ඇදුමට බලපෑම් කරන දූවිලි කීඩෑවා

දෙසැම්බර් 16, 2020

 

පුංචි දරුවන්ට වැලඳෙන ඇදුම රෝගය පිළිබඳ ආදරණීය මාපියන් දැන සිටිය යුතුමයි. මේ පිළිබඳ සරලව පැහැදිලි කරන ලිපි පෙළේ පළමුවැන්න පසුගිය සතියේ ඔබ වෙත ගෙන ආවෙමු. ඇදුම යනු බොහෝ පුළුල්ව කතා කළ හැකි මාතෘකාවක්. ඒ වගේම එය දරුවන්ට වැලඳිය හැකිම රෝගයකි. අද අපි තවදුරටත් ඒ පිළිබඳ මෙලෙස දැනුවත් වෙමු.

දූවිලි කීඩෑවා (House Dust Mite)

දූවිලි කීඩෑවා නිවාස තුළ ඇති දූවිලි අතර ජීවත්වන පියවි ඇසට නොපෙනෙන (0.2-0.3) කුඩා ජීවියෙකි. මෙම සතුන් මෙට්ට තුළ, ඇඳ ඇතිරිලි මත, ඇඳුම්වල, බූල් ඇති බෝනික්කන් මත ජීවත් වෙයි. මනුෂ්‍ය ශරීරයෙන් ඉවත්වන සමේ කොටස් වැනි කාබනික අපද්‍රව්‍ය ඔවුන් ආහාරයට ගනිති. මෙම කීඩෑවන් සහ කීඩෑවන්ගේ අසූචි ඇදුම රෝගීන්ගේ අසාත්මික කාරක ලෙස ක්‍රියා කරයි. පීනස ඇති වීමට ද මේ සතුන් අසාත්මිකකාරක ලෙස ක්‍රියා කරයි. සතුන් ගැවසෙන ස්ථාන හැකිනම් සෝදා හැරීමෙන් සහ මෙට්ටවලට පොලීතීන් ආවරණ දැමීමෙන් මෙම සතුන්ට නිරාවරණය වීම යම්තාක් දුරකට අවම කළ හැකියි.

දරුවා සිටින නිවෙස කෙතරම් පිරිසුදු වුවත් දරුවා නිවෙස තුළම රඳවා ගත නොහැකියි.

අයිස් ක්‍රීම් ආහාරයට ගැනීම

අපි හිතමු ඔබේ දරුවා උත්සව අවස්ථාවකට සහභාගි වූවා යැයි කියා. හැම දරුවකු ම අයිස් ක්‍රීම් කමින් විනෝදවන විට තම දරුවාට අයිස් ක්‍රීම් ලබා නොදෙන මාපියෝ සිටිති.

ඔවුන් එසේ කරන්නේ ඇදුම රෝගය උත්සන්න වේ යැයි ඇති බිය නිසායි. නමුත් මෙහිදී ළමා මනසේ ඇතිවන මානසික පීඩනය, තමා රෝගියකු යැයි සිතා ඇතිවන පෞරුෂයේ පිරිහීම අනාගතයේ අනිටු ප්‍රතිපල ගෙන දෙයි. එවැනි අවස්ථාවක දී දරුවාට අයිස් ක්‍රීම් කන්නට දී අවශ්‍ය නම් ඇදුම සඳහා ප්‍රතිකාර ලබාදීමයි වඩාත් සුදුසු වන්නේ.

නිතර නිතර සීනි අධික අයිස් ක්‍රීම් ආහාරයට ලබා දීමත් සුදුසු නැහැ.

එවැනි ආහාර පාලනයක් ඇතිව ලබා දිය යුතුයි.

නිවෙසේ සිටින සුරතලා

සුරතල් සතුන් කෙරෙහි දරුවන් දක්වන්නේ මහත් ඇල්මකි. දරුවා සහ සුරතල් සතුන් අතර ඇත්තේ දැඩි මානසික බැඳීමකි. නිවෙසේ සිටි සුරතල් සතා ඉවත් කිරීම දරුවාට මානසික කම්පනයක් ගෙන දෙන්නකි.

පශු වෛද්‍ය උ⁣පදෙස් ඇතිව සුරතල් සතුන් නිවෙසේ පිරිසුදුව තබා ගන්න. සුරතල් සතුන් නිදන කාමරයට ගෙන්වා ගැනීමෙන් වළකින්න.

