍රමාණය, ආමාශයේ ආම්ලිකතාව, සමේ දැනීම, ස්වසන මාර්ග අවහිරතා, අස්ථි දිරායාම වැඩි වෙනවා.
සෘනාත්මක හැඟීම් යනු අසුබවාදීව යමක් දෙස බැලීම පමණක් නොව කෝපය, ඊර්ෂ්‍යාව, වෛරය, ඉවසීමක් නැතිකම, පසුතැවීම, තෘෂ්ණාව යන සියල්ලම මීට ඇතුළත්.
ආතතිය, මානසික ක්ලමතය මඟින් කායික රෝග ද හට ගන්නවා. උදා: අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ, ඇදුම, ගැස්ට්‍රයිටිස්, පොතු කබර, රුමැටොයිඩ ආතරයිටිස්.
අවාසනාවකට අද පවතින ජීවන රටාව නිසා ආතතිය, ක්ලමතය ජීවිතයේම කොටසක් වෙලා. එහෙත් මෙය සැත්කමකින් සිරුරේ අනවශ්‍ය කොටසක් ඉවත් කරනවාක් මෙන් මනසින්ද ඉවත් කර දැමිය යුතුයි. එවිට බොහෝ කායික රෝග අපට වළක්වා ගන්න පුළුවන්.
ළදරු, ළමා, වැඩිහිටි කියා වෙනසක් නැතුව අද සැවොම අධික පීඩනයට පත්වෙනවා. මෙය විසැති ආතතිය හෙවත් ටොක්සින් ස්ට්‍රෙස් ලෙස හඳුන්වනවා. දරුවන් අනවශ්‍ය සේ දිගින් දිගටම කායික මානසික පීඩනයට පත් වීමෙන් ‘ටොක්සින් ස්ට්‍රෙස්’ ඇති වෙනවා.
අද පවතින අධ්‍යාපන රටාව නිසා ගුරු දෙගුරුන් දරුවන්ව අනවශ්‍ය ලෙස පීඩාවට පත් කරනවා. මෙයින් දරුවාගේ මොළයට හානි සිදු වෙනවා. අතිරේක පන්ති පවා දරුවාට පීඩනයක්.
දරුවකු දිගටම කොන් කිරීම, බලාගන්නා අයගේ හිංසනය, දිගටම හිංසනයට ගොදුරුවීම, පවුලේ ආර්ථික දුෂ්කරතා ආදී බොහෝ කරුණු නිසා ටොක්සින් ස්ට්‍රෙස් ඇති කරනවා. මේ තත්ත්වය වැඩිහිටි විය දක්වාම බලපානවා. එසේ නොවන්න නම් දරුවාට
වැඩිහිටියන්ගේ සහාය අවශ්‍යයි.
මව හෝ පියා හෝ භාරකරු හෝ ගුරුවරයකු හෝ කවුරුන් හෝ දරුවා ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ නොවුණොත් දරුවා කාංසාවට, විෂාදයට ගොදුරු වීමේ ඉඩ වැඩිවෙනවා. වැඩිහිටියන් ගේ මොළයට වඩා දරුවන්ගේ මොළයට ටොක්සින් ස්ට්‍රෙස් මඟින් වන හානිය වැඩියි.
මෙවැනි දරුවන් මත් වතුර, දුම්වැටි, මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීමේ වැඩි ඉඩක් පවතිනවා.
ආතතිය පාලනය කරන ක්‍රම
ක්‍රීඩාව සහ විනෝදාංශ අධ්‍යාපනයට බාධා වේයැයි සිතා බොහෝ මාපියන් දරුවන් ක්‍රීඩාවලින්, විනෝදාංශවලින් ඈත් කළ ද නිදහස් මනසින් නිරවුල් ලෙස ඉගෙන ගැනීමට නම් ක්‍රීඩාව, සෙල්ලම, විනොදාංශ අත්‍යාවශයි.
ක්‍රීඩාවෙන් දරුවාට සහයෝගීතාව, බෙදා හදා ගැනීම, නායකත්වය, ජය පැරදුම සමසේ විද ගැනීම දරා ගැනීමේ හැකියාව වැඩිවීම වැනි ගුණාංග රැසක් ඇතිවෙනවා. දරුවන් ඈත් කළ යුත්තේ තාක්ෂණික ක්‍රීඩාවලින් පමණයි. පරිගණක ක්‍රීඩාවලින් දරුවාගේ ආතතිය වැඩි වෙනවා.
භාවනාව, කරන දෙය සිහියෙන් කිරීම (සතිමත් භාවය)
ආතතිය පාලනය කිරිමට භාවනාව සහ සිහි කල්පනාවෙන් වැඩ කිරිම ඉතා වැදගත්.
බෞද්ධයන් වන අපට භාවනාව අලුත් දෙයක් නොවෙයි. එය අද විවිධ රටවල ජාති, ආගම් භේදයකින් තොරව පුරුදු පුහුණු කරන දෙයක්. මේ ලෝකයේම ප්‍රසිද්ධ පිළිගත් භාවනා ක්‍රමයක් මෙන්න.
කොන්ද සෘජුව තබාගෙන අසුනක පහසුවෙන් වාඩි වෙන්න.
දෑස් පියා ගන්න.
ගැඹුරට හුස්ම කීප වතාවක් ගෙන හුස්ම වැදීම හොඳින් දැනෙන නාස් පුඩුව සහ එම තැන හඳුනාගන්න.
ඉන්පසුව හුස්ම ගැනීම ස්වාභාවිකව කරදිගින් දිගටම හුස්ම වදින තැනට අවධානය යොමු කර ගෙන සිටින්න. මෙමඟින් අනවශ්‍ය ලෙස සිතිවිලි ඇතිවීම අඩුකර ගැනීමට පුළුවන්. ආතතිය අඩුවෙනවා. සිතිවිලි නිරවුල් වෙනවා.
තමන්ට කැමැති වේලාවක් මේ ආකාරයට සිටීමට පුළුවන්. මුලදී උදේ වරුවේ විනාඩි 10 ක් ද සවස් වරුවේ විනාඩි 10 ක් ද භාවනා කරන්න. පසුව භාවනා කරන කාලය විනාඩි 30 ක් දක්වා දිගු කරන්න.
කරන දෙය සිහි බුද්ධියෙන් කල්පනාවෙන් කිරීම අධ්‍යාපනයට, ජිවිතයට, රැකියාවට සියලු දේටම ඉතා වැදගත්. එයින් මනසට ද සැහැල්ලු බවක් ලැබෙනවා.
හැකිතරම් කාර්යයන් දෙකක් එක විට කිරීමෙන් වැළකී සිටින්න.
උදා: ආහාර ගන්නා අතරේ රූපවාහිනිය බැලීම, වාහනය පදවන අතර කතා බහ කිරීම.
උපදෙස්
විශේෂඥ මනෝ වෛද්‍ය
ඩබ්. ඒ. එල්. වික්‍රමසිංහ