වසංගත සමයේ වැඩිහිටි මානසික සුවය සුරකිමු

ජනවාරි 27, 2021

 

සුදෝසුදු අහස්කුස කෙමෙන් කෙමෙන් තඹ පැහැ ගැන්වෙන්නේ හිරු රාජයා විසින් සඳුට ඉඩ ලබා දෙමිනි. සොබාදම් නීතිය එය ය. මෙලොව උපන් මිනිසා ඇතුළු සියලු සත්වයන්ට ද නීතියක් තිබෙයි. දවසින් දවස මිනිසා ගතින් වියපත් වෙයි.

සිඟිත්තා වයස අවුරුදු හැටක් හැත්තෑවක් වෙන විට මහල්ලෙකි. අකාලයේ මිය නො ගියොත් සැමටම මේ අත්දැකීම සනාතන දහමකි.

මේ වසංගත සමයේ වඩාත්ම නිවෙසට කොටුවූ පුරවැසියා වන්නේ වැඩිහිටියා ය. වසංගතයක් තිබුණ ද නැති ද වයස අවුරුදු හැත්තෑවක් අසූවක් අනූවක් වූ පසු කෙනකුට ගෙවා දැමීමට සිදු වන්නේ හාත්පසින්ම වෙනස්ම දිවියකි.

බොහෝවිට නිවෙසටම කොටුවූ ජීවිතයකි. කෝවිඩ් - 19 වසංගතය ඔවුනගේ දිවියට වෙනදාටත් වඩා සීමා මායිම් පැනවී ඇත. කොටුවූ ජීවිතය වැඩිහිටියන් වැඩි දෙනකුට ඇති කරන්නේ සුබදායක මානසිකත්වයක් නො වෙයි.

එවන්වූ වැඩිහිටියන්ගේ සතුට වෙනුවෙන් පවුලේ අයට, නෑ හිත මිතුරන්ට කළ හැකි දෑ බොහෝය.

වයස අවුරුදු හැත්තෑව, අසූව, අනූව ඉක්මවූ වැඩිහිටියා අපේ මව, පියා, නෑයකු, අසල්වැසියකු, පාසලේ ගුරුවරයකු හෝ දන්නා හඳුනන කවුරුන් හෝ වෙන්න පුළුවන්.

ඔවුනට අවංකව මොහොතකට හෝ සතුටක් ලබා දිය හැකිනම් එයින් මුලින්ම සතුටු වන්නේ තමන් ය.

ඒ මමත්වයෙන් තොරව වෙනත් කෙනකු සතුටට පත් කිරීම නිසාය.

තමන් දන්නා කැමැති, ඇතැම්විට එතරම් කැමැත්තක් නැති වැඩිහිටියන්ගේ ලේඛනයක් සාදාගෙන සතියකට දෙවරක් තමන්ට හැකි වේලාවක් දුරකථනයෙන් කතා කරන්න. වැඩිහිටියන් ගණන වැඩි නම් එක් සතියක එක් වැඩිහිටියන් පිරිසකටත් තවත් සතියක තවත් වැඩිහිටියන් පිරිසකටත් කාල වේලාව වෙන්කර ගෙන කතා කරන්න.

කවුරුන් හෝ සුව දුක් විමසීම ඔවුනට අත්පත් කර දෙන්නේ අසීමිත මානසික සතුටකි.

“ කෑවෙ බිව්වේ මොනවාද?“ “ගෙදර අත්‍යාවශ්‍ය දේවල් තියෙනවද? “ දූදරුවන් සනීපෙන්ද? “ “ මේ සතියේ මොනවද කළේ “ වැනි තොරතුරු විමසීමෙන් ඔවුනට කවුරුන් හෝ සමඟ කතා කිරීමට ඉඩ ප්‍රස්තාවක් ලැබෙයි.

හැකි නම් ඔවුනට උපකාර වන්න. වැඩිහිටියන් සහ තමන් අතර පරස්පරතාවක් තිබිය හැකිය. පරම්පරා පරතරය සර්වකාලීන ගැටලුවකි.

ඔවුන් හා අප අතර ගැලපීමක් නො තිබුණ ද මෙය අපේ මනුස්සකම, කෘතවේදී භාවය ප්‍රකට කළ හැකි කදිම අවස්ථාවකි.

වසංගතයක් පවතින අවධියක අපට තෘප්තියක් ලබා ගැනීමටත් ඔවුනට තෘප්තියක් ලබා දීමටත් වචනයෙන් ගොඩ නැඟෙන පාලම ජීවිතයට මොන තරම් වැදගත්දැයි සිතෙන්නේ එවැනි අවස්ථා උදා කරගත් විටය. වැඩිහිටියන් සමඟ වෙනදාට වඩා දුරකථන ඇමතුම් මඟින් හෝ සබඳතා ගොඩ නඟා ගන්න.

මා ගැන විමසන්න කවුරුන් හෝ සිටිනවා නේද කියා ඔවුනට සිතෙනු ඇත. සතුටින් ඔවුනගේ සිත් පිරී යනු ඇත. එය අපට ද සතුටකි.

සමාජයට ද සතුටකි.

 

 

 

උපදෙස්

කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සායනික මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය

ප්‍රියාංජලී ද සොයිසා