මදුරු කොයිල් භාවිතය

මෙහිදී මදුරුවන් බෝවීම හැකි උපරිමයෙන් වළක්වා ගත යුතුයි.මදුරු කොයිල් ද එක්තරා ලෙසක අසාත්මික කාරකයකි. සෑම අසාත්මික කාරකයක් ම සෑම ඇදුම රෝගියකුට ම එක හා සමානවම බල නොපායි. විදුලියෙන් ක්‍රියාත්මකවන වේපරයිසරයක් භාවිත කිරීම සුදුසු යි. නින්දේදී ආරක්ෂා වීමට නෙට් එකක් දැමීම කළ හැකියි. මේ සියලු දේවලින් සියයට සියයක් ම දරුවා ඈත් කර තැබීම ප්‍රායෝගික නැහැ.

සෙල්ලම් කළ පසු අධික කැස්ස සහ හතිය

සාමාන්‍යයෙන් අප හුස්ම ගන්නේ නාසයෙන්. ස්වසන මාර්ගයේ පහළ කොටස්වලට වාතය ගමන් කිරීමට පෙර එම වාතය උණුසුම් හෝ තෙත සහිත බවට පත්වේ. ශරීරය වෙහෙස වූ විට මුඛයෙන් වේගයෙන් හුස්ම ගැනීම නිසා ශීත සහ වියළි වාතය පෙනහලු තුළට වේගයෙන් ඇතුළු වේ.

සමහර ඇදුම රෝගී දරුවන්ට මෙම ශීත- වියළි වාතය අසාත්මික කාරකයන් ලෙස ක්‍රියා කරයි. එහිදී ඔවුන්ගේ ශ්වාස නාළිකා හැකිළීම නිසා ඉහත රෝග ලක්ෂණ මතුවේ. මෙය ව්‍යායාමය නිසා ඇතිවන ඇදුම (Exercises Induced Asthma)  ලෙස හඳුන්වයි.

* ව්‍යායාමය/සෙල්ලම් කිරීම දරුවකුගේ ශාරීරික මෙන්ම මානසික නිරෝගීතාව සඳහා අත්‍යවශ්‍යයි.

* ව්‍යායාමය/සෙල්ලම් කිරීම දරුවකුගේ ජීවිතයේ වැදගත්ම අංගයකි. එම නිසා ව්‍යායාමය/සෙල්ලම් කිරීම ඇදුම නිසා සීමාවේ නම් ඒ සඳහා ඉන්හේලර් ප්‍රතිකාරය ලබා දීම සුදුසු ය.

* ව්‍යායාමය/සෙල්ලම් කිරීමට විනාඩි දහයකට පෙර සහනක ප්‍රතිකාරය  (Reliever Treatment)  නමින් හඳුන්වන සැල්බියුටමෝල් ඉන්හේලරය දරුවාට ලබා දෙන්න.

* නිතර රෝගීවන දරුවන් සඳහා දීර්ඝකාලීන (ස්ටරොයිඩ අඩංගු) ඉන්හේලර් ප්‍රතිකාර නියම කරනු ඇත.

මේ උපදෙස් ද පිළිපදින්න.

හැකිනම් දරුවා නිදා ගන්නා කාමරයේ ඇඳක් පමණක් තබන්න. අල්මාරිය, රාක්ක, ඇඳුම් යනාදී සියල්ල කාමරයේ ම තැබීමෙන් කාමරය තුළ දූවිලි රැස්වීමට ඇති ඉඩකඩ වැඩිවේ. මෙම දූවිලි ආශ්‍රිත ව පෙර කී පරිදි ජීවත්වන දූවිලි කීඩෑවා සහ එම සතාගේ අසූචි අසාත්මික කාරකයක් ලෙස ක්‍රියා කරයි.

* කාමරය ශුද්ධ පවිත්‍ර කිරීමේදී තෙත් ව මොප් කිරීම (wet mopping)..

* ඇඳ ඇතිරිලි/මදුරු දැල නිතර සෝදා පිරිසුදුව තබන්න. දිවා කාලයේ දී කාමරයට හොඳීන් එළිය හා වාතාශ්‍රය ලැබීමට සලස්වා කාමරය වියළිව තබා ගන්න.

* කාමරයේ බිත්තිවල සහ සිවිලිමේ නියමිත කාලයේ තීන්ත ආලේප කිරීම සහ බිම පොලිෂ් කිරීම මඟින් දූවිලි රැදීම අවම කර ගන්න.

* ගෙදර මුළුතැන්ගෙයි දුම නිවැරැදි ලෙස පරිසරයට එක් කරන්න.

* මෙම දුම නිවෙස තුළට වහනය වීම අවම කරන්න.

* දර වෙනුවට හැකි නම් ගෑස් හෝ විදුලියෙන් පිසීම කළ හැකි නම් දුම ඇති වීම අවම වනු ඇති.

ලබන සතියේ රසායනාගාර පරීක්ෂණවලින් ඇදුම රෝගය හඳුනා ගනිමු.

 

උපදෙස්

කෑගල්ල මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය

අරුණ පීරිස්