වකුගඩු රෝගීන්ට සහනය ගෙන දෙන ජාතික වකුගඩු මධ්‍යස්ථානය

ජනවාරි 29, 2020

වකුගඩු රෝගීන්ගේ ගහණය දිනෙන් දිනම වැඩිවද්දී ඒ සඳහාම වූ රෝහල් පිහිටුවීම එම රෝගීන්ට මහත් සහනයක් විය.

2009 වසරේ නොවැම්බර් මාසයේ දී සෞඛ්‍යය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ කොළඹ මාළිගාවත්තේ, ජයන්ත වීරසේකර මාවතේ ජාතික වෘක්කවේද කාන්දු පෙරීම සහ බද්ධ කිරීමේ ආයතනය නොහොත් ජාතික වකුගඩු මධ්‍යස්ථානය පිහිටවූයේ ලංකාවේ පළමු වකුගඩු රෝහල ලෙසිනි.

ඉතාම කුඩා රෝහලක් ලෙසින් පවත්වා ගෙන යන මෙයින් රෝගීන්ට සිදුකරන කාර්යභාරය නම් සුළු පටු නොවේ.

වෙනත් රෝහල්වල තරම්ම කාර්යබහුලත්වයක් දක්නට නොලැබුණත් මේ කෙරෙහි දිනකට බොහෝ පිරිස් ඇදි එති.

මාළිගාවත්තේ ජයන්ත වීරසේකර මාවතට එන ඔබට මාළිගාවත්ත රෝහල පසුකළ විට දක්නට ලැබෙනුයේ ජාතික වකුගඩු මධ්‍යස්ථානයයි. සය මහලකින් සමන්විත මෙම රෝහල කෙරෙහි ඇදී එන පිරිස්ගේ මුහුණු වෙතින් දක්නට ලැබෙනුයේ විඩාබර බවකි. ජිවිතය කෙරෙහි කිසියම් බලාපොරොත්තුවක සේයාවක් දිස් වේ. සතියකට දින දෙක තුනක් මේ වෙත ඇදී එන රෝගීහු ද සිටිති. මෙහි සියලුම ප්‍රතිකාරයන් සිදුවන්නේ නොමිලේය. නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නන් සඳහා ප්‍රතිකාර කිරීම මෙහි ප්‍රධානම අරමුණයි.

රුධිර කාන්දුකරණය සඳහා ඇදී එන පිරිස් බොහෝය. ඔවුනගේ වකුගඩු අකර්මණ්‍යව ඇති නිසා වකුගඩුවෙන් ස්වාභාවිකව කෙරෙන කාර්යය යන්ත්‍රයක් වෙතින් කරගනියි. රුධිර කාන්දු පෙරීමේ අංශය නොහොත් ඩයලයිසීස් ප්‍රතිකාර ලබාදෙන මෙම අංශය රෝගීන්ට ඉමහත් සේවාවක් සලසාලයි.

මීට අමතරව වකුගඩු බද්ධය සිදු කරයි. ඒ ක්‍රම දෙකකටය.

එනම් තමාට වකුගඩුවක් දන් දීමට කැමැති දායකයකු සමඟ පැමිණීමයි. එම වකුගඩුව අදාළ රෝගියාට ගැළපෙන්නේ ද යන්න පර්යේෂණ කිහිපයක්ම ඔස්සේ සලකා බැලේ. එසේ ගැළපෙන වකුගඩුවක් දායකත්වය දැක්වූ පුද්ගලයාගෙන් ලබාගෙන රෝගියා වෙත බද්ධ කිරීම සිදුකරයි.වකුගඩුවක් බද්ධ කළ පමණින් රෝගියා සියලුම කර්තව්‍යයන්ගෙන් නිදොස් කොට නිදහස්වන්නේ නැත. මියෙන තුරාම තවදුරටත් රෝගියකු ලෙස කටයුතු කරන පුද්ගලයාට මසකට රුපියල් 50,000ක පමණ මුදලක ඖෂධ ලබාගැනීමට සිදු වේ. මෙම ඖෂධ බොහොමයක් මාළිගාවත්ත වකුගඩු රෝහල මඟින් ලබා දේ.

 

ජාතික වෘක්කවේද කාන්දු පෙරීම් සහ බද්ධ කිරීමේ ආයතනය, නො. 349, ජයන්ත වීරසේකර මාවත, කොළඹ 10.

දුරකථනය - 0112422335

 

ඡායා - ටෙනිසන් එදිරිසිංහ

විශේෂ ස්තූතිය - ආදේශක සෞඛ්‍යය කාර්ය සහයක ඉන්දික ද සිල්වාට

2020/01/29 තරුණි බලන්